2017 ජුලි 22 වන සෙනසුරාදා

කඩචෝරු කකා කළ ධර්ම යුද්ධය

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 249

තිසුරි ධර්මයුද්ධය චිත්‍රපටයට ඔයාට කතාකළේ කවුද...?
ධර්මයුද්ධය චිත්‍රපටයට මට කතාකළේ මහරාජා ආයතනය හරහායි. කතා තේමාව මට කිව්වට පස්සෙ ඒ කතා තේමාවට මට ආශා හිතුණා. 

ධර්මයුද්ධය කියන්නේ වෙනත් භාෂා කීහිපයකින්ම නිර්මාණ වුණු චිත්‍රපටයක්. තිසුරි රඟපාන්න කළින් ඒ චිත්‍රපට බැලුවද...?
ඒක බැලුවම ඒකේ ඉන්න ගෑනු ළමයම මම කොපිකළා වෙනවා. මට ඕන වුණේ මේක ලංකාවේ ගෑනු ළමයෙක් විදියට කරන්නයි. ඒ නිසා ඒ කතා තේමාව ඇහුවා. ඒ අනුව මගේ ඔළුවට එන, මට දැනෙන විදිහට මම රඟපෑවා.

කොහොමද ධර්ම යුද්ධයේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ලැබුණ සහයෝගය?
අපි හතරදෙනාම එක පවුලක් වගේ වැඩකළේ. නිර්මාණය සාර්ථක වෙන්න එ්කත් එක හේතුවක් වෙන්න ඇති. අම්මා, තාත්තා, නංගී, අක්කා කියන හැඟීම් උපරිමයෙන් තිබුණා. මේක පවුලේ කතාවක්. අපි හැමවෙලේම හරි ආදරයෙන් ඉන්නේ. ඉතින් ආදරෙන් පිරිච්චි පවුලක්. ජැක්සන් අංකලුයි, දිල්හානි ඇන්ටියි අපි හැමෝම කෑවේ එකට. අපි හතරදෙනා එක ළඟ රූම්වල හිටියේ.

එතකොට කොහොමද විනුමි...?
විනුමි චූටි වුණාට හරිම දක්ෂයි. කියන දේ එයා හොඳට තේරුම් ගන්නවා. එයාට ඕන එකම දේ ඔය එක එක ජාති කනඑක තමයි. එයා කඩචෝරු මල්ලක්. ඒ කාලේ අපිත් එයා නිසා මහත් වුණා කියලා හිතෙනවා. එයා කන ඒවා අපිත් කනවා. මාස්මෙලෝ, චොක්ලට්, බිස්කට් එයා නිසා කෑවා ඇතිවෙන්න.

තිසුරි ධර්ම යුද්ධය නිසා අමතක නොවුණ සිදුවීම් එහෙම ඇතිනේද...?
අපි හතරදෙනා දවස් තිස් ගාණක් මතලේ හිටියා ෂූටිංවලට. සමහර දවස්වල එක දවසක් ෂූටිං තිබිලා ආයේ එක දවසක් නෑ. ආයේ තියෙන්නනේ ඊළඟ දවසේ. ඒ වගේ දවසක ජැක්සන් මාමා කරන්නේ ජැක්සන් මාමගේ වාහනේ නැගලා අපි හුළං කපොල්ල වගේ තැන් බලන්න ගියා. අපි හතරදෙනා විනුමිගේ අම්මයි අපේ අම්මයි යනවා. 

චිත්‍රපටයේ සමහර තැන් හරි සංවේදියි නේද...?
ඔව්... ඒ සංවේදී තැන් අපි හැමෝටම තදින්ම දැනුණා. ඊට අමතරව අර පිරිමි ළමයව (ධනුකව) වළදාන සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා ඇත්තටම වැස්සා. ගොඩාක් රෑ වෙලා හරිම සීතලේ කරපු රූගත කිරීමක්. ඒ අස්සේ කූඩැල්ලො. මම ෂොපින් බෑග් බැඳගෙන හිටියේ. රූගත කිරීම් නතර කරපු ගමන් කට්ටිය ඇවිත් කෝපි දෙනවා. අපිව ටවල්වලින් ඔතනවා. ඒ තරමට සීතලයි.

ඒ සීතල අස්සේ වළට පස් පුරවන්නත් වුණා නේද...?
අම්මෝ ඔව්... අපි දෙන්නට තිබුණා එකගැස්මට ඒ වළට පස් දාන්න. ඒක ඇත්තටම ඒ විදිහට කරන්න ඕනේ. ඊට පහුවෙනිදා මගේ මුළු ඇඟම රිදෙනවා. වැස්සත් එක්ක පස් බරත් වැඩියි. ඒ වුණාට ෆිල්ම් එක බලද්දී හරිම ආසහිතුණා.

තිසුරි... දැන් කියමුකෝ බලන්න... කවද්ද වෙඩින් එක?
ම්... වෙඩින් එක ලබන අවුරුද්දේ මැද මාසෙක ගන්න තමයි හිතාගෙන ඉන්නෙ. (තිසුරි මාසේ නම් කිව්වා. දැන්ම කියන එක හරි නැහැනේ... ළංවෙලාම කියන්නම්...)

දැන් ඉතින් ඔහු ගැනත් කියමු...?
මෙහෙම කරමු නම, ගම පස්සෙ කියන්නම්... එයා මගේ තාත්තාගේ හොඳම යාළුවගේ පුතා. පොඩි කාලේ ඉඳන් මම එයාව දන්නවා. 

ඒ කියන්නේ තිසුරි දන්න කියන කෙනාටත් ගණන් ඉස්සුවා නේද...?
නෑ... නෑ... මුලින් එයා මගේ යාළුවෙක්. අපි පොඩිම කාලේ ඉඳන් දන්නේ. එයා අහද්දී මම ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ. ඊට පස්සේ ටික කාලයක් මම “බලමු බලමු කිව්වා. ඊට පස්සේ එයා “අම්මලාට කියමු* කිව්වා. මම ඒත් “බලමු* කිව්වා. හැබැයි එයා උත්සාහය අතහැරියේ නෑ. ඒ නිසා මම අම්මට කිව්වා. අම්මා කිව්වේ තාත්තාලා දෙන්නගේ යාළුකම නිසායි අපේ සම්බන්ධය ඇතිවුණේ ඒකට විරුද්ධ වෙන්න බෑ. ඒක නිසා දෙගොල්ලන්ගේ කැමැත්ත තියෙන්න ඕනේ කියලා. එයා එයාලගේ ගෙදරට කිව්වා. අම්මා තාත්තට කිව්වා අන්තිමට හැමෝම කැමති වුණා. (තිසුරිගේ තාත්තත් නැවක සේවය කරන්නෙක්. තිසුරිගේ පෙම්වතාගේ තාත්තාත් නැවක සේවය කරන්නෙක්. එතකොට තිසුරිගේ පෙම්වතාත් නැවක ද...? ඒ ගැන අපි පස්සෙම කියන්නම්.)

විනුමි කියමුකෝ බලන්න ඔයා තාමත් ඉස්කෝලේ යනවනේ....

ඔව්... මම කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකාවේ නමවන වසරේ ඉගෙන ගන්නවා. මගේ පවුලේ ඉන්නේ මගේ අම්මයි අප්පච්චියි මගේ මල්ලි බබයි මායි විතරයි. දැන් මගේ වයස අවුරුදු දාහතරයි. මගේ මල්ලි බබාගේ වයස අවුරුදු අටයි. 
එතකොට කවුද විනුමිට ධර්මයුද්ධයට කතා කළේ?

මම මට අවුරුදු පහේ විතර ඉඳන් නිවේදන කටයුතු කරනවා. ඉතින්... ඒකත් එක්ක තමයි මට මහරාජා ආයතනයෙන් මේ ෆිල්ම් එකට කතා කළේ.

මේක අධ්‍යක්ෂණය කැමරාකරණය කළේ ඉන්දියානු ශිල්පින් කොහොමද විනුමි ඒ අය....
එයාලා ගොඩක් හොඳයි. මේක රූගත කිරීම් කළේ ගිය අවුරුද්දෙනේ. ඉතින් එයාලා පුංචි මට ලොකු සපෝට් එකක් දුන්නා. රවි මාමා හරිම හොඳයි. පව්... එයාට ෆිල්ම් එක බලන්නත් බැරිවුණා... එයා නැතිවුණානේ. රවි මාමා ගොඩක් විනෝදයෙන් ඉන්න හරිම හොඳ කෙනෙක්. සමහර ඒවා මට වැරදිලා ටේක් දෙක තුන ගනිද්දි රවි මාමා මගේ මූණ දිහා බලලා Don’t Worry, We’ll try කියලා කිව්වා. 

ඒ වුණාට විනුමි ළඟ අනිත් අයටත් දෙන්න කඩචෝරු මල්ලක් තිබුණා කියලයි ආරංචිය.
අනේ.... කවුද එහෙම කිව්වේ. මෙහෙමයි... මගේ අම්මයි, අප්පච්චියි... මල්ලි බබයි හැම සති අන්තයකම මාව බලන්න මාතලේ ආවා. මම ෂූටිං ගියේ මගේ ආච්චිත් එක්කයි. ඉතින් අප්පචිලා මාතලේ එනකොට මට එක එක කෑම ජාති අරගෙන එනවා. ජුජුබ්ස්, මාස්මෙලෝ, බිස්කට් වගේ දේවල්. ගෙදරදි මම එහෙම හැමවෙලේම කන්නේ නෑ. ඒත් අම්මලා ළඟ නැහැනේ. ඒ නිසා මට අරගෙන එනවා. ඉතින් මම අනිත් අයටත් දෙනවා. මට හැමෝම ආදරෙයි.

ඒ වුණාට කට්ටිය කියන්නේ විනුමිගේ කඩචෝරු කාලා කට්ටිය මහත් වුණා කියලා.
ඔය විහිළුවට කියන්නේ. සමහරදාට දිල්හානි නැන්දි අහනවා විනුමි පොඩ්ඩී කන්න දෙයක් නැද්ද... කියලා. ජැක්සන් මාමායි දිල්හානි නැන්දයි මට හරිම ආදරෙයි.

එතකොට තිසුරි අක්කා... එයා කොහොමද?
ඒත් අක්කා කෙනෙක් කියන්නේ කවුද කියල මම හරියටම දැනගත්තේ තිසුරි අක්කගෙනුයි. එයා හරිම හොඳයි. අපි එකරූම් එකේ නිදාගත්තේ. මාව හරි ආදරෙන් හරිම පරිස්සමෙන් බලාගත්තා.

ඒ වුණාට එහෙම හොඳ අක්කා කෙනෙක් එක්ක විනුමි රණ්ඩුත් කළානේ....
අයියෝ... ඒ විහිළුවටනේ... ඔව් ඔව්... ඉතින් මම එයත් එක්ක රණ්ඩු වුණා තමයි. මෙහෙමනේ දැන් අපි දෙන්නට ෂූට් එකක අඳින්න කියලා ගවුම් දෙකක් දෙනවා කියල හිතන්නකෝ. ඉතින් මම බලන්නේ එයාගේ එකට වඩා මගේ ගවුම ලස්සන වෙන්නයි. නිකං හරි ඒ ගවුම මගේ එකට වඩා ලස්සනයි නම් මම අඬලා කොහොම හරි ගවුම වෙනස් කරගන්නවා.

 

Text – Dishani  / Pic - Internet