දුව නැතිව මං... මං ගිය ඉරිදා කියෙවුව පොත තමා ඒ. දෙවියන්ගේ අඩවිය, මාතුබී මමයි, දුව නැතිව මං, බෙටීගේ, මාතුබීගේ සහ මූදීගේ ආත්ම ප්‍රකාශන. ඔයා සමහරවිට කියවලා ඇති. අමෙරිකානු ගැහැනියක වූ බෙටීට අමෙරිකාවේදී මුණගැසුණු මූදී කියන ඉරාන ජාතික වෛද්‍යවරයා අතර ඇතිවුණු ආදරය... ඔවුන් අමෙරිකාවේ ගතකළ ජීවිතය... ඔවුන්ගේ දියණිය මාතුබී... ඔවුන් ඉරානයට ගිය පසු ඔවුන්ගේ ජීවිතය... ඔවුන් අත්විඳින වේදනාකාරී අත්දැකීම්... දෙවියන්ගේ අඩවියෙන් බෙටී කියන්නේ බෙටීගේ කතාව... මාතුබී මමයි - මාතුබී කියන්නේ ඇගේ කතාව... දුව නැතිව මං ඒ මූදී කියන මූදීගේ කතාව.. ඒක ඒ තුන්දෙනාගේ සත්‍ය ජීවිත කතාව... ඒත් බෙටී නිවැරදිද? මාතුබී නිවැරදිද? මූදී නිවැරදිද? කියන්න අපි කාටවත් බෑ. ඒක දන්නෙ ඔවුන්ගේම හෘද සාක්ෂිය විතරයි. ආත්මීය සංසිද්ධීන්වලදී අපි කොහොමද තව කෙනෙක් හරිද වැරදිද කියන්නේ... මොකක්ද අපිට එහෙම කියන්න තියෙන අයිතිය... කාටවත් කා ගැනවත් විනිශ්චයක් දෙන්න තියෙන අයිතිය මොකක්ද? අපි කොහොමද එච්චර ගැඹුරින් තව කෙනෙක් කියවන්නෙ. තමන්ට තමන්වත් කියවන්න බැරි කොට. ඔයා කොහොම හිතනවද මම දන්නෙ නෑ.. ඒත් මං හිතන්නෙ එහෙම.
මාතුබී කියන්නෙ අරාබි බසින් සඳ එළියට. මාතුබීට මාතුබී කියන නම දෙන්නෙ ඇගේ තාත්තා. ඒත් තාත්තාගේ ජීවිතයට සඳ එළියක් වෙන්න මාතුබීට පුළුවන් වෙන්නෙ නැහැ. ඒ ඔවුන් වෙන්වෙන නිසා. සමුනොගෙනම ඇය තාත්තාගේ ජීවිතයෙන් අනන්ත ඈතකට පලා යන නිසා. එහෙත් මාතුබී මාතුබීගේ ජීවිතයටම සඳ එළියක් වෙනවා. ඇය ජීවිතය දිනාගත් දිරිය දියණියක්. ඇය ජීවිතය සොයාගෙන යන යුවතියක් මිස ජීවිතය අත්හරින යුවතියක් නෙවෙයි. දුවකගෙ ආදරය ඔයත් විඳලා ඇති. දුවකගේ ආදරය ඔයාටත් දැනිලා ඇති. ඔයාගේ ලෝකයේත් සඳ එළියක් වගේ දුවක් ඇති. සමහරවිට මගේමයි කියලා හිතෙන ඒත් මගේම නොවන දුවක් අැති. මගේ ලෝකයේත් ඒ වගේ සඳ එළියක් තියෙනවා. සොබාදහමේ හැම චමත්කාරයක්ම ඇගේ ළා නිල්වන් නෙත් ගැඹුරේ හැංගිලා තියෙනවා කියලා මට හිතෙනවා. මගේ චමත්කාරය ඇයයි. ඔයාගේ ලෝකයේ ඔයාට දුවක් ඉන්නවානම් ඔයාටත් එහෙම හිතෙනවා ඇති. ඇගේ රෝසමල් සුවඳ ඔයාගේ ආත්මීය සුවඳ වග ඔයාට දැනෙනවා ඇති. දෛවය ඉරණම කොහොම ලියවිලා තිබුණත් බෙටීටත් මූදීටත් මාතුබීව දැනෙන්න ඇත්තෙත් ඒ විදිහටමනේ කියලා මට හිතෙනවා.
වෙන්වීම්, සමුගැනීම් ඔයාගෙ ජීවිතෙත් ඇති. ඒත් වෙන්වීමකටත් සමුගැනීමකටත් වඩා නොකියාම යන්න යන එක කොච්චර වේදනාවක්ද? ඔයා ඒ වේදනාව විඳලා තියෙනවද? ඔයාට ඒ වේදනාව දැනිලා තියෙනවද? නිර්වාණය කියන්නෙ ඇත්තක්ද? ස්වර්ගය කියන්නෙ ඇත්තක්ද? නිර්වාණය සහ ස්වර්ගය ඇත්ත වෙන්න ඇති. ඒත් නොවිඳි සුව ගැන අපි කොහොමද හරියටම දන්නෙ. ඒක පරම සැපතක් නම්. ඔව් ඒත් ඒක හුදෙකලාවක්නම් අපි කොහොමද නිර්වාණය තුළ හෝ ස්වර්ගය තුළ වුණත් තනි වෙන්නෙ. අපි ජීවිතය හොයන්නේ ආදරය එක්ක. අපි මේ ලෝකෙට එන්නෙත් ආදරය ඉල්ලගෙන. ඉපදුන ගමන් වුණත් පුංචි ඇඟිලි ටික එකතු කරලා අපි දෙන ඇඟිල්ලක් හයියෙන් පුංචි උන් අල්ලගන්නේ ඒකයි.
වෙන්වුණේ ඇයි කියන හේතුව නොකියා ඈතකට ගිය කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවනම් ජීවිතේ ඒ වෙනුවෙන් ඔයා සංවේදී වෙන තත්ත්පර ඔයාට ඕන තරම් මුණගැසෙයි. දෙවියන් වහන්සේ සමහර මිනිස්සුන්ට ආදරය වෙනුවට තනිකම උරුම කළේ ඇයි කියලා මම දන්නෙ නෑ. දෙවියන් ඉන්නේ කොහෙද කියලා මම දන්නෙත් නෑ. තියන දාහක් ප්‍රශ්නවලට උත්තර ඉල්ලන්න දෙවියන් කවදාවත් ඇස් මානයට එන්නෙත් නෑ. මාත් එක්ක ඉන්නෙ මං විතරමයි. ඔයාම මට හැමදෙනාටම පොදුවෙච්ච අන්තිම ඇත්ත ඒකම නෙවෙයිද?
I Sanju