හිත මිතුරුකම් කොච්චර සුන්දරද කියලා ඔයත් හදවතින්ම විඳලා ඇති. එහෙත් හදවතින්ම බැඳෙන ළෙන්ගතු හිත් අපිට මුණගැහෙන්නේ හුඟක් කලාතුරකින්. ඒ ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් ලෝකෙ නෑ කියන සිද්ධාන්තය හැම බැඳීමකටම සාධාරණ නිසා කියලයි මට හිතෙන්නේ. එහෙත් අපි මරණයෙන් ජීවිතය අත්හරින තුරුම හිත මිතුරු හිත් හොයනවා. ළෙන්ගතුකම් බලපොරොත්තුවක් කර ගන්නවා. දවසක් දා මගේ යාළුවෙක් මට පේර ගෙඩියක් ගෙනත් දුන්නා. ඒ පේර ගෙඩියට වඩා මට හුඟක් වටිනවා කියලා හිතුණේ ඒ පේර ගෙඩිය දීලා එයා මට කියපු දේ. මේක මම හදපු ගහේ හැදුන දෙවැනි පේර ගෙඩිය. මේක මම ගෙනාවේ අක්කට කියලා. ඒ පේර ගෙඩිය රසද නැද්ද කියලා මට අදටත් මතක නෑ. ඒත් ඒ පුංචි සංසිද්ධිය අදටත් මගේ හිත ළඟ හරිම ආදරණීයයි.
මට හිතෙන්නෙ අපිට ජීවිත කාලය පුරාවටම නිර්වචනය කරන්න බැරි වචන කිහිපයක් තියෙනවා. ඒ වචන අස්සේ තියෙන්නේ හැඟීම්. ජීවිතය, ආදරය, මිත්‍රත්වය, බැඳීම කියන හැඟීම් එක්ක ඉපදුන වචන කවදාවත් නිර්වචනය කරන්න බෑ කියලයි මට හිතෙන්නේ. ඒ ඒ වචන වලට හැඟීම්වලට අවසාන අර්ථයක්වත් නිශ්චිත අර්ථයක්වත් නැති හින්දා.
මේ සාහිත්‍ය මාසය. දොරකඩටම ආවේ පොත් වසන්තය. හොඳම යාළුවන් මුණගැසෙන මාසය. හොඳම යාළුවන් කියන්නේ පොත්. වෙනස් නොවන, මඟනොහරින මිත්‍රයන්. පොත් පිටු අස්සෙදී අපිට මුණගැහුන හිත මිතුරු හිත් කොච්චර ඇද්ද? ඒ හැම කෙනෙක් තුළම අපි වින්ද මනුස්සකමේ සුවඳ අදටත් ඔයාගේ හිතේ කොහේ හරි අස්සක රැඳිලා ඉතුරුවෙලා ඇති. මට හිතෙනවා මඟ නොහැරපු වෙනස් නොවුණු ආදරණීයම මිතුරු හිත් ඇත්තටම මුණගැසුණේ පොත් පිටු අතර විතරමද කියලා. හැබෑ ලෝකෙදී මුණගැසුණ එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්න.
අදටත් පේර ගෙඩියක් දකිද්දී මට ඒ සොඳුරු මිතුරු හිත සිහිපත් වෙනවා. ලෝකය කියන අනන්තය ඇතුළෙ අපි පුංචි තිත් කියලා මට හිතෙනවා. ලෝකය නිර්මාණය වී ඇත්තේ ඒ වගේ හිත් අසංඛ්‍ය ගණනකින් කියලත් මට හිතෙනවා. ඒ තිත්.. මේ ලෝකය හා අනන්ත සංසාරය කියන්නෙ පුදුමාකාර සහ විස්මිත චක්‍රයක්. ඒ චක්‍රය ඇතුළෙ අපි හමුවෙවී වෙන්වෙනවා. වෙන්වෙවී හමුවෙනවා. නෑවිදින් යන්නත් බෑ. නොගිහින් එන්නත් බෑ. හැබැයි අනන්ත දුර ගමනේදී ආයෙත් කොහේ කොතනකදී මුණගැසුණත් අපිට ඒ හිත මිතුරු හිත්වල ආදරය ආයෙ ආයෙත් දැනෙනවා.
මටනම් හිතෙන්නේ එහෙම
ඔයාට හිතෙන්නෙ කොහොමද ?
I Sanju