2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

අපි දෙන්නගේ Love එක Close හැබැයි Friend Ship එක ඉවර නෑ....

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 318

ගයාන්... ඔයාගේ තාත්තා ප්‍රවීණ ජනප්‍රිය ගායකයෙක්නෙ... සංගීතයට ඔයාගේ ආසාව ඇතිවුණේ පොඩි කාලේ ඉඳලමද..?
ඔව්... මම ඉගෙන ගත්තේ රෝයල් ඉන්සිටිටුයිට් ජාත්‍යන්තර පාසලේ. ඊළඟට මම අමෙරිකාවට යන්න තීරණය කළා. ඔහොම අමෙරිකා කැම්පස් එකට යන්න තේරිලා ඉඳිද්දි තාත්තා මාව මියුසික්වලට යොමු කළා. ඊටපස්සේ මම ඕඩියෝ ඉංජිනියරින් ඩිප්ලෝමාවත් ලංකාවේදි කළා. ඒ වෙද්දි මම පියානෝ ඉගෙනගෙනත් තිබුණා. තාත්තා වගේ මාත් හින්දි සින්දු කියන්න පටන් ගත්තා. එහෙම තමයි මියුසික්වලට අවස්ථාව ලැබුණේ.

ගයාන්ගේ අලුත්ම ගීතය..?
ඔව්... මම C1 නාලිකාවේ වැඩ කරනවා. ඒකෙ පලාමල්ල වගේ වැඩසටහන් කීපයක් මම නිවේදනය කරනවා. ඉතින් මගේ අලුත් ගීතය තමයි ආයෙමත් එනවදෝ. ඒකෙ පදමාලාව ඩිලාන් දේවින්දගෙන්. මියුසික් කරන්නේ අශාන් ප්‍රනාන්දු. ඒකට වීඩියෝ එකක් කළා.

මේ වෙනකොට ගයාන් චතුරිකාගේ පෙම්වතා කියලා ආරංචියි...?
ආ... ඔය කියන්නේ මම රඟපාන ටෙලිනාට්‍ය ගැනනේ. ඒ හිතුවක්කාරයා කියන ටෙලිනාට්‍ය. ඒකෙ ප්‍රධාන චරිත රඟපාන්නේ මායි චතුරිකා පීරිසුයි. ඒක වැඩිමහල් ප්‍රේමයක් ගැන කියවෙන අපූරු කතාවක්. ඒකෙ බුද්ධදාස විතානච්චි, ශ්‍රියානි අමරසේන, සූරිය දයාරුවන් වගේ බොහොම හොඳ පිරිසක් රඟපානවා.

අද බොහෝ දෙනා විෂුවල් හදන්නේ ජනප්‍රිය වෙන්නයි, මුදල් උපයන්නයි. ගයාන් මොකද ඒ ගැන හිතන්නෙ..?
මගේ ආයෙමත් එනවදෝ ගීතය එහෙම මුදල් උපයන්නම බලාගෙන කරපු නිර්මාණයක් නෙවෙයි. ඒක කලා නිර්මාණයක්. ඒකෙ කිසිම ලිංගික දර්ශනයක් පෙන්නන්නේ නෑ. මම මියුසික්වලට හරි ආදරෙයි. ඒ වගේම නුවන් ගුණවර්ධනගේ පුතා විදිහට මට වගකීමක් තියෙනවා හොඳ නිර්මාණයක් කරන්න. ඉතින් ඒ වගේ හරිම පරිස්සමට, හරිම ආදරෙන් කරපු නිර්මාණයක් තමයි ආයෙමත් එනවදෝ කියන නිර්මාණය.

අමෙරිකාවට යන්න හිටිය මම සංගීතයට අැදලා ගත්තේ තාත්තා

මේ වෙනකොට කලා ක්ෂේත්‍රයේ ඔබේ සම වයසේ යහළුවෝ ටික හරිම එකමුතුවෙන් ඒකරාශීවෙලා ඉන්නවා..?
ඔව්... ඒ යහළුකම ඇතිවෙන්නෙත් මුලින්ම අපේ ගෙදරදීම තමයි. දැනට අවුරුදු හතරකට විතර කලින් මගේ උපන් දින පාටිය ගෙදර කරද්දි මම මේ හැමෝටම එන්න කීවා. ඊට කලින් අපි වෙන වෙනම තැන් තැන්වලදී මුණගැහිලා තිබුණා. සජිතයි (ජැක්සන් ඇන්තනීගේ පුතා) මායි ඊට කලින් ඉඳන්ම දන්නවා. ඒ වගේම පසිඳුයි (ප්‍රියංකර පෙරේරාගේ පුතා) හර්ෂණයි අපි දෙන්නත් මුල ඉඳන්ම දන්නවා. ඉතින් අපි හතරදෙනා මගේ ස්ටුඩියෝ එකේදි නිතර මුණගැහුණා. ඊටපස්සෙ තමයි මට නදීමාල්, සනුක, හර්ෂණ, පසිඳු, සජිත, කසුන්... අපි හැමෝම මගේ උපන් දිනේදි එකතු වුණා. ඉතින් එදා ඉඳන් අද වෙනකන් අපි හොඳ සහෝදරයෝ වගේ. ඒ එකතුවට කාවින්ද්‍යා, වින්සිත් එකතු වුණා. ඉතින් අද අපි හොඳ නිර්මාණත් එක්ක නිතර නිතර මුණගැහෙනවා. ඉතින් කලාකරුවන්ගේ කලාකාරියන්ගේ දරුවන් හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා හොඳ නිර්මාණයක් දායක කරන්න.

ගයාන් එක්ක කතා කරද්දි ප්‍රේමය ගැන කතා නොකළොත් ලොකු අඩුවක් නේද..?
එහෙමද... ඔව්... මම ආදරේ කරලා තියෙනවා. කීපවතාවකදිම ආදරේ විරහව විඳලා තියෙනවා. ආදරේ සොඳුරු තැන් හැමදෙයක්ම විඳලා තියෙනවා. ඉතින් ආදරය හරිම සොඳුරැයි.

මේ වෙනකොට ගයාන් පෙම්වතෙක්... හරිද..?
නෑ... මේ වෙනකොට පෙම්වතෙක් නෙමේ. ඉතා වගකීමකින් මම ඒ දේ කියන්නේ. මේ වෙනකොට මම පෙම්වතෙක් නෙමේ.

එතකොට කලාවේ ඉන්න ආදරණීය යුවලකගේ දියණියක් එක්ක තිබුණු ආදරණීය ප්‍රේම කතාවට මොකද වුණේ...?
ඒ ප්‍රේම කතාව අවුරුදු ගාණක් තිබුණු ආදර ආදර කතාවක්. ඒත්... ඒ ආදර කතාවත් නතර කරන්න අපි දෙන්නටම සිදුවුණා. ඒ තීරණය අපි දෙන්නම ගත්තේ කතාබහ කරලයි. අදටත් මායි එයයි හොඳම හොඳ යාළුවෝ.

ගයාන්ට කියලා අද වෙද්දි ශබ්දාගාරයක් තියෙනවා නේද...?
ඔව්... මම ගෙදර පොඩියට ස්ටුඩියෝ එකක් කරගෙන යනවා. ඒකෙ නම Nuga ස්ටුඩියෝ. Nuga කියන නම හැදුණේ නුවන්, ගයාන් කියන නම්වල කොටස් එකතු කරලයි. ඒකෙ වැඩ කරගෙන යනවා. වෙළෙඳ දැන්වීම් වගේම නිර්මාණකරුවන්ගේ ගීත කීපයක්ම මම කරගෙන යනවා. තාත්තගේ අලුත් ගීතයත් කරන්නේ මම.

ගයාන්ට ප්‍රසංග වේදිකාවලට එහෙම ආරාධනා ලැබෙන්නේ නැද්ද...?
මගේ ලොකුම ආසාව හොඳ ගායකයෙකු වීමයි. ඒ මගේ තාත්තා වගේ ගායකයෙක් වෙන්නයි. මේ වෙනකොට මම ප්‍රසංග වේදිකාවෙත් ගීත ගායනා කරනවා. ඒ වගේම විවිධ උත්සව සඳහාත් ගීත ගායනා කරන්න ආරාධනා ලැබෙනවා. ඒකට මම, නදීමාල්, කාවින්ද්‍යා වගේ කීපදෙනෙක්ට ආරාධනා ලැබෙනවා. ප්‍රසංග වේදිකාවේදි බොහෝ දෙනෙක් ඔය තාත්තගේ ගීත ඉල්ලනවා. ඉතින් තාත්තත් හරි සතුටු වෙනවා මම තාත්තගේ ගීත ගායනා කිරීම ගැන.

► Text – Jayamali  / Pic - Sumudu