නටුවෙන් ගිලිහුණු.....
නටුවෙන් ගිලිහුණු පින්න මලක් සුළඟට පාව ඇවිත්....
හරියට මීට අවුරුදු 12කට පෙර මම ගීතය ලාංකික සංගීත ලෝලීන් අතර ජනප්‍රිය වූ අතර එහි ජනප්‍රියත්වය අදටත් නොනැසී පවතින බව රහසක් නොවේ.
එහෙත් නටුවෙන් ගිලිහුණු පින්න මලක් ගීතය ගයමින්, පද රචනය කරමින් ගීතයේ තනුවද නිර්මාණය කළ ප්‍රියාල් අමරසිංහ, ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ වැජඹුණු කාලයේදීම සකුරා මල් පිපෙන රටකට පාව ගියේය.
වසර 12ක් පුරාම ජපානයේ ජීවත්වූ ප්‍රියාල්, මුල්ම වතාවට සිය මව්බිමට යළි පැමිණි අවස්ථාවේදී හදසර සමඟ කතා කළේය.
මම ලංකාවෙන් පිටවෙලා ගියේ හරියටම අවුරුදු 12කට කළින්. යළි ලංකාවට ආවේ වසර 12ක් ජපානයේ ජීවත්වෙලා. ඒත් නටුවෙන් ගිලිහුණු ගීතය එදා මෙන්ම අදත් එකසේම ජනප්‍රිය පැවතීම ගැන මට ලොකු සතුටක් ඇතිවුණා.
නටුවෙන් ගිලිහුණු ගීතයේ ආරම්භය ගැන මතකය අවදි කළොත්?
නටුවෙන් ගිලිහුණු ගීතයේ ගායනය වගේම පද රචනයත්, තනුවත් නිර්මාණය කළේ මම. පින්න මලක් සීඩී පටයට තමයි මම මේ ගීතය නිර්මාණය කළේ. ඒ සීඩී පටයෙ ගීත 12ක් තිබුණත්, නටුවෙන් ගිලිහුණු ගීතය තමයි එක රැයකින් ජනප්‍රිය වුණේ. අද වගේ ගුවන් විදුලි නාලිකා ගොඩාක් එදා තිබුණෙ නැහැ. ඒත් හැම නාලිකාවම ගීතය ප්‍රචාරය වුණා. මට සංගීත සංදර්ශන සඳහා ඉල්ලීම් ගලා එන්නට වුණා. එක රැයකින් මම තරුවක් බවට පත්වුණා මේ ගීතය නිසා.
ඔබ ගායකයෙකු වෙන්නට හීන මැවූ කෙනෙක්ද?
කොහෙත්ම නැහැ. මම පාසැලේදිවත් සංගීත විෂය ඉගෙන ගත්තෙ නැහැ. මගේ පියා වැඩකළේ දුම්කොළ සංස්ථාවෙ. ඔහු රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සෙ අපි වේයන්ගොඩින් ගෙයක් අරන් පදිංචියට ආවා. ඒ කාලෙ මම රූකාන්ත ගුණතිලකගෙ දැඩි රසිකයෙක්. ඒ කාලෙ බඹර පහස ගීතය අතිශයින්ම ජනප්‍රියව තිබුණා. වේයන්ගොඩ පැත්තෙ සංගීත ප්‍රසංගවල මම රූකාන්ත ගුණතිලකගෙ ගීත ගායනා කළා. ඒ කාලෙ අපේ ප්‍රදේශයේ ලෝකල් රූකාන්ත කියලයි මම ජනප්‍රිය වුණේ. මගේ එකම අරමුණ වුණේ හොඳ ගායකයෙක් වෙන්නයි. එනිසයි මම පින්න මලක් සීඩී තැටිය කරන්න පෙළඹුණේ
ජපානයේදී ඔබ සංගීතමය කටයුතුවල නියැලුණේ නැද්ද?
මා ගැන දන්න හඳුනන අය හිටිය නිසා ඇතැම් ප්‍රසංගවල ගීත ගායනා කළත්, අලුත් සංගීත නිර්මාණ කරන්න කාලවේලාවක් තිබුණේ නැහැ. ඒ රටේ මුල් තැන දෙන්නෙ මුදල් හම්බ කරන්න.
ඔබ නැවත ජපානෙට යන්නෙ කවදද?
මේ පාර මම අඩුම තරමින් අවුරුද්දක්වත් මෙහෙ නැවතිලා යන්නයි අදහස් කරන්නෙ. ඒ කාලය ඇතුළත අලුත් ගීත නිර්මාණ දෙක තුනක් හා ඊට රූප රචනා හදන්නත් බලාපොරොත්තු වෙනවා.
► Text – Ramesh Uvais