2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

මා අසලින් ඔබ නැතුවා දුකකි....

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

කෙනෙකුගේ ජීවිතය තුළ මංගල දිනය අතිශය සුවිශේෂී මොහොතකි. බොහෝ විට එවැන්නක් එන්නේ ජීවිතයටම එක්වරකි. එනිසා මංගල දිනය තමන් පතන අයුරින්ම සාර්ථක කරගැනීමට හැමකෙනෙකුම පාහේ විශේෂයෙන්ම යුවතියන් දක්වන්නේ ලොකු අවධානයකි. 

අමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියාහි වාසය කරන බ්‍රිට්නි යොස්ට් තම ජීවිතයේ වැදගත්ම දිනය සැලසුම් කරන්නට පටන් ගත්තේ වසර කිහිපයක පටන් ය. එළිමහන් මංගලෝත්සවයක් ගැනීම, සුදු පැහැ වේලය හා ක්‍රීම් පැහැ මංගල ඇඳූම ඇතුළු සියල්ල සැලසුම් කළාය. 

තම ජීවිතයේ වඩාත්ම ආදරණීය පුද්ගලයා වූ සීයාට ද ඇය සිය මංගලෝත්සවයේ විශාල වගකීමක් භාර කර තිබුණි. ඇගේ සීයා දේවගැතිවරයෙක් හේතුවෙන් අල්තාරය අභියස දී නව යුවල විවාපත් කරවීම භාර කොට තිබුණේ ඇගේ සීයාට ය. 
එහෙත් ජීවිතය තුළ සියල්ල සිදුවන්නේ අප ප්‍රාර්ථනා කරන ආකාරයට නොවන බව බ්‍රිට්නිට වැටහුණේ මීට මාස හයකට පෙර සීයා ජීවිතයෙන් සමුගැනීමත් සමඟ ය. ජීවන ගමන තුළදී තමන්ට වඩාත්ම ළෙන්ගතු වු මිනිසාගේ වියෝව ඇයට දරාගත නොහැකි විය. සියල්ලටමත් වඩා ඇගේ මංගල දිනය දෑසින් බලා සතුටු වන්නට සීයා නොමැති වීම ඇගේ ශෝකය දෙගුණ තෙගුණ කළේය. 

බ්‍රිට්නිගේ විවාහ දිනය උදාවිය. සතුටත් ශෝකයත් මිශ්‍ර වූ හැඟීමෙන් ඇය මඟුල් ඇඳුමින් සැරසුණාය. ඇය අල්තාරය වෙත ගමන් කරන මොහොතද පැමිනුණි. පියාගේ වැළමිටට තම වැළමිට දවටාගත් ඈ අල්තාරය වෙත සෙමෙන් පිය නැඟුවාය. නොබෝ වේලාවකින් තම ස්වාමි පුරුෂයා වන්නට යන ජෝර්ඩන් අල්තාරය ඉදිරියේ හුන්නේය. ඔහු අසලම සිටගෙන සිටියේ කළු ඇඳුමින් සැරසුණු දේවගැතිවරයෙකි. ඔහු වෙනුවට තම සීයා එතැන සිටියා නම් ඒ දසුන කොතරම් සුන්දර දැයි ඈට සිතිණ. 


“අද ඔයාගේ සීයා හිටියානම් කොච්චර සතුටු වෙයිද?” පියා ඇගේ කනට කර මිමිණුවේ ඇගේ හදවත තවදුරටත් ශෝකයෙන් බර කරමිනි. 

අල්තාරය වෙත පැමිණි ඇය කඳුළු පිරුණු දෑසින් පෙම්වතා දෙස බැලීය. අද දිනයේ බ්‍රිට්නි තම සීයා ගැන සිතමින් ළතැවෙන බව ඔහු හොඳින් දැන සිටියේය. ඔහු ඇගේ සුරත තරයෙන් මිරිකාගත්තේ ඇගේ දුක තමාද බෙදාගැනීමට සූදානම් බව හඟවමිනි. 
මංගල සභාවේ වැඩ ආරම්භ විය. දේවගැතිවරයා චාරිත්‍ර වාරිත්‍ර පටන් ගත්තේ ය. අවසානයේදී ඔවුන් දෙදෙනා ස්වාමි පුරුෂයා සහ භාර්යාව ලෙස නම් කරන මොහොත පැමිණියේය. 
“හැම දෙනාම යාඥාවට සූදානම් වෙන්න” දේවගැතිවරයාගෙන් මෘදු අණකි.
 බ්‍රිටිනි සහ ජෝර්ඩන් ද දෑස් අඩවන් කොටගෙන හිස බිමට බර කළහ. 

“ඔබ දෙදෙනා ස්වාමිපුරැෂයා සහ භාර්යාව ලෙස මම නම් කරනවා. දෙවියන් වහන්සේ විසින් එකට එක් කළ ඔබ දෙදෙනා කිසිවෙකුටත් වෙන් කළ නොහැක. දැන් ඔබ මනාලියව සිපගන්න”. 
ඒ ඇසුණේ දේවගැතිවරයාගේ හඬ නොවේ ඇගේ සීයාගේ කටහඬ ය. මීට දෙවසරකට පෙර ඇගේ වැඩිමල් සොයුරියගේ විවාහ දිනයේ සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන ලද්දේ බ්‍රිටිනිගේ සීයා විසිනි. එහිදී අල්තාරය ඉදිරියේ මනාලයාත් මනාලියත් හිඳිනවිට සීයා කළ ප්‍රකාශය ඇගේ සොයුරිය විසින් පටිගත කොට තිබුණි. බ්‍රිට්නිගේ විවාහ දිනය වර්ණවත් කෙරුණේ එම පටිගත කළ සීයාගේ කටහඬිනි. 
ඔහු සැබෑවමට සිටියානම් කරන දේ පටිගත කළ කටහඬ ඔස්සේ ඒ අයුරින්ම සිදුවිය. බ්‍රිට්නි සහ ජෝර්ඩන් සැබවින්ම සරණ බන්ධනයට ඇතුළු කළේ ඇගේ සීයා විසිනි. 

කඳුළු පුරවාගත් දෑසින් බ්‍රිට්නි ජෝර්ඩන්ව සිපගත්තේය. 
“මට සීයා නැති අඩුව දැනුණෙ නැහැ. මගේ ළඟ පෙනෙන්න නොහිටියත් ඔහුගේ කටහඬ ඇහෙන්න ලැබුණු එක තරම් තවත් සතුටක් නැහැ” බ්‍රිට්නි කීවේ රැස්ව හුන් සියලු දෙනාගේ දෙනෙත් තෙත් කරමිනි. 

► Text - Rajitha