නිලන්ති මුලින්ම කියමුකෝ මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල කලාව පැත්තෙන් ඇත්තටම එහෙම ලොකු දෙයක් කරන්නේ නෑ. Star City රියැලිටි ෂෝ එකෙන් පස්සේ දීර්ඝ කාලයේ ෂෝ එකක් තියා වෙන කිසිම වැඩක් ඒ දවස්වල බාරගත්තේ නෑ. ඒ ප්‍රෝග්‍රෑම් එක වුණත් දුවත් එක්ක කළේ හරිම අමාරුවෙන්. ඒ නිසා ඒකෙන් පස්සේ මම මේ දවස්වල පොඩ්ඩක් නිදහසේ හිටියා. මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න හරිම ආසාවෙන් මේ දවස්වල බලාගෙන ඉන්නවා.
දුවට දැන් වයස කීයද?
දුවගේ නම ෂෙනායා. දැන් දුවට වයස අවුරුදු තුනහමාරයි. චූටි දූ දඟයි. එයා ඉපදුණු දා ඉඳලා මට ඕන වුණේ එයාට අම්මා කෙනෙක් ළඟ ඉන්නම කාලේ එයා ළඟටම වෙලා එයාගේ දේවල් වලටම කැපවෙලා කරන්නයි. ඒ නිසා ඒ කාලය මම එයා වෙනුවෙන්ම කැපකළා. එයා දැන් චුට්ටක් තේරෙන වයසේ නිසා දැන් පොඩ්ඩක් වැඩවලට යන්න පුළුවන් කියලා හිතනවා.
පසුගිය කාලේදී නිලන්තිට නිර්මාණවලට ආරාධනා එහෙම ලැබුණද?
ඔව්... ආරාධනානම් ලැබුණා. එතනදී ගොඩක් වෙලාවට මම අකමැති වුණේ බොහෝ නිර්මාණවලට ආරාධනා ලැබුණේ කොළඹින් පිට රූගත කිරීම්වලට නිසා. ඉතින් බබාත් එක්ක ගිහින් එහේ නතර වෙන්න බැහැ. ඒක නිර්මාණ කණ්ඩායමටත් කරදරයක්. බබාටත් වෙහෙසක් නිසා ඒ නිර්මාණ මම බාරගත්තේ නෑ.
මොකක්ද මේ වෙනස. ඇඟ ටිකක් කෙට්ටු වෙලා වගේ...
ඔව්... අනේ මේ දවස් ටිකේම ඩාන්ස් කරලා කරලා කෙට්ටු වෙලා. ඒ වගේම පසුගිය දවස් ටිකේ මට සනීපත් නැතිව ගියා. ඒ නිසා කෙට්ටු වෙලා වගේ. හැබැයි මම ඕනකමින්නම් ඔන්න කෙට්ටු වුණේ නෑ. ඩාන්ස් කරලම තිබ්බ ඇඟ බැස්සා.
හැබැයි දැන් ඕනකමින් මහත් වෙන්න නිලන්ති හදනවා කියලයි ආරංචියි?
ඔව් අනේ... ගොඩක් කට්ටිය මාව දැක්කම අහන්නේම මොකද ඔය කෙට්ටු කියලා. හැබැයි ටී.වී. එකේදී මාව දකිද්දිනම් මම ටිකක් මහත විදිහට තමයි පේන්නේ. හැබැයි ඉතින් මම කෙට්ටු වෙලා. මම බටහිර වෛද්‍යක්‍රමයට අනුව වෛද්‍යවරයෙකුගෙනුත් බෙහෙත් ගත්තා. දැන් අම්මා බණිනවා බෙහෙත් බොන්න එපා කියලා. හැබැයි මට තව ටිකක් මහත් වෙන්න නම් ඕනේ.
චූටි දුව වැඩිපුරම කැමති මොනවටද?
චූටි දුව හරිම ආසයි නර්තනයට. මාත් එක්ක එයත් එවා බලාගෙන ඉඳලා නටනවා. අතපය එහෙම එහාට මෙහාට කරනවා. ඇස් නටවනවා. එයා කියනවා එයා ආසා බැලේ ඩාන්සින් වලටලු. එයා හැම වෙලේම කියන්නේ I Want to go stage කියලයි. දුව කලාවට හරි කැමතියි කියලා එයා කරන කියන දේවල්වලින් අපිට ටිකක් හිතෙනවා. එයත් එකක් ගතකරන කාලය හරිම විනෝදයි. කොයි වෙලෙත් එයා මාත් එක්ක සෙල්ලම් කරකර තමයි ඉන්නේ.
පිටි කොටපන් නෝනේ කියලා නටලා කලාවට අවතීර්ණ වුණ නිලන්තිගේ පුංචි කාලේ හීනයක් කලාකාරියක් වීමද?
නෑ මම මේ ෆීල්ඩ් එකට එන්න කවදාවත් එහෙම හිතලා නෑ. මම ඩාන්සින් වලටත් ජිප්සීස්ලගේ පිටිකොටපන් නෝනේ සින්දුවට තමයි පළවෙනියටම ආවෙත්. ඉස්සර මම ඔය රූපලාවන්‍ය කටයුතු වලට හරි ආසයි. පුංචි කාලේත් මම ඔය ලිප්ස්ටික් ගාගෙන ලොකු සපත්තු දාගෙන අම්මගේ සාරි ඇඳගෙන හැඩවැඩ වෙලා තියෙනවා. ඉතින් ලස්සනට ඉන්න ලස්සනට කරන්න මම හරි ආසයි. බෝනික්කන්ගේ මූණ පුරා පාට ගාපු පුංචි කාලයක් මටත් තිබුණා. ඒ නිසා මම ඉස්කෝලෙන් අයින් වෙලා රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරලා ඒ පැත්තෙන් යන්නයි හිතාගෙන හිටියේ. ඉතින් මේ ඩාන්සින්වලට යොමුවුණාට පස්සේ ඉස්සෙල්ලම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබුණා. පළවෙනි චිත්‍රපටයේදීම මට ප්‍රධාන චරිතයක් ලැබුණා. ඒ ජොලි හලෝ චිත්‍රපටයේ. එතනින් පටන් ගත්තු ගමන තමයි මේ.
නිලන්තියි, මංජුයි, චූටි දුවයි අද ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මංජුත් එයාගේ ව්‍යාපාරික කටයුතුත් එක්ක ගොඩක් කාර්යබහුලයි. ලැබෙන විවේක වෙලාවකදී අපි තුන්දෙනාම කොහේහරි ගිහින් විනෝද වෙනවා. තනියම ගත කරපු ඒ ඉස්සර ජීවිතයට වඩා අද ගෙවන ජීවිතේදී වගකීම් වැඩියි. ඒ වගකීම ගොඩක් වැඩියි. අපි හැමවෙලේම අපේ පුංචි පවුල ගැන හිතන්නෝනේ. ඉතින් පවුල් ජීවිතයත්, කලා ජීවිතයත් සමබරව තියාගෙන අද මම මගේ ජීවිතේ ගත කරනවා.
► Text – Jayamali / Pic - Sumudu