දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා
මම ආසම ගීතයක් හුඟ කාලෙකට පස්සෙ මම අද ඇහුවා. අපි හැමෝගෙම ජීවිත ඇතුළෙ මතක තියනවා. ඒ සමහර මතක හුඟක් සංවේදීයි. ජීවිතය කියන්නෙ සුන්දර චිත්‍රයක් නෙවෙයි. එහෙම වුණානම් මේ ලෝකෙ කඳුළු කියලා දෙයක් නෑ. ආයෙත් හිතද්දී ඇයි අපි ඇඬුවේ කියලා හිතෙන සංසිද්ධීන් අනන්තවත් අපේ ජීවිතවල තියෙනවා. ඔයා සමහරවිට මේ කතාව අහන්න ඇති. තමන්ගේ දරුවන්ට බිරියට කන්න දෙන්න පිහිය උගස් තිබ්බ ඒ මනුස්සයගේ දුප්පත්කම ගැන ඇහුවනම් ඔයාගේ ඇස්වලට කඳුළක් එන්න ඇති. කඳුළුවලට නෑදෑකම් නෑ. කඳුළු අස්සෙ තියෙන්නේ නෑදෑකම් නෙවෙයි බැඳීම් විතරයි. ඒ බැඳීම් ඇතිවෙන්න හදවතට දැනෙන්න ඕනෑ මනුස්සකම විතරයි. ගීතයක් අහද්දීත් ඇස්වලට කඳුළු එන ළාමක හිත පැත්තක තියලා අනිත් මිනුස්සුන්ගේ දුක වේදනාව ළඟ මානුෂීය වෙන්න පුළුවන්නම් අඩුම තරමේ අනාගත මනුස්සකමේ සුන්දර අස්වැන්නක් උදෙසා එය මානුෂීය ආයෝජනයක් වේවී. ඒ මනුස්සකම හදවතින් හදවතට යා වෙච්ච නිම්නයක ඔයාටයි මටයි ජීවත් වෙන්න පුළුවන් දවසක කඳුළ දුරක තියෙයි.
මනුස්සකම ගැන බුදුන් වහන්සේ ජේසුස් වහන්සේ නබිතුමා හරිම හැඟුම්බර විදිහට කතා කළා. මනුෂ්‍යත්වය ප්‍රයෝගිකව ජීවිතෙන් ඔප්පු කරලා පෙන්නුවා. ඔයා ජීවිතයට එකතු කර ගන්න ඕනත් ඒ සුන්දර මනුස්සකම. නියඟයෙන් බැටකද්දී, ස්වභාවධර්මය නපුරු හිතක් මුදාහරිද්දී ජීවිතය දුප්පත්කම විසින් තල පෙලා දමද්දී දැනෙන අන්ත අසරණකම සමහරවිට ඔයා ජීවිතේ කවදාවත් විඳලා නැතුව ඇති. රුපියල් තුන්සීයක් ඉල්ලන්න පිහිය උගස් කරන්න ගිය අනුරාධපුරේ ගොවියට දැනුණු අසරණකම ඔයාට මින් පෙර කවදාවත් දැනිලා නැතුව ඇති. එක වේලක් කන්න රුපියල් දසදහස් ගණන් වියදම් කරන මිනිස්සු ඉන්න රටේ මේ තරම්ම දුප්පත් මේ තරම්ම අසරණ මිනිස්සු ඉන්නවද කියලා ඔයාට හිතිලා ඇති. බත් කටක් කන්න නැතුව නෙළුම් අල කන්න වෙච්ච තරම් දුප්පත්කම දරුණු වෙච්ච වාතාවරණයක ජීවිතේ නැති වෙන මඟහැරෙන පුංචි දේවල් වෙනුවෙන් අඬන්න එපා අඬන්න ඕනෑම තැනකදී විතරක් අඬන්න.
තමන් වෙනුවෙන් නෙවෙයි තව කෙනෙක් වෙනුවෙන් කඳුළු එන ඇස් දෙකක් ඔයාටත් තියෙනවනම් ඒ ඇස්දෙක ලෝකයටම වාසනාවක්. තව කෙනෙකුට සැනසීමක්. කවදාහරි දවසක ඔයාගෙම හෘද සක්ෂියටත් සැනසීමක්.
► Sanju