2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මැරිච්ච මිනිස්සුත් බොරු කියනවද?

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

ජානා නිවෙසට ආවේ මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. ඇය එනතුරුම මම හිටියේ අවධියෙන්. මගේ හිතට දැනෙමින් තිබූ අසීමිත පාළුව විසින් නින්ද මට මඟහරවමින් තිබුණා.දුල්යානා... ඇය කිහිපවරක්ම කතා කළත් මම නිශ්ශබ්දව හිටියා මිසක් වචනයක්වත් කතා කළේ නැහැ.

දුල්යානා... ඇයි උඹ මගේ ගෙදර ඉඳන් මම කතා කරද්දී ඇහෙන්නෙ නෑ වගේ ඉන්නෙ.
මේ මහා රූ ඔයාට මාත් එක්ක කතා කරන්න දෙයක් නෑ ජානා... කතා කරන්න දෙයක් තියෙනවනම් අපි හෙට උදේට කතා කරමු.
නෑ එන්න... දැන්ම එන්න... මම ඔයාට කිසිම දෙයක් කතා කරන්න නෙවෙයි එන්න කියන්නේ... අපි රෑ එළි වෙනකම් වොඩ්කා බොමු.
මට බෑ ජානා... හිතේ සතුටක් නැතුව මොන වොඩ්කාද?
දුක් කරදර පැත්තක තියලා ජීවිතේ විඳින්න වරෙන්... අන්තිමට ඉතුරු වෙන්නෙ ජීවිතේ සතුට විතරයි.
මම නැගිට්ටේ හිතේ මහා බර ගතියකින්.

එන්න අපි වොඩ්කා බොමු... හැමදේම අමතක කරන්න.
මම සඳළුතලයට ඇවිත් දිගු පුටුවේ දිග ඇදුණේ හිතේ මහා විඩාබර ගතියකින්.
ඇය වොඩ්කා බෝතලයක් සහ චීස් පිරවූ බඳුනක් මා ඉදිරිපිට තබමින් සඳළුතලයේ බිම ඉඳගත්තා.
ජානා ඔයා හොඳටම බීලා නේද ඉන්නේ....
හ්ම්....

පිස්සුවටද ආයෙත් එහෙනම් මේ බෝතලයක් උස්සගෙන ආවේ.
මුහුදෙ නාලා අපි හුඟක් බීවා... හැබැයි ඒ බීවේ වයින්.
ඔය බෝතලේ කඩන්න එපා... මට ටිකක් තනියෙන් ඉන්න ඕන ජානා... මට එහෙම ඉන්න දෙන්න.
ඇයි අපි තනි වෙන්නේ... අපිට පුළුවන්ද තනි වෙන්න... ඇයි දුල්යානා මෙච්චර මිනිස්සු ඉන්න ලෝකයේ අපි තනි වෙන්න හදන්නේ... අපිට ඇත්තටම පුළුවන්ද එහෙම තනි වෙන්න... කාත් කවුරුත් නැතුව ජීවත් වෙන්න... කතා කරන්න, හිනා වෙන්න කෙනෙක් නැතුව අසරණයෙක් වගේ ජීවත් වෙන්න මට නම් බෑ... ඒකයි මම හැමතිස්සෙම තව කෙනෙක් හොයාගෙන යන්නේ.... 
ඒ ඔයා හිතන විදිහ... මට එහෙම ජීවිතයක් ඕන නෑ... මම මගේ ජීවිතේ ආසම කාලය පල්ලියේ ගෙවපු කාලය... මම ආදරේටත් වඩා තනිකමට ආසයි ජානා.
ඒ උඹ හැමතිස්සෙම යක්කුයි භුතයෝයි එක්ක ජීවත් වෙන හින්දා...

එහෙම කියන ගමන් ඇය වොඩ්කා වීදුරුවට වත්කරමින් දොඩම් යුෂ සමඟ කළවම් කළා.
උඹට මුරුක්කුත් ඕන නේද? එසේ අසමින් ඇය මුරුක්කු බඳුනක්ද ගෙනවිත් මගේ ඉදිරියේ තිබ්බා...
අද එළි වෙනකම්ම අපි වොඩ්කා බොමු.
මම චීස් කෑල්ලක් කටේ දමාගෙන වොඩ්කා වීදුරුව අතට ගත්තේ හැඟීමකින් තොරව. ඇය මා දෙස බලාගෙන හිටියේ අමුතුම බැල්මකින්.
මට උඹව කවදාවත් තේරුම් ගන්න බැරිවෙයි දුල්යානා.

මාව කවුරුත් තේරුම් නොගන්න තරමට මම කැමතියි ජානා... එතකොට මට මගේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්....
සඳඑළිය සඳළුතලයේ දල්වා තිබූ විශාල උස ඉටිපන්දම් එළිය මැද්දෙන්ම සඳළුතලයේ කොණක ඉහිරී තිබුණා. ඒත් ඒ අහසේ ලස්සන දිහා ඇස් දෙක ඇරලා බලන්න මම බයවුණා. සඳඑළිය දකින හැම මොහොතකම මගේ මතකයට ආවේ පල්ලියේ උද්‍යානය. පල්ලියේ කොළපාට බංකුවේ ඉඳගෙන මම අනන්ත රාත්‍රීන්හීදී ඒ සඳඑළියේ චමත්කාරය විඳ තිබුණා. මගේ මුවින් සුසුමක් පිට වුණේ මටත් නොදැනීමයි.
ආයෙත් හූල්ලනවා ඉතින්... දෙයියනේ මොන පිස්සුවක්ද මොන මෝඩකමක්ද මේ....?
ජානා එසේ කියාගෙන ඇවිත් මා හිඳ සිටි පුටුවේ පුටු ඇන්දට හේත්තු වුණා.
මේක අපි දෙකෙන් එකක් කතා කරලා ඉවරයක් කරගමු දුල්යානා.
මොකක්ද?

උඹ අර භූත පල්ලියටම හිරවෙනවද? නැත්නම් කාත් එක්ක හරි නිදහසේ ජීවත් වෙනවද කියන එක.
මම අන්තිමේදී ආසා එකම ජීවිතේ පල්ලියේ ගෙවපු ජීවිතේ කියලා මට හිතෙනවා... ඒත් ඒ ජීවිතේ ඇතුළෙ මටම විසඳගන්න බැරිවෙච්ච ප්‍රහේළිකා හුඟාක් තියෙනවා.... මට අදටත් හිතාගන්න බෑ අංජලීට මොකද වුණේ කියලා සිස්ටර් සේරාත් මට බොරු කියනවා. මට තේරෙන්නේ නෑ ජානා මම කාවද ඇත්තටම විශ්වාස කරන්න ඕනෑ කියලා.
මම මගේ ජීවිතේ විශ්වාස කරන්නේ මාවම විතරයි. ඔයත් ඔයාවම විතරක් විශ්වාස කරන්න...
ජානා... මැරිච්ච මිනිස්සුත් බොරු කියනවද?
ඇය මගේ උරහිසට අත තිබ්බේ රිදෙන්නම මගේ උරහිස කොනිත්තා ගනිමින්....

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00