2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

බස්එක අැතුළේ ජීවිතය සුන්දරද මෙතරම්!

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ඩේවිඩ් හා මැඩිසන් යුවල විවාහ වනවිට ඩේවිඩ්ගේ වයස අවුරුදු 21කි. මැඩිසන්ට අවුරුදු 23කි. විවාහයෙන් අවුරුදු දෙකකට පසු ඔවුන්ගේ පළමු දරුවා උපන්නේය. තවත් අවුරුද්දකට පසු දෙවැනි දරුවා ලෙස දියණියකද උපන්නාය. 
ඩේවිඩ්ගේත් මැඩිසන්ගේත් ජීවිත වෙනත් ඕනෑම යුවලකගේ ජීවිත මෙන් සාමාන්‍ය ලෙස ගෙවී යන්නට පටන් ගත්තේය. නමුත් තමන් ජීවත් වන ආකාරය ගැන ඔවුන් දෙදෙනා තුළම සතුටක් නොවීය. අවසානයේ ඩේවිඩ් තමා ජීවිතය තුළ ලබාගන්නට බලාපොරොත්තු වන දෑ ලැයිස්තුවක් හැදුවේ ය. 

එහි උඩින්ම තිබුණේ අමෙරිකාවේ සියලුම වනෝද්‍යාන නැරඹීමට යාම ය. දෙවැන්න වූයේ බස් රථයක ජීවත් වීම ය. 
ඩේවිඩ්ගේ ආසාවන්ට මැඩිසන් ද කැමති වූවාය. ඔහේ ගෙවී ගිය ජීවිතයට මේ සමඟ අලුත් බලාපොරොත්තුවක් උදාවිය. දෙදෙනාම ඉතා ඕනෑකමින් වාහනයක් තුළ තම ජීවිතය ගෙවාදමමින් සිටින අය ගැන සොයා බැලූහ. ඔවුන් ජීවත් වන්නේ කෙසේද? එතැනදී ඔවුන්ට මතුවන ප්‍රශ්න මොනවාද ආදිය ගැන ඔවුහු හොඳින් හැදෑරූහ. 
ඔවුන් වැඩේ පටන් ගත්තේ නිව්යෝක් නගරයේ තම නිවස විකුණා දැමීමෙනි. අනතුරුව ebay හරහා නිවසක් බවට පෙරළිය හැකි අන්දමේ බස් රථයක් මිලට ගත්තේ ඩොලර් 9000කට ය. ඩේවිඩ් එයට බස්ටර්  යැයි නම් තැබීය. 
විදුලිය වෙනුවෙන් බස් රථයේ වහලයේ සූර්ය පැනල සවිකෙරිණ. බස් රථයේ ආසන ගලවා දමා විසිත්ත කාමරයක්, නිදන කාමර, නාන කාමර, මුළුතැන්ගෙයක් ඇතුළු නිවසක තිබිය යුතු සියලු අංග ඊට එක්කෙරිණ. අවසානයේදී අඩු මිලකට ගත් බස් රථය අංග සම්පූර්ණ නිවසක් ලෙස නිමවිය. 

ඩේවිඩ්ගේත් මැඩිසන්ගේත් අලුත් ජීවිතය ආරම්භ විය. ඔවුන් මුලින්ම ගමන් ගත්තේ දකුණු කැලිෆෝනියා ප්‍රදේශයට ය. රෙඩ්වුඩ් වනයේ ඒ මේ අත සැරි සැරූ ඔවුහු ක්රේටර් විල අසබඩ නවාතැන් ලා ගනිමින් කදිම දින කිහිපයක් ගත කළහ. 
ඉන්පසු ඔවුහු ඇලස්කාවට ගියහ. එහිදී අපූරු අත්දැකීමකට මුහුණ දුන්නේ වලසුන් නිසා ය. රාත්‍රී කාලයේ ආහාර සුවඳට වලසුන් ඔවුන්ගේ බසය වෙත ඇදී එන්නට වූහ.  මිනිත්තු තිහක් පමණ කාලයක් ඔවුහු බසය වටා කැරකෙමින් හුන්නේ ආහාර සුවඳ එන්නේ තමන්ගේ වාසභූමියට පැමිණි මේ අද්භූත රථයෙන් බව හොඳින් දැනගෙන හුන් නිසාය. නමුත් අවසානයේදී ඩේවිඩ්, මැඩිසන් මෙන්ම පුංචි පුතු ග්‍රැහැම් ද හිස් භාජන එකට වද්දමින් කළ බියවැද්දීම් හමුවේ වලසුන් ඔවුන් අතැර දමා යන්නට ගියහ.


“අපේ අලුත් ජීවිතය නිසා දරුවන් දෙදෙනාත් ජීවිතය හොඳින් විඳින බව පේන්න තියෙනවා. අපි කන්දක් නැග්ගට පස්සේ හෝ වනයේ ඇවිද්දට පස්සෙ ග්‍රැහැම් තමන් දැකපු දේවල් විස්තර කරන්න ගන්නවා. ඒ වෙලේට එයා කතාකරන විදිහ අහගෙන ඉන්න ආස හිතෙනවා” මැඩිසන් කියන්නීය. 

ඩේවිඩ් සහ මැඩිසන් යුවලගේ බලාපොරොත්තුව වන්නේ ලබන අවුරුද්ද වනවිට තම සවාරිය අවසන් කොට නැවතත් නිව්යෝර්ක් වෙත සේන්දු වීමය. එහෙත් ඔවුහු නැවත නිව්යෝර්ක් වෙත යන්නේ ජීවිත කාලයටම වටිනා අත්දැකීමක් තමන්ට මෙන්ම දරු දෙදෙනාට ද දායාද කරදෙමිනි. 

( Today.com ඇසුරෙන් )

► Text - Rajitha