2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

දැන් ඉතිං ගායිකාවන්ගෙ සින්දුත් කියනවා

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

දැන් ඉතිං ගායිකාවන්ගෙ සින්දුත් කියනවා

හැම ක්ෂේත්‍රයකම නියැලිලා ඉන්න වර්තමාන පරපුර නිර්මාණශීලී නැති බව හැමෝම චෝදනා කරනවා.
මේ චෝදනාව කලා ක්ෂේත්‍රයට බොහෝ සෙයින් බලපානවා.

අනුන්ගෙ දේවල් කොපි කරන්න, අනුන්ගේ සින්දු මංකොල්ල කන්න තමයි ඇතැම් තරුණ කොටස් බලාගෙන ඉන්නෙ. ඉස්සර සංගීත කණ්ඩායම්වලින් බිහිවුණු ලස්සන නිර්මාණශීලී ගීත කොච්චර තිබුණද? ඒත් දැන් දැන් සංගීත කණ්ඩායම් ගායනා කරන්නෙත් අනුන්ගේ සින්දු.

ඒ මදිවට දැන් කණ්ඩායම්වල අලුත්ම විලාසිතාව තමයි ගායිකාවන්ගෙ ජනප්‍රිය සින්දු පිරිමි හඬින් ගායනා කිරීම.

 

ක්ලැරන්ස්ගේ උපහාර ප්‍රසංගයට පොල්ලක්

සිංහල පොප් සංගීතයේ නිර්මාතෘ ලෙස සැලකෙන ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවාට උපහාර පිදීම සඳහා ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹදී සංගීත ප්‍රසංගයක් සංවිධානය කරලා තිබුණා. ඒ ගැන පුවත්පත්වල ප්‍රවෘත්ති පළවීමක් සමඟම ක්ලැරන්ස්ගේ පවුලේ සාමාජිකයෙක් මෙයට තදින්ම විරුද්ධ වුණා.

“තාත්තගේ හැම සින්දුවකම අයිතිය තියෙන්නෙ මට. මගෙන් හෝ මවගෙන් අවසරයක් නොගෙන තාත්තාගේ සින්දු කියමින් ප්‍රසංග පවත්වනවාට හෝ උත්සව පවත්වනවාට අපි විරුද්ධයි. අපි කිසිම කෙනෙකුට උපහාර ප්‍රසංග පවත්වන්නට අවසර දීලා නැහැ. අපේ අවසරයකින් තොරව එවැනි දෙයක් කළොත් අපි නීතිමය පියවර ගන්නවා. ඔහුගේ දියණිය අමිලා කියා තිබුණා.

මේ සමඟම ප්‍රසංගයේදී ගී ගැයීමට සූදානම්ව සිටි ගායක ගායිකාවන් 10 දෙනෙකු පමණ එම ප්‍රසංගයේදී ගී නොගයන බවට ප්‍රකාශ කරලා තිබුණා.

 

 

2017 දින දර්ශන අගෝසතුවේදී

පසුගිය දවසක කොළඹ තරු පහේ හෝටලයක ජයටම මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණේ අලුත් විදේශීය ගුවන් සේවයක් කොළඹ ගමන් ආරම්භ කිරීම සටහන් කිරීමට.

පැමිණ සිටි මාධ්‍යවේදීන්ට හොඳටම සැලකූ ඔවුහු ඒ හැම දෙනාටම හොඳින් ආවරණය කළ බෑගයක පුංචි තිළිණයකුත් ලබා දුන්නා. 

කාර්යාලයට ඇවිත් ඒ තිළිණය කුමක්දැයි නොඉවසිල්ලෙන් ලිහා බැලූ මාධ්‍යවේදීන්ගේ ඇස් උඩ ගියා.
බැලින්නම් එය 2017 වසරේ වර්ණවත් දින දර්ශනයක්.

අයි.... අයිෙයා්.... සිරි

මේ රටේ කලා ක්ෂේත්‍රවලට සම්බන්ධ ඕනෑම කෙනෙක් හොඳින් හඳුනන කෙනෙක් තමයි ප්‍රවීණ සිනමා මාධ්‍යවේදී සිරි කහවල. ඔහුත් කලාකරුවන්ට දක්වන්නෙ පුදුමාකාර ළෙන්ගතුකමක්. 

කලාකරුවෙකුට ඇබැද්දියක්, කරදරයක් වෙන හැම විටකම සිරි කහවල එතැන ඉන්නවා.
කලාකරුවෙකු ගැන ඕනෑම විස්තරයක් දැනගන්නත් මුලින්ම කතා කරන්නෙ සිරි කහවලට. හැම කලාකරුවෙකුටම තම උපන් දිනය දවසෙ උදෙන්ම එන මුල්ම දුරකථන ඇමතුමත් සිරි කහවලගෙන්.

ඔන්න පසුගිය සතියේ සිරි කහවල ගිහින් තියෙනවා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ චිත්‍ර ශිල්පී සරත් මධුගේගේ සුවදුක් විමසන්නට.

රෝහලේ වාට්ටුවෙන් එළියට ඇවිත් ගේට්ටුව අසලට එමින් සිටි සිරි කහවල එක තැනක නැවතුනේ කිසිවක් හිතා ගන්නට බැරි විදිහට.

බැලින්නම් ඔහුගේ කකුල් දෙක උඩින් කාරයක් ගමන් කරලා. රෝහල් භූමිය තුළ සිදුවූ අනතුරක් නිසා ඔහුව ක්ෂණිකව ශල්‍යකර්මයකට භාජනය කරලා.
සිරි කහවල දැන් ගෙදර ඇවිත්. ඒත් සති හයක්වත් ගෙදරින් එළියට බහින්න බැරි වේවි.  

නිළිය එනකම් ඕමි අතක්


 

මේ දිනවල රූපගත කරන ටෙලි නාට්‍යක වැඩ කටයුතු පටන් ගන්නවා උදේ 7 වෙනකොට. ඒත් ඒකේ ප්‍රධාන චරිතය රඟපාන නවක නිළිය දර්ශන තලයට එන්නෙ දවල් 12ට විතර. හැමදාම මොනවහරි නිදහසට කාරණයක් කියාගෙන එනවා. 

ඉතිං ප්‍රධාන නළුවයි තාක්ෂණික කණ්ඩායමේ කට්ටියයි මුලු උදේ වරුවෙම මේ නිළිය එනකම් කාලෙ කකා ඉන්නවා.
මේ ටෙලි නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා ළඟදී හොඳ යෝජනාවක් කළා කට්ටියටම.

අපි දැන් මෙහෙම කාලෙ කකා ඉන්න ගියාම අපිත් කාලකන්නි වෙනවා. ඒ නිසා හෙට එනකොට අපි කාඩ් පැක් දෙක තුනක් අරගෙන එමු. මේ පැය ගාණ නිකරුණේ නාස්ති නොකර අපිට ඕමි අතක් හරි ගහන්න පුළුවන්නෙ.

 

ටවර් රඟහල පදනමට කෙනෙක්  නැතිලු...

මේ රටේ ප්‍රවීණතම ගායිකාවක් පසුගියදා ජීවිතයෙන් සමුගත්තා. ටවර් රඟහලෙන් සුළු විශ්‍රාම වැටුපක් ඇයට වසර ගණනාවක් තිස්සේ ලැබුණා. ටවර් රඟහලෙන් ලබා දෙන රක්ෂණ වන්දියටත් ඇය හිමිකම් කීවා.

ඒත් ඇගේ වියෝවෙන් පස්සෙ ඇගේ පවුලේ උදවිය ලියකියවිලි පුරවා සියලු සහතික පිටපත් සමඟ ටවර් රඟහලට භාර දී තිබුණත් මේ වනවිටත් ඇයට හිමි රක්ෂණ වන්දි මුදල පවුලේ සාමාජිකයින්ට ලැබී නැතිලු. දැන් ඇය ජීවිතයෙන් සමුගෙන මාස තුනකුත් ඉක්මවා ගිහින්.

පවුලේ අය මේ ගැන සොයා බලන්න ටවර් රඟහල් පදනමට කතා කළාම ලැබෙන්නෙ එකම උත්තරයක්ලු.
“ඒ වැඩේ කරන්න අලුතෙන් කෙනෙක් තාම පත්වෙලා නැහැ. මේ ගැන බලන්න කෙනෙක් පත්වෙන්නෙ කවදාද?

 

► Text – Mithra