2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපානවා

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 277

මව් උරුමයෙන් සිංහල  සිනමාවට පිවිසි නිළියන් අතරින් එදත් අදත් එකසේ ජනප්‍රිය නිළියක් තමයි වීණා ජයකොඩි කියන්නේ. ඇගේ මව රෝහිණී ජයකොඩි. ඇය චිත්‍රපට නිළියක මෙන්ම ‘හැංගි හොරා’, ‘චණ්ඩි සිරියා’ යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂවරියක ලෙසද සිනමාවට එක්ව තිබේ. වීණාගේ සොහොයුරිය වූ නිරූපා ජයකොඩිද නිළියක වූවාය. මෙලෙස කලා පවුලකින් පැවත එන වීණාගේ ගමන් මගයි my path තුළින් අද ඔබට සමීප වෙන්නේ.

මතක් කළොත් ආරම්භය....
මුලින්ම චිත්‍රපටයකට එක්වෙලා තියෙන්නේ බිලිඳියකව සිටියදී. ඒ අවස්ථාව මට උදාවෙන්නේ මගේ අම්මා නිසා. ඒ මගේ අම්මා රඟපෑ ‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ. ඊට පසු ‘හැංගි හොරා’ හා ‘කොහොමද වැඩේ’ යන චිත්‍රපටවලද මම සුළු චරිත වලට පෙනී සිටියා.

වීණා කියන්නේ මුල් නම නෙමෙයි නේද?
නැහැ. මගේ මුල් නම වර්ජිනි සන්ධ්‍යා පීරිස්. ඊට පසුව තමා අම්මා මට වීණා ජයකොඩි කියන නම දැම්මේ.

පාසල් කාලේදී කොහොමද කලා කටයුතු?
මූලික අධ්‍යාපනය මම ලැබුවේ නුගේගොඩ අනුලා හා කොටහේනේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන්. ඊට පස්සේ මම ඉගෙන ගත්තේ බම්බලපිටිය හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ. ඒ කාලයේදී තමයි ‘කුණ්ඩලකේශි’ නම් වූ වේදිකා නාට්‍යයේ රඟපෑවේ.

‘අප්සරා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා නේද ඔබ වඩාත් ප්‍රේක්ෂකයින්ට සමීප වෙන්නේ?
ඔව්. මගේ දෙවැනි සිනමා ගමන ආරම්භ වෙන්නේ ‘අප්සරා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා. මට ඒ අවස්ථාව ලැබෙන්නෙත් මගේ අම්මා නිසා. මොකද මම අම්මා එක්ක ‘සරසවිය’ සම්මාන උළෙලකට සහභාගි වුණා. එතැනදී අම්මා මාව ගාමිණී ෆොන්සේකා මහතාට හඳුන්වා දුන්නා.
එහි ප්‍රතිඵලයක් ලෙස තමා මට ‘අප්සරා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබුණේ. ඉන්පසු ගාමිණී මහතා අධ්‍යක්ෂණය කළ සහ ඔහු රඟපෑ චිත්‍රපට බොහෝමයකම රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.

මතක් කළොත් ඒ ලැබුණු අවස්ථාව ගැන?
අප්සරා චිත්‍රපටයේදී මට  ආදරණීය ප්‍රවීණ රංගවේදිනී රුක්‌මණී දේවිය සහ එඩී ජයමාන්න යුවළ සමග රංගනයේ යෙදෙන්න අවස්ථාව ලැබුණා. ඒක හරි සොඳුරු මතකයක්‌. එදා සිනමාව කියන්නේ වෙනම හරිම සුන්දර ලෝකයක්‌. කනගාටුව අද එය හෑල්ලුවට ලක්‌ව තිබීම.

වේදිකාවට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථා ගැන මතක් කළොත්?
අවස්ථා නම් ලැබුණා. නමුත් මගේ කාර්යබහුලත්වය නිසා තමයි ඒවාට දායකවෙන්න බැරි වුණේ. ඒත්... සිවම්මා ධනපාල, උරැවිසි, ද්විත්ව, සිරිපාල සහ රංමැණිකා කියන වේදිකා නාට්‍ය හරහා මට වේදිකාවට දෙයක්‌ කරන්න පුළුවන් වුණා.

පුංචි තිරයට ආවේ?
පුංචි තිරයේ මට මුලින්ම අවස්ථාව ලැබුණේ අත්ත බිඳෙයි ටෙලි නාට්‍යය වෙනුවෙන්. ඊට පසු කන්දෙ ගෙදර^, දූ දරැවෝ, සුර අසුර, මැණික්‌ නදිය ගලා බසී තුලාධාර දේවිය සුගලා ඇතුළු ටෙලිනාට්‍ය නිර්මාණ රැසකම විවිධ චරිත සමගින් දායක වෙන්න පුළුවන් වුණා.

ප්‍රේක්ෂකයන්ගේ හා විචාරකයන්ගේ අවධානයට ලක් වූ නිර්මාණ මොනවද?
මට මතක හැටියට විද්වත් ප්‍රේක්ෂකයන්ගේ හා විචාරකයන්ගේ අවධානයට මුලින්ම ලක් වුණේ ‘සරුංගලේ’ චිත්‍රපටයේ කළ රංගනය කියලා මම හිතන්නේ, ඊට පස්සේ ‘සාගරයක් මැද’, ‘රෑ මනමාලි’ වැනි චිත්‍රපට තුළිනුත් මාව ප්‍රේක්ෂකයන්ගේ හා විචාරකයන්ගේ අවධානයට ලක්වුණා. ඒ වගේම ‘මයුරිගේ කතාව’ චිත්‍රපටයේ මම කළේ ඉතාම අනුවේදනා පූර්වක චරිතයක් වූ නිසා ඒ ගැනත් ගොඩක් දෙනෙක් කතා කළා.

රංගන දිවියේ අමතක නොවන මතකයන් ඇති...?
එහෙම අමතක නොවන මතකයන් සමුදායක්‌ තියෙනවා. ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, රවීන්ද්‍ර රන්දෙනිය, තිස්‌ස විජේසුරේන්ද්‍ර, ශෂී විජේන්ද්‍ර, සනත් ගුණතිලක, ජීවන් කුමාරණතුංග සහ විජය කුමාරණතුංග යන අය සමඟ මා කළ රංගනයන් සියල්ල සොඳුරු මතකයන්. ඉතින් මගේ සහෝදර රංගන ශිල්පීන් බොහොමයක්‌ සමඟ මම තිරයේදී පෙම්වතිය ලෙස රඟපෑවා.

සිනමා දිවියේ කැමතිම පෙම්වතා කවුද?
මගේ සිනමා දිවියේ මා කැමැතිම පෙම්වතා සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකා මහතා. ඔහු මගේ රංගන දිවියේ ගුරු පියාණන්, එතුමාගෙන් ලද ගුරුහරුකම් තමයි මම ආව මේ ගමනට ශක්‌තිය සහ ධෛර්යය එක් කළේ.

ලැබුණු ඇගයීම් සහ සම්මාන ගැනත් කියමු....
මුලින්ම මට හොඳම නිළිය සම්මානය ලැබෙන්නේ 1983 පැවති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී රෑ මනමාලි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්.
ඊට පස්සේ කෙළි මඬල සහ මාරුතය ත් මට සම්මාන හිමිකර දුන්නා. පසු කාලීනව කුස පබා රංගනය වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මානය ලැබුණා. ස්‌වර්ණ සංඛ, ඕ.සී.අයි.සී., සරසවි සහ ජනාධිපති සම්මාන ඇතුළුව සම්මානයන් 15ක්‌ පමණ මට හිමිව තිබෙනවා. මේ ඔක්කොටම වඩා මට වටින ජනතාවගේ සම්මානය නිරතුරුවම ලැබෙනවා. ඉතිං ඒ අතින් ගත්තම මම හරිම වාසනාවන්ත කලාකාරිනියක්‌ කියලා නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

නිළියක් වීම ගැන අද මොකද හිතන්නේ?
මම සිනමාවට ගොඩක් ආදරෙයි. වීණා ජයකොඩි කියන නම මම හදාගෙන තියෙන්නෙ සිනමාවෙන්. ඒ හින්ද කවදාවත් සිනමාවෙන් අයින් වෙන්න මම හිතන්නෙ නෑ. දෙනවක හාමිනේ වගේ අන්තිම කාලෙ වෙනකම්මත් රඟපාන්න ආසාවක් මට තියෙනවා.

► Text – Anusha Ranasinghe

     Pic - internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00