2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

අපේ ළමයි දැන් කවුරු කරන්නද මන්දා

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 76

එක්තරා කාලෙක මව්පියන්ගෙ එකම අරමුණ වුණේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීලා රටට දැයට වැඩදායී හොඳ පුරවැසියො හැටියට ඉදිරියට එන්න ඔවුන්ට උදවු කරන එක.

ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒ හීන ටික ටික බොඳ වෙලා ගිහිං අළුවෙලා. තාත්තලා බැලුවෙ දරුවො තරු මාවතේ යවලා ක්ෂණිකව ජනප්‍රිය කරවන්න. ඒ දරුවො හොඳ ස්ටාර්ලා කරන්න. ඒත් දවසින් දවස ගුණාත්මක අතින් පිරිහෙන කලා ලෝකයේ දේවල් දැකලා මව්පියන්ට ඒකත් එපා වෙලා.

ඊට පස්සෙ දෙමව්පියෝ බැලුවෙ විශේෂයෙන් පුතාලාව හොඳ ක්‍රිකටර් කෙනෙක් කරන්න.
අපේ අම්මලා දැන් දකින ක්‍රිකට් ගැන හිතලා අම්මලා දැන් ළමයින්ට ක්‍රිකට් ප්‍රැක්ටිස් යවනවා තියා ටී.වී.වල යන ක්‍රිකට් මැච්වත් බලන්න දෙන්නෙ නැහැලු.

 

ඔයා මෙයාගෙ තාත්තා නේද?

අපේ සමාජයේ බොහොමයක් වෙලාවට දක්ෂතාවයට වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නෙ ජනප්‍රියත්වයට. ඔය කතාව කියන්න හිතුණෙ දශක ගණනාවක කාලයක ඉඳන් කලා කේෂ්ත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නු ප්‍රවීණයෝ කියපු කතා මතක් වෙලා.

උදාහරණයක් හැටියට ගත්තොත් ජනප්‍රිය රංගන ශිල්පීන් වන සබීතා පෙරේරා, සංගීතා වීරරත්නගේ පියවරු කලා කේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ. ස්ටැන්ලි පෙරේරා 1956 කාලයේ ඉඳන්ම සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවෙක්. සංගීතාගේ පියා තිමති වීරරත්න ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක්.

අභිෂේකා විමලවීරගේ පියා තමයි ප්‍රවීණ ගී පද රචක සුනිල් විමලවීර. මේ තිදෙනාම අද මෙලොව හැර ගියත් ඔවුන්ගේ මතකය අපෙන් ගිලිහී යන්නෙ නැහැ. 

ඒ ප්‍රවීණයින් තිදෙනා මෙන්ම ජනප්‍රිය දරුවන් සිටින ප්‍රවීණ කලා ශිල්පීන්ට එක ප්‍රශ්නයක් තිබුණා. තාමත් තියෙනවා ඇති. ඒ අය කොහේ හරි දැක්ක තැනක අලුත් පරපුරේ අය අහන්නෙ “ඔබතුමා සබීතාගෙ තාත්තා නේද? සංගීතාගේ තාත්තා නේද?කියලා.

 

ගේ වට කරගෙන ෂූටිං

ඔන්න ඊයේ පෙරේදා දවසක රජයේ ඉහළ රුකියාවක් කරන නිලධාරී මහතෙක් උදේ රැකියාවට යන්න ගෙදර ගේට්ටුව ඇරලා වාහනේ එළියට ගන්න හදනවලු. ඒත් එක්කම ගේට්ටුව අස්සෙන් හඬක් එනවලු.
“අනේ සර් ගේට්ටුව අරින්න එපා. වාහනේ ස්ටාර්ට් කරන්න එපා. අපි මෙහෙ ෂූටිං. ටෙලි නාට්‍ය කණ්ඩායමේ කෙනෙක් මේ නිලධාරියාට කිව්වලු.

“යකාගෙ වැඩක්නෙ. ඕගොල්ලන්ට වෙන තැනක් ලැබුණෙ නැද්ද ෂූටිංවලට. දැන් මම රස්සාවට යන්න ඕගොල්ලන්ගෙ වැඩේ ඉවර වෙනකම් ඉන්න ඕනෙද?

“නෑ සර් මේ සීන් එකෙන් පස්සෙ ගේට්ටුව අරින්න පුළුවන්. තරහ වෙන්න එපා සර් දැන් ඉතිං ටෙලි නාට්‍ය වියදම් අඩු කරන්න ගොඩාක් අය පාරෙම තමයි ෂූට් කරන්නෙ. නැත්නම් ඉතිං ලොකු ගෙවල්වලට, හෝටල්වලට බර ගණන් ගෙවන්න වෙනවනෙ. බොරුනම් බලන්නකො දැන් යන ටෙලි නාට්‍ය දිහා... ඔහු කිව්වලු.

 

No ක්ලැරන්ස් අය්යෝ ටිකට්.. 

පසුගියදා පැවැත්වීමට නියමිතවූ උපහාර සංගීත ප්‍රසංගයකට මෙරටට බිහිවූ අති දක්ෂ සංගීතඥයකු හා ගායකයෙකු වූ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දියණිය හා භාර්යාව දැක්වූ දැඩි විරෝධතාවය මැද ප්‍රසංගය අවසන් මොහොතේදී අත්හිටුවීමට සංවිධායකයින්ට සිදුවුණා. 

මේ හේතුවෙන් ප්‍රසංගයට සහභාගී වීමට නියමිතව සිටි ගායක ගායිකාවන් සංගීතඥයින් මෙන්ම ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රවේශපත් ලබාගත් පිරිස දැඩි අපහසුතාවයකට පත්වූ බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙවැනි උපහාර ප්‍රසංග පැවැත්වීමට එම නැසීගිය කලාකරැවාගේ පවුලේ උදවිය අවසර නොදෙන බව දන්නේ නම් ප්‍රසංගය සංවිධායකයින්ට මුලින්ම කරුණු තහවුරු කරගෙන මෙම ප්‍රසංගය සංවිධානය කරන්නට ඉඩකඩ තිබුණා යැයි සංගීත ක්ෂේත්‍රයේ තතු ආරංචි මාර්ග පවසනවා.

මෙය පාඩමක් හැටියට ගෙන, මින් මතුවට මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් සිදු නොවන්නට වග බලා ගැනීම කාගෙත් වගකීමක නොවන්නේද

 

අලේ බට බෑ අබ්බා

පසුගිය දවසක රූගත කෙරුණු ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය රඟපාන රංගන ශිල්පිනියට වෛයිරස් උණක් හැදිලා. උණ, ඇඟපත වේදනාව මැද වුණත් දැඩි කැපවීමෙන් කෙල්ල ෂූටිං ආවා.

ඒත් එක දවසක් උදෙන්ම එයා අධ්‍යක්ෂට කතා කරලා කිව්වලු කැස්ස, හෙම්බිරිස්සාව ගතිය වැඩි නිසා එදාට ෂූටිං එන්න බැරිවෙයි කියලා.

“අනේ නංගී එහෙම කරන්න එපා. අපි ලොකු අමාරුවක වැටෙයි ඔයා අද නාවොත්. සීන් ගොඩාක් තියෙනවනෙ අද ඔයාට. සීන් අතරතුර ඔයාට රෙස්ට් කරන්න දෙන්නම්කො. අධ්‍යක්ෂකවරයා පින්සේන්ඩු වුණාලු. අනේ පැයක්වත් යන්න කෙල්ල සෙට් එකට ආවලු.

පළවෙනි සීන් එකේ දෙබස ටික බලා ගත්තලු. ඒ සීන් එක තිබුණෙ කෙල්ලගෙ අම්මට රඟපාන ප්‍රවීණ නිළියක් එක්කලු. “ඕකේ... ඇක්ෂන්...
කෙල්ල අම්මා ළඟට ඇවිත් දෙබස කියනවා.
“අලේ බට බෑ අබ්බා...
“කට්... කට්... මේ මොකද මේ ඔයාට තියෙන්නෙ, “අනේ මට බෑ අම්මා කියන්නනෙ. අධ්‍යක්ෂවරයා කියනවා. 
“අලේ බට බෑ අයියෝ...

► Text – Mithra

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00