2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

දරුවෝ තුන්දෙනෙක් ඉද්දි මම අායෙත් මනමාලියක් වුණා....

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 255

මොකද මේ ඉඳලා හිටලා එක නාට්‍යක් දෙකක් බාර ගන්නේ...?
ම්... අනේ මන්දා මම එහෙම නාට්‍ය දෙක තුනක් කරන්නෙ නෑ. ගොඩක් මට කතා කරන්නෙ දුර යන ඒවාටයි. ඔය පිට පළාත්වල රූගත කරන ටෙලිනාට්‍ය වලට තමයි මට කතා කරන්නෙ. ඉතින් ඒවගේ පිට පළාත්වල යන ඒවට මට යන්න අමාරුයි. බබාලා දාලා යන්න අමාරුයි. ඒ නිසා කොළඹ අවට රූගත කරන නිර්මාණවලට විතරයි මම යන්නෙ.

දරුවන් හිටියට තාමත් මම හැඩයි නේද...

අෂිකාගේ මුහුණත් ගැමි පරිසරයට හුරුවෙච්චි  මුහුණක්නෙ. එහෙම නේද?
ඔව්... අනේ... බොහෝ දෙනෙක් මගෙන් අහන්නෙත් ඔයා ඉපදුණේ ගමකද කියලයි. මට කතාකරන්නෙත් ගැමි චරිතවලට තමයි. ඒ වුණාට මම ඉපදුණු දවසේ ඉඳන් හිටියෙත් කොළඹ. මම ඉස්කෝලේ ගියේ නුගේගොඩ අනුලා බාලිකාවට. අනේ මන්දා ඒ වුණාට ලැබෙන්නෙම ගැමි චරිතම තමයි.

පුංචි කාලේ ආසාවෙන් හිටියේ කවුරු වෙන්නද?
ඉස්සර පුංචි කාලෙනම් මම හිතාගෙන හිටියේ ගුරුවරියක් වෙන්නයි. අනුලා බාලිකාවේ ඉගෙන ගනිද්දි අපිට උගන්නපු ටීචර්ලා දැකලා මම හරි ආසාවෙන් හිටියේ ගුරුවරියක් වෙන්න. ඒ වුණාට අන්තිමට නිළියක් තමයි වුණේ.

මට කේන්ති ගිහින් හැමෝ එක්කම මම එයාට බැණ බැණ හිටියා

ගුරුවරියක් කොහොමද නිළියක් වුණේ?
මගෙ නංගිගේ ප්‍රොජෙක්ට් එහෙකට මම එච්.ඩී.ප්‍රේමරත්න සර් ළඟට ගියා. ඒ කාලේ නංගි ප්‍රොජෙක්ට් එක විදිහට තෝරගත්තේ Media ආයතන සම්බන්ධවයි. ඉතින් එච්.ඩී.ප්‍රේමරත්න සර් මාව දැකලා තමයි මට කතා කළේ නාට්‍යක් කරනවා ඒකේ පොඩි චරිතයකට සහභාගී වෙන්න කියලා. ඒ අනුව තමයි මම මල්සර ගීතය කියන නාට්‍යයේ අනු චරිතය රඟපෑවේ.

ඒත්... සමඟම අෂිකාව බොහෝ දෙනෙක් අඳුරගත්තේ කොහොඹ වෙළඳ දැන්වීමෙන්...
ඔව්... ඒ මල්සර ගීතය ටෙලිනාට්‍යයේ මගේ අක්කට හිටියේ නෙරංජලයි. එයාගේ මාර්ගයෙන් තමයි මාව වෙළඳ දැන්වීම් කේෂේත්‍රයට යොමුවුණේ. ඒ වෙළඳ දැන්වීමට සියයකටත් අධික පිරිසකගෙන් තමයි දුලීප අබේසේකරය මාව මේ වෙළඳ දැන්වීමට තෝරගත්තේ. බොහෝ දෙනෙක් අතර මේ වෙළඳ දැන්වීම ගොඩක් ජනප්‍රිය වුණා.

දරුවන් තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්...?
ඔව්...ඔව්... දැන් මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ දුවයි පුතාලා දෙන්නයි. ඉතින්... ඒ තමයි දැන් අපි දෙන්නගේ ජීවිතේ...

සමහර නිර්මාණ බාරනොගද්දි පහු කාලයකදි අපරාදේ කියලා හිතුණ අවස්ථා ජීවිතේ නැතිද?
අනේ... එහෙම හිතෙන වෙලාවල් තියෙනවා. ඒ චරිතවලට වෙන අය අරගෙන රූගත කිරීම් කරලා ඒවා විකාශනය වෙද්දි හිතෙන වාර තියෙනවා අපරාදේ කියලා. ඉතින් මොනවා කරන්නද? එක දෙයක් ලබාගන්න තව දෙයක් කැප කරන්න වෙනවා.

ළඟදි අෂිකා ආයෙමත් මනමාලියක් වුණා කියලා ආරංචි වුණා. මොකද ඒ?
මම...? ආ... ඒ මම පහුගිය දවස්වල මනමාලියන් දැක්ම කීපයකදීම මනමාලියක් විදිහට කීපවතාවක්ම ඇන්දා. ඉතින් මටම සතුටුයි ළමයි තුන්දෙනෙක් ඉඳලා ආයෙමත් මට මනමාලියක් වගේ හැඩවෙන්න ආරාධනා කරද්දීම. ඒ කියන්නෙ දරුවන් හිටියට තාමත් මම හැඩයි නේද...

කොහොමද සුරේන්ද්‍රව මුණගැහුණෙ?
මගේ හොඳම යාළුවගේ දෙවන මනමාලි වු‍ණේ මම. ඒ වෙනකොට සුරේන්ද්‍ර මගේ යාළුවව දන්නවා. එයා මගේ යාළුවගෙන් මම ගැන අහලා තිබුණා. ඉතින් මගේ යාළුවගේ වෙඩින් එකටත් සුරේන්ද්‍ර ආවා. ඒ ආපු වෙලාවේ මට කේන්ති ගිහින් හැමෝ එක්කම මම එයාට බැණ බැණ හිටියා. පස්සේ මගේ යාළුවෝ හැමෝම කිව්වා සුරේන්ද්‍ර තමයි ඔයාට ගැලපෙන්නෙ කියලා. එයා ගුවන් හමුදාවේ සේවය කරන්නේ. ඉතින්... ඇත්තටම මම සුරේන්ද්‍රට කැමති වුණා. ඉතින් අපි 2009 අවුරුද්දේ විවාහ වුණා.

මොකද හිතෙන්නේ අෂිකා... ඉදිරයේදිත් දිගටම රඟපායිද?
හොඳ නිර්මාණයක හොඳ චරිතයක් ලැබුණොත් මම භාර අරගෙන රඟපානවා. සුරේන්ද්‍රගෙන් වුණත් එහෙම රඟපාන්න එපා කියලනම් නෑ.

 

Text – Jayamali / Pic - Sumudu