2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

හිතුවක්කාරි

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 120

අද නත්තල් දවස. පොහොසතුන් සතුටින් හිනාවෙන දුප්පතුන් හූල්ලන නත්තල අද. ජේසුස් වහන්සේ කුරිසියට කැපවුණේ දුප්පතුන් වෙනුවෙන්. ඒත් අද දුප්පතුන් වෙනුවෙන් කුරිසියට කැපවෙන පාලකයින් සහ නායකයින් ලෝකයේ නැති තරම්. ඒත් ලෝකයේ හුඟක් රටවල විශේෂයෙන් බටහිර රටවල මිනිස්සුන්ට සමානාත්මතාවයෙන් නිදහසින් ජීවත් වෙන්න පසුබිමක් තියෙනවා. සමාජ සුරක්ෂිතතාවය ඔවුන්ට පාලකයන්ගෙන් ලැබී තියෙනවා. ඒත් ලංකාව වගේ රටවල්වල තත්ත්වය දේශපාලන සංක්‍රන්තියත් එක්ක අද වෙද්දි ඊට හුඟක් වෙනස්. අද අපි ජීවත් වෙන්නෙ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා උදම් ඇනුව, සුන්දර දිවයිනේ නෙවෙයි. කන පිරෙන්න බුදු බණ දෙසුවත්, බුදු බණ ඇසුවත්, කවිල් හඬ, යාඥා හඬ ඇසුවත් මහ දවාලෙත් මිනී මරණ, පාතාලය රජවෙච්ච, රටේ අනාගතය කියන පරම්පරාව කුඩු විකුණන, කුඩු ගහන, ජනතා ඡන්දයෙන් ජනතා සේවය උදෙසා කියලා කපටි සූට් ඇන්ද සමහර දේශපාලනඥයන් සහ මහත්තුරැ වෙසින් සිටිනා ඇතැමුන් කුඩු ගෙන්වන, කුඩු විකුණන රටක, මහ දවාලෙත් රටේ මහා පරිමාණ හොරකම් සිද්ධවෙන රටක, වගකිවයුතු ධූර දරන නිලධාරීන් කසි කබල් විදිහට හැසිරෙන, කුණුහරප කියන, නියෝග දෙන රටක මිනිස්සුන්ට දකින්න හැකි සුබ සිහින මොනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.ඒත් කී නොකී බොහෝ දෑ මැද රටේ ජනතාව මදි නොකියන්න නිවාඩු ඇති රටේ හුඟක් උත්සව සමරනවා. කනවා, බොනවා සතුටු වෙනවා. ඇත්තට පයින් ගහලා බොරැවත් එක්ක ජීවත් වෙනවා. ඇත්තට වඩා බොරැව ලස්සනයි කියලා දැනුණත්, හිතුණත් ජීවිතේ ඇත්තට අවනත වියයුතු දවසක් එනවා නියතයෙන්ම. අපි ජීවත් වෙන්න ඕනෑ. විඳවනවා වෙනුවට ජීවිතේ විඳින්න ඕනෑ. අපිට අපේම කියලා ඉගිල්ලෙන්න අහසක් හිමි නොවුණත් පියාපත්වල බරක් නොදැනී ඉගිල්ලෙන්න පුළුවන් දවසක් ආවොත් එදාට ජීවිතේ සුන්දර වග සුමට වග හදවතට දැනේවී.

ඒත් අද අපි ජීවත් වෙන්නේ හුඟක් සුබසිහින ඇස් අස්සෙ ඉපදෙන සමාජ දේශපාලන පසුබිමක නෙමෙයි. හුඟක් මිනිස්සු හිඟා නොකා හිඟා කනවා. සීයට පනහකින් වැඩිවෙච්ච ඉන්ටර්නෙට් - ෆෝන් බද්ද ඇතුළුව, රැපියල් 25000 දඩයක් එක්ක කොඳුනාරටි බිඳෙනකම් බදු වැටිච්චි රටේ තුන්වේලක් නෙවෙයි දෙවේලක් කන්නෙ කොහොමද කියලා මිනිස්සු දහ අතේ කල්පනා කරනවා. ඊළඟ අවුරැද්දෙන් ඔක්කොම ඉවරයි. ඊළඟ අවුරැද්දෙ කල්ප විනාශය කියලා හිතලාවගේ රුයක් දවාලක් නැතිව හිටු න්‍යායයෙන් හොරකම් කරන දේශපාලනඥයන්ද ඉන්න රටේ ග්‍රහ තාරකා අනුව ලියවෙච්චි මිනිසුන්ගේ ඉරණම් පවා වෙනස් වෙන්න පුළුවන්. ඒත් ආය නම් මෙහෙව් රටක නොඉපදේවා කියලා ප්‍රාර්ථනයෙන් හරි ජීවත් වෙන්න මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා.

ජීවිතේ අපි හැමෝටම හිනාවෙන්න දවසක් එනවා. ළඟක හෝ දුරක ඒ දවස තියෙන්න පුළුවන්. සියල්ල මැද ඔබ සිනාසෙයි. ඒත් ජීවිතේ කවදාවත් අමතක කරන්න එපා. පය ගහලා ජීවත් වෙන්නෙ කොහොම රටකද සමාජයකද කියලා. ඔබට සුබ නත්තලක් කියලා අපට කියන්න පුළුවන් වෙන්නෙත් මේ සියලු අලකලංචි පිරිච්ච සමාජයකදිම තමයි. 

දවස් හතකින් හමුවෙමු 
 ස