කාළඟවත් කොහේවත් බලහත්කාරයෙන් නවතින්න හදන්න එපා දුල්යානා... ඔයා දැන් ඔයාට අයිති ජීවිතේ හොයාගෙන යන්න... මේ පල්ලියේ ජීවිතය දැන් ඔයාට අයිති නෑ. ඔයාට මේ ජීවිතේ අයිති කරගන්න පුළුවන් එකම එක විදිහයි තියෙන්නේ. ඒත් මම දන්නවා ඔයා ඒ ජීවිතයට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙච්ච ජීවිතයක් ගෙවන්න ඔයාගේ හිත කලබල වැඩියි දුල්යානා. ඔයා අසීමාන්තික විදිහට ලෝකයත් එක්ක පැටලෙනවා. ඔයා කෙළවරක් නැති තරමට අරමුණු පස්සෙ දුවනවා. එහෙම අයගෙ ජීවිත හරි සංකීර්ණයි...
සිස්ටර් සේරා මාව හරියට තේරුම් ගත්තනම් ඔය විදිහෙ දෙයක් මට කියන්නෙ නෑ...
තමන්ටවත් තමන් හරියට තේරැම් ගන්න බෑ... ඒක තමා ඇත්ත... මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්න තප්පරයක් තරම් කාලයක්වත් යන්නෙ නෑ... ඉතින් කොහොමද දුල්යානා අපි මිනිස්සුන්ව කියවන්නෙ...
සිස්ටර් ඔයා සිස්ටර් කෙනෙක් නිසා ඔයාට මෙහෙම කතා කරන්න ලේසියි... ඒත් අපි ජීවිතේ හොයන මිනිස්සු... සිස්ටර් සිස්ටර්ගේ මුළු ජීවිතයම පල්ලියයි දෙවියන් වහන්සේයි. මම කොහොමද එහෙම ජීවිතයකට කොටුවෙන්නෙ?
ජීවිතය අත්හරින්න ඕනැ ජීවිතයෙන් නෙවෙයි දුල්යානා... මනසින්
සිස්ටර්... මට එක දෙයක් විතරක් කියන්න... අංජලීට මොකද වුණේ කියලා. ඇත්ත කියන්න... මම ආය කවදාවත් මේ පල්ලියට නෑවිත් ඉන්නම්... ඒත් මට මම නොදන්න හැමදේම ගැන ඇත්ත විතරක් කියන්න....
ඔයාට දැනගන්න ඕන අංජලීට වුණේ මොකක්ද කියලද? ඒක මම කියන්න ඕන වෙලාවට ඔයත් එක්ක කියන්නම්. අනිත් එක මගෙන් ප්‍රශ්න කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ. මගේ තීරණ මට ඕන විදිහට ගන්න තීරණ මිසක් ඒවා කාටවත් කියන්න මම බැඳිලා නෑ...
මට අයිතියක් නැද්ද සිස්ටර් මම ආදරේ කරපු කෙනෙකුට වුණේ මොකක්ද කියලා දැනගන්න...
ඔයා අංජලීට ආදරේ කළානම් ඔයා ඇයි ඒ කාත් කවුරුත් නැති අහිංසක කෙල්ලව දාලා ගියේ.. ඔයා හිතුවෙ ඔයාගෙ සතුට විතරයි... තමන්ගෙ සතුට විතරක් හිතන කෙනෙක් ළඟ කොහොමද දුල්යානා ආදරය කියලා දෙයක් රැඳිලා තියෙන්නෙ?
මම අද මේ විදිහට ජීවිතේ තනි වුණේ මගේ සතුට ගැන විතරක් නොහිතුව හින්දා සිස්ටර්...
කවුරැත් තමන් වැරදිකාරයා කරගෙන කතා කරන්නෙ නෑ. ඔයාට අනුව ඔයා හරි. ඔයා හරිද වැරදිද කියලා පේන්නේ ඔයා දිහා පිට ඉඳන් බලන කෙනෙකුට...
සිස්ටර් සේරා... මම හෙට පල්ලියෙන් යනවා...
ඔව් ඔයා යන්න ආය කවදාවත් ඔයා මේ පල්ලියට එන්නත් එපා...
මම පහුවදා පාන්දරම පල්ලියෙන් එන්න ආවා. පල්ලිය ළඟින් වැටී ඇති පටු වීදිය ඔස්සේ මම ඇවිදගෙන ආවේ ජීවිතයේ සියලු අහිමිවීම් භුක්ති විඳි පරාජිත ගැහැනියක් විදිහට. මගේ ජීවිතය හැරෙන්න අන් සියල්ල නොවෙනස්ව තියෙනවා කියලා මට හිතුණා. ගුප්ත සුන්දරත්වයකින් යුත් පල්ලිය හා අවට බිම් පෙදෙස තීරණාත්මක මතක කන්දරාවක් මා වෙනුවෙන් නිහඬවම දරාගෙන හිටියා. මට හිතුණා මම අනාගතය තුළ නොව වර්තමානයේ මේ මොහොත තුළ ජීවත් වෙන ගැහැනියක් කියලා. මා අතීතයට මිස වර්තමානයට අයිති ගැහැනියක් නොවේය යන හැඟීම මට දැඩිව දැනෙමින් තිබුණා. මා සිටියේ මා තුළම අතරමංවීමක. මට මොහොතකින් මතක් වුණේ ආදේශ්. ඔහුගේ උරහිසේ හිස හොවා හඬන්නට ඒ මොහොතේ අවැසි වී තිබුණා. ඔහු දැන් කොහේ සිටීද යන සිතුවිල්ල මා දැඩිව පෙළනු ලැබුවා. මගේ නොවුණු සියල්ලක් වෙනුවෙන් ඒ මොහොතේ මගේ සිත හඬමින් තිබුණා...
අතොරක් නැති සිතුවිලි අතරේ හුදෙකලාව සිටි මා ඊළඟ මොහොතේ කුලී රියකට ගොඩවුණා. ඇත්තටම මගේ ගමනාන්තය ගැන හැඟීමක් මා තුළ තිබුණේ නෑ. යා යුතු එකම තැන වුණේ ජානාගේ නිවෙස. එහෙත් ඈ මා කෙසේ පිළිගනු ලබයිද යන සිතුවිල්ල මා දැඩිව පෙළමින් තිබුණා. ජීවිතයේ ගිමන් හරින්නට අවැසිම මොහොතක කාත් කවුරුත් නොමැති වීමේ අසරණකමින් මා දැඩිව පෙළෙමින් සිටියා. මගේ සිත පුරා ඇවිලෙමින් තිබූ වේදනාවේ ගිනි දැල් විසින් මගේ ආත්මයම දවනු ලැබුවා. මා සටන් කරමින් සිටියේ මගේ අතීත සහ වර්තමාන සිතුවිලි සමඟ.
ඔබ මෙතැනින් කොහාටද යන්නෙ... රියදුරුගේ කටහඬින් ඇහැරුණු මා මොහොතකින් ඔහු දෙසට හැරුණේ ක්ෂණික සිතුවිල්ලක් සමඟ.