ෆෝමියුලා 01 ධාවන ලෝකයේ රජ්ජුරුවන් වූ මයිකල් ෂූමාකර් නොසිතූ අකරතැබ්බයකට මුහුණදී ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ පෑවේ මීට අවුරුදු හතරකට පමණ පෙරදීය. ප්‍රංශ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ අයිස් කන්දක් දිගේ පහළට රූටා ඒමේදී (ස්කී ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී) බිම ඇද වැටීම නිසා ඔහු මෙම අනතුරට බඳුන් වූයේය. ඔහු ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ හුන්නද හිස ගලක වැදීමෙන් කෝමා තත්ත්වයට පත්වූයේ ඔහුගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඈත් කරමිනි.
එම කාලයේ ලොව පුරා ප්‍රධානම පුවතක් ලෙස ෂූමාකර්ගේ මේ අවාසනාවන්ත සිදුවීම ගැන වාර්තා පළවුවද මේ වනවිට ෂූමාකර්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඇත්තේ අඩු කතාබහකි. අඩු තොරතුරු ප්‍රමාණයකි.
වාර්තා වන අන්දමට ෂූමාකර්ගේ තත්ත්වය කෙමෙන් යහපත් අතට හැරෙමින් තිබේ. 2014 දෙසැම්බර් වනවිට කෝමා තත්ත්වයෙන් ඔහු මිදීමත් සමඟ ඔහුව තවදුරටත් ජීවත් කළ හැකි බව වෛද්‍යවරු පැවසූහ. මේ වනවිට ඔහු බරපතළ ආබාධ තත්ත්වයෙන් මිදී ඇතිමුත් සම්පූර්ණයෙන්ම සුව අතට හැරී නැත.
ඔහුගේ පවුලේ සාමාජිකයින් ෂූමාකර්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කිරීමට එතරම් උනන්දුවක් නොදක්වන බවක්ද පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් සමීපතම ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට ෂූමාකර් මේ වනවිට යන්තම් කතාබහ කළ හැකි තත්ත්වයට පමණක් නොව පියවරක් දෙකක් ඇවිද යාමේ තත්ත්වයට සුව වී තිබේ. ඔහු තවමත් නේවාසිකව රෝහලක රැඳී සිටිමින් ශාරීරික අභ්‍යාස පටන් ගනිමින් හිඳී.
ඔහුගේ හිටපු කළමනාකරුවා මාධ්‍ය හමුවේ කියා තිබුණේ ඉතා නුදුරු කාලයේදී ෂූමාකර් ලෝකය අතරට නැවත පැමිණෙනු ඇත යන්න තමන් තදබල ලෙස විශ්වාස කරන බවය.
රෝගී තත්ත්වය නිසා ඉතාම කෘෂ තත්ත්වයේ පසුවන ෂූමාකර් සම්පූර්ණ සුවය ලැබූවද නැවතත් ක්‍රීඩා ලෝකයට අවතීර්ණ වේ යැයි සිතීම අපහසු වුවත් සුන්දර සිනහවකින් නිතරම මුව සනසාගෙන ලොවක් තම වසඟයට ගත් ඒ අපූර්ව ක්‍රීඩකයා සම්පූර්ණ සුවය ලැබීමේ සතුටම ක්‍රීඩා ලෝලීන්ගේ සතුටට සෑහෙනු ඇත.
► Text - Rajitha