සාමාන්‍යයෙන් කලා ශිල්පියෙක් සමාජයේ කොහේ ගියත් මිනිස්සු අඳුරගන්න නිසා, ඔවුන්ට තැනකට ගිහිං වැඩක් පලක් කරගන්නත් පහසු වෙනවා. ඒත් ඒ වරප්‍රසාදය අසාධාරණ විදිහට පාවිච්චි කරන්න කවුරැත් උත්සාහ කරන්නෙත් නැහැ.
ඒත් ළඟදි එක්තරා ශිල්පියෙක් බොරැල්ල ලංකා විදුලිබල මණ්ඩලේ කාර්යාලයට ගිහින් තියෙනවා අලුතින්ම හදපු ඇනෙක්ස් එකට විදුලි සම්බන්ධතාවයක් ලබාගන්න.
“දවස් දෙකක් ෂූටිං කැන්සල් කරගෙන මම වැඩේට ගියා. මම රූ දවල් ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ ආයතන හැකි ඉක්මණින් කාර්යක්ෂම වෙන්නනම් පෞද්ගලීකරණය වෙන්නම ඕනෙ. පුදුම රස්තියාදුවක්. ඒවායේ වැඩ කරන සමහරු මාව නොදන්නවට කමක් නෑ. ඒත් ඒගොල්ලන්ගේ රාජකාරි කොටසවත් හරියට දන්නෙ නැති පාටයි ඔහු සහෝදර ශිල්පියෙකුට කිව්වලු.
පහුගියදා කොළඹ ප්‍රධාන පෙළේ ශාලාවක (බණ්ඩාරනායක නම තියෙන එකක් කියමුකො) සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඒකට සහභාගී වුණේ 60 හා 70 දශකවල ජනප්‍රිය ගීත ගායනා කළ ගායක ගායිකාවො.
එක්තරා ගීතයකට ගායකයෙකුට අවශ්‍ය වුණා වේදිකාවෙ හිස් මිනීපෙට්ටියක් තියාගන්න, මොකද ඒක ගීතයටද අදාළ නිසා. ඒත් එම ශාලාවේ ආරක්ෂක බලධාරීන් ඒකට ඉඩ දීලා නැහැ. ඔය කතාව අහද්දී අපට මතක් වෙන්නෙ අර ඕලුගෙ ළඟින් යන තවත් රංග ශාලාවක වේදිකාවෙ අඩි උස සපත්තු පැලඳගෙන ඒමට කලා ශිල්පිනියන්ට පනවා තිබෙන තහනම.
කලා ක්ෂේත්රයේ කවුරුත් දන්න චරිතයක් පසුගිය දවස්වල දකින දකින හැමෝගෙන්ම අහන්නෙ කාන්තාවන්ට ඩ්‍රයිවිං උගන්වන හොඳ තැනක් තියෙනවද කියලයි.
ඉතිං හැමෝම එයාගෙන් අහනවා නෝනව ජොබ් එකකට යවන්න හදනවද කියලා.
“නෑ මල්ලි මේකනෙ කේස් එක. අපිට ඉතිං නිතරම වගේ උත්සවවලට ආරාධනා ලැබෙනවනෙ. විශේෂයෙන් හවස් ජාමේ තියෙන පාටිවලට ගියාම මොකුත් නොකර එන්නත් බැහැනෙ. එහෙම වුණු දවස්වල කාර් එක තියලා කැබ් එකක් කතා කරලයි ගෙදර එන්නෙ. නැත්නම් ඉතිං පොලීසිවල ලැගලා නමත් සවුත්තු කරගන්න වෙයි. නෝනා ඩ්‍රයිවිං ඉගෙන ගන්තනම් මම ගොඩ ඔහු ඇඟට පතට නොදැනී කිව්වලු.
අද වැඩද? ඔව් මල්ලි අද මම රෑ නයිට් එක වැඩනෙ. මේ වගේ කතා අපි අනන්තවත් අහල තියනවනෙ.
ඔන්න මෑතකදි ටෙලි නාට්‍ය රූපගත කිරීමකදිත් ඒවගේ දැනුම් දීමක් කරලා තියෙනවා.
“කට්ටිය අද රෑ නයිට් එක වැඩකරන්න ලෑස්ති වෙන්න ඕනේ, මොකද අපට එපිසෝඩ් 5ක් හෙට වෙද්දී භාර දෙන්න තියෙනවා. අධ්‍යක්ෂකවරයා කිව්වලු.
එතකොට රෑ නයිට් එකට ඩිනර් එකත් ලැබෙනවාද? කවුදෝ කට කැඩිච්ච කතාවක් කිව්වම අධ්‍යක්ෂට මළ පැන්නලු.
“ඔව් ඔව් දවල් කෑම ලන්ච් එකත් දෙනවා, උදේ කෑම බ්‍රෙක්ෆස්ට් එකත් දෙනවා, වැඩේ ඉවර වෙලා ගෙදර හවුස් එකට යන්න ට්‍රාන්ස්පෝට් වෑන් එකකුත් දෙනවා. කියලා ඔහු කිව්වම හැමෝම නිශ්ශබ්ද වුණාලු.
සමහර කලා ශිල්පියො ඉන්නවා පාටි කිව්වම ආයිත් කතා දෙකක් නැහැ අනිවාර්යයෙන්ම යනවා. ඒත් කනබොන තැන්වලට තමන්ගෙ නෝනා එක්ක යන්න කැමැති නැහැ නිදහස නැති වෙන නිසා.
සමහර අයට ඉතිං නෝනාව හලලා යන්න බැරිම අවස්ථාත් එනවනෙ.
ඔන්න ළඟදී අපේ ප්‍රවීණ ශිල්පියෙකුට ඔහුගෙ නෝනත් මඟුල් ගේකට යන්න සෙට් වෙලා.
ඔතනට ගිහිං ඔහු කට්ටියත් එක්ක සෙට් වෙලා සප්පායම් වෙලා ඉන්න කොටම එයා ඉන්න තැනට එයාගෙ නෝනා ඇවිත් හිනා වෙවී වෙරි ගුඩ් කියලා යන්න ගියාලු.
කලා ශිල්පියා එක්ක සෙට් වෙලා හිටපු අනිත් සගයින්ට මේක ලොකු ප්‍රහේලිකාවක්ලු.
“මචං උඹේ වයිෆ් නම් මාරයි. කිසි බරබරයක් නැහැ හිනාවෙවී වෙරි ගුඩ් කියලා ගියා. අපේ නම් දන්නවනෙ මෙතන දෙක කරලා ඇති. එක් කෙනෙක් කිව්වා. අතේ තිබුණ වීදුරුව පැත්තකට දාලා අපේ ශිල්පියා යාළුවන්ට කතාව පැහැදිලි කරලා දුන්නා.
“පිස්සුද මචං අපේ වයිෆ් ඇවිත් වෙරි ගුඩ් කියලා කිව්වෙ මම වෙරි වෙලා ඉන්න ගාණ හොඳටම හොඳයි කියලා දැනුම් දීලා යන්න. මෙතනින් එහාට උගුරක්වත් ගත්තොත් මම සුන්.
► Text – Mithra