සනත් ගුණතිලකයන්ගේ දෙවන ගමන Film එකට දායක වෙන්නත් අනුරාධාට පසුගිය දිනවල අවස්ථාව ලැබුණා නේද?
ඔව්... සනත් ගුණතිලක විසින් අධ්‍යක්ෂණය කරන ලද මංගල තෑග්ග Film එකේ දෙවන කොටස වුණු දෙවන ගමන සිනමා නිර්මාණයක් වුණාට සිනමාහල්වලින් බලන්න පුළුවන් එකක් නෙවේ. ඒක App එකක් හරහා Phone වලින් බලන්න පුළුවන් නිර්මාණයක්.
දෙවන ගමන Film එකේ සනත් අධ්‍යක්ෂණය කරද්දී කොහොමද ලබපු අත්දැකීම්?
සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කරපු ඒ සිනමා නිර්මාණයේදී මට දැවැන්ත නිර්මාණවේදින් පිරිසක් එක්කයි වැඩකරන්න සිද්ධ වුණේ. මම වගේ නවකයෙක්ට ඒ වගේ අය එක්ක රඟපෑමට ලැබීමත් ලොකු භාග්‍යයක් වගේම ලොකු අත්දැකීමක් වුණා. කොයි වෙලාවෙවත් ඒ කිසිම කෙනෙක් අපිව අඩු තක්සේරුවට දැම්මේ නෑ. අපිට පුදුම සහයෝගයක් ලබලා දුන්නේ. ගොඩක් අපිට උදවු කළා. සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කරද්දී වුණත් හැමවෙලේම හැම රූප රාමුවක්ම ළඟට ඇවිත් කියලා දීපු අධ්‍යක්ෂකවරයෙක්. මොනව හරි දෙයක් කියද්දී වුණත් කිසිම දේකදී සැර කළේ නෑ. හැබැයි සනත් ගුණතිලකයන්ට වෙලාවට හරියට වැඩකරන්න ඕනේ. එනවා කිව්වොත් ඒ වෙලාවට ඒම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.
ඔයා වගේ ආධුනික රංගන ශිල්පිනියකට සනත් ගුණතිලකයන්ගේ නිර්මාණයකට ආරාධනා ලැබෙද්දී මොකද හිතුණේ?
මට ඒ අවස්ථාව ලැබුණේ සමීර මධු කිඳෙල්පිටිය කියන අංගරචනා ශිල්පියා හරහායි. ඒ අයියාත් එක්ක මම එක්තරා වැඩක ඉඳිද්දී සනත් අයියා මෙහෙම අලුත් කෙනෙක් හොයනවා කියලා දැනගනිද්දි සමීර අයියා තමයි මාව යොමු කළේ. එතකොට මම අනෝජා වීරසිංහ මිස්ගේ අභින පාඨමාලාව හදාරමින් තමයි හිටියේ. ඉතින් මාව මංගල තෑග්ග නිර්මාණයට ගත්ත එකම හේතුව වෙන්නේත් අනෝජා මිස්ගේ ගෝලයෙක් වීමම තමයි.
අනුරාධා ඉස්කෝලේ යන කාලෙත් ආසාවෙන් හිටියේ මෙහෙම රංගනයට එකතු වෙන්නද?
මම ඉගෙන ගත්තේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ. මම මට අවුරුදු දහතුනේදී කලාවට සම්බන්ධ වැඩවගයකට යොමු වුණා. ඒත් ඒ වෙද්දි මගේ තාත්තා පොලිස් නිලධාරියෙක් විදිහට සේවය කළේ. තාත්තා හරි සැරයි. ඒ නිසා තාත්තා මගේ ඉගෙනීමේ කටයුතු මේ කලා කටයුතු නිසා අතපසු වේවි කියලා හිතලා ඒ වැඩ නවත්තන්න කිව්වා. අඩුම තරමේ මට නර්තනයවත් කරන්න තාත්තා ඉඩ දුන්නේ නෑ. තාත්තාගේ ලොකුම ආසාව වුණේ මාව වෛද්‍යවරියක් කරන්නයි. හැබැයි උසස් පෙළ කරද්දී මට ආසාව තිබුණේ නීතිඥවරියක් වෙන්නයි. අද මම නොහිතපු විදිහට කලාවට යොමු වෙලා තියෙනවා.
අනුරාධා රඟපාපු ටෙලි නාට්‍ය කීපයක්ම මේ දවස්වල විකාශය වෙනවා නේද?
ඔව්... මේ දවස්වල රූපවාහිනියේ චුට්ටේ කියන ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඒ වගේම පැහැසරා කියන නිර්මාණය පහන්දිගේ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ඇත්තයි මේ ආදරේ කියන ටෙලි නාට්‍යය සති අන්තයේ විකාශය වෙනවා.
නවකයෙක් විදිහට ලැබෙන හැම චරිතයක්ම අනුරාධා බාරගන්නවාද?
නෑ... එහෙම බාරගන්නේ නෑ. මම තාමත් මේ ෆීල්ඩ් එකට අලුත්. මම කතාකරපු හැම නිර්මාණයක්ම මට ගැලපෙන හොඳ නිර්මාණ වුණා. එහෙම බාරගන්න බැරි චරිතයක් මට තාම ඇවිත් නැහැ. මම නවකයෙක් නිසා මට ලැබෙන හැම චරිතයක්ම අලුත් චරිත වුණා. හැබැයි පසුගිය කාලේදී නිර්මාණ දෙක තුනක් බාරත්තේ නෑ. මගේ තාත්තා හදිසියේ ඇක්සිඩන්ට් එකක් වෙලා නැතිවුණා. ඒ කාලේත් එක්ක අපිට ඒ දේ දරාගන්න බැරි වුණා. මගේ අම්මා තමයි මාත් එකක් ෂූටිං යන්න තනියට ආවේ. ඉතින් තාත්තාගේ මිය යාමත් එක්ක අම්මා මාත් එක්ක ෂූටිං යන එක නතර වුණා. දුර පළාත්වල ෂූටිං තිබ්බොත් මට ඒවාට යන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. ඒ නිසා ඒ වගේ නිර්මාණ දෙක්ක විතර මට අතහරින්න සිද්ධ වුණා.
අද ඔයාගේ හයියට ඉන්නේ අම්මා විතරද?
ඔව්... මගේ පවුලේ ඉන්නේ දැන් මායි, අම්මයි, අයියයි විතරයි. මගේ තාත්තා මට නැතිවුණා. එයා අද මම ඉන්න මේ තැන දැක්කනම් ගොඩක් සතුටු වෙයි. මුලදි තාත්තා බය වුණා කලාවේදී අපි අතරමං වේවි කියලා. ඒත් අද මගේ සතුට බලාගන්න තාත්තා මගේ ළඟ නෑ. ඒ ගැන හිතද්දි ගොඩක් දුකයි. මගේ තාත්තා නැතිවෙලා දැන් අවුරුද්දක් වෙනවා.
අනුරාධා විලාසිතාවලට කොහොම නැඹුරැවක්ද තියෙන්නේ?
මම ගවුම් අඳින්න ගොඩාක් කැමතියි. ඊට අමතරව ඩෙනිමයි ටීෂර්ට් එකයි අඳිනවා. කොහොමත් මම ඇඳුම් තොරද්දි සරල චාම් ඇඳුම් අදින්න තමයි වැඩිපුර කැමති.
අනුරාධා මියුසික් වීඩීයෝ වලටත් ඉඳලා තියෙනවානේ. අද යන රැල්ලත් එක්ක මොකද හිතනේනේ. අද බොහෝ වෙලාවට අඩ නිරුවතින් මියුසික් වීඩීයෝ තමයි වැඩිපුර හැදෙන්නේ?
මම මියුසික් වීඩියෝ ගොඩක් කරලා තියෙනවා. හැබැයි මම මොඩ්ල් කෙනෙක් නෙවේ. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගෙන ඒ ෆීල්ඩ් එකට අදාළව සමහරු මාෙඩ්ලින් කරනවා. හැබැයි මම වෘත්තියෙන් මොඩ්ල් කෙනෙක් නෙවේ. ඒ නිසා මම ඒවා දන්නේ නෑ. මම ඒ දේවල් කරලා නෑ. මම ඒ රැල්ලට යන කෙනෙක් නෙවේ.
මේ වෙනකොට අනුරාධා කියන්නේ පෙම්වතියක්ද?
නෑ... ඉස්කෝලේ යන කාලේදිනම් මම ආදරේ කළේ නෑ. ඒ කාලේ මම හරිම දඟයි. ඉස්කෝලෙන් පස්සේ මම කෙනෙක්ට ආදරේ කරලා තියෙනවා. හැබැයි කාලයක් යද්දි අපේ නොගැලපීම් තේරුම්ගෙන අපි දෙන්නා රණ්ඩු වෙලා තරහ වෙලා වෙන් වෙන්නේ නැතිව කතාබහ කරලා අපි අපෙන් ඈත් වුණා. දැන්නම් බොහෝම නිදහසේ මගේ පවුලේ අයත් එක්ක වැඩිපුර කාලය ගතකරමින් ඉන්නවා.
► Text – Jayamali / Pic - Sumudu