2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා

ප්‍රියයාණෙනී ඔබ සුරකිමි බැතින්

 2016 දෙසැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 08:09 86

පරිසරවේදිනියක් විදිහට රුකියාවක් කරපු මම නගරයේ අපාට්මන්ට් එකකයි නැවතිලා හිටියෙ. නත්තල් දවසේ රූට අපි හැමෝම රූ කෑමට අම්මාගේ ගෙදරට එකතු වෙනවා. හැමෝම එකට කාලා බීලා සන්තෝෂ වෙනවා. මේ කියන දවසත් ඒ වගේ දවසක්. නත්තල උදා වෙන්න පැය කීපයක්ම තිබුණු නිසා පවුලේ අයට තෑගි ටිකක් ගන්න මම එළියට බැස්සා. මුළු නගරයම කඩි ගුලක් වගේ ඇවිස්සිලයි තිබුණේ. හැම කෙනෙක්ම යම් යම් දේ තෝරනවා. 

මමත් එක සුපිරි වෙළෙඳ සංකීර්ණයකට ඇතුළුවෙලා චීස් පුරවපු විශාල මල්ලකුයි, දුමෙන් වේලපු බෙල්ලෝ කිලෝ කිහිපයකුයි, වයින් බෝතල් පහකුයි වයින් වීදුරැයි ගත්තා. ඒවාට අමතරව තව තෑගි කිහිපයක් ගන්න අදහසින් මම විදුලි සෝපානයට ගොඩ වුණේ තෑගි භාණ්ඩ අංශයට යන්න. ඒත් අවාසනාවකට වගේ සෝපානය එක තැනක හිර වුණා. අපිට කොහේටවත් යාගන්න බැරි වුණා. සෝපානය ඇතුළෙ තිබුණු දුරකතනයෙන් අපිත් එක්ක එකට හිරවෙලා හිටපු වයසක පුද්ගලයා අදාළ පාලන අංශයට ඇමතුමක් ගත්තා. අහිංසක ජෝඩුවකුත් නාවික නිල ඇඳුම් ඇඳගත්ත කඩවසම් තරැණයකුටත් අමතරව ඒ අඳුරැ සෝපානය ඇතුළෙ හිටියෙ මම විතරයි. අනික නත්තල් දවසෙ හැන්දෑවේ මෙච්චර හදිස්සියෙන් ඉන්න ගමන් සෝපානයක් ඇතුළෙ හිරවෙන එක මොන අවාසනාවක්ද කියලා මම හිතුවා.

අපි මිනිත්තු තිහක් විතර අරමුණක් නැතුව බලාගෙන හිටියා. ආයෙමත් අපි දුරකතන ඇමතුමක් ගත්තා. හැම කෙනෙක්ම විනාඩියෙන් විනාඩියට වෙලාව බැලුවා. දෙවැනි දුරකතන ඇමතුමෙන් පස්සෙ අපි නොදැනුවත්වම කතාවට වැටුණා. මොකද අලුතින් කෑල්ලක් ගෙනත් සෝපානය අලුත්වැඩියා කරන්න ඕනි කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වෙනකොට මමත් අපිත් එක්ක හිටපු වයසක පිලිප් මහත්තයාත් ඔහුගේ බිරිදත් නාවික හමුදාවේ කඩවසම් තරැණයාත් එකිනෙකා බිම වාඩිවෙලා නත්තල් අත්දැකීම් හා අතීත කතා බෙදාහදා ගත්ත. පැයක් දෙකක් තුනක් ගත වුණා. ඒත් සෝපානයේ එළියට යන්න පුළුවන් පාටක් තිබුණේ නෑ. අපි හැමෝටමත් කතාව මිසක් සෝපානයේ හිරවෙලා ඉන්නවා කියලා ගාණක් තිබුණේ නෑ. අපි පුංචි කාලෙ අමතක නොවන දේවල් ගැන රසවත් අත්දැකීම් ගැන හා ප්‍රීතිමත් නත්තල් මතකයන් ගැන කතා කරමින් එකිනෙකාව හඳුනාගනිමින් හිටියා. ඒ කතාව අතරතුරේ මම මගේ ලොකු චීස් කූඩෙ ඇරලා අලුතින් ගත්ත වීදුරැවලට වයින් දාගෙන අපි චීස් කකා වයින් බිව්වා. ඒක ඇත්තටම රසවත් මොහොතක්.

පැය පහකට පස්සෙ අපේ සෝපානය ක්‍රියාත්මක වුණා. දොරවල් ඇරෙන කොට සුපිරි වෙළඳසැලේ අයිතිකාරයා බොහොම දුකෙන් වරද පිළිගෙන දොර ළඟ හිටියා. ඒත් අපි කාගෙවත් මූණු හෙම්බත්වෙලා තිබුණේ නෑ. අපි හැමෝම හිටියෙ හරිම සතුටින්. සෝපානයේ හිරවීමේ හෙම්බත්කම වෙනුවට අලුත් මිතුරන් හඳුනාගැනීමේ සතුට අපේ මුහුණු දීප්තිමත් කළා. සාප්පු සංකීර්ණයේ අයිතිකරැ අපිට චීස් පිරවූ බාස්කට් තෑගි වශයෙන් ලබාදුන්නා. අපි අපිට සමුදෙන ගමන් අපේ ලිපිනයන් හුවමාරු කරගත්තා.

එදා මම අම්මලගේ ගෙදර යනකොට තරමක් පමාවෙලා තිබුණා. අපි වෙනදා වගේ ම සන්තෝෂයෙන් කාලා බීලා තෑගි හුවමාරැ කරගත්තා. ඇස් දෙක වහගත්ත හැම වෙලේම මට කඩවසම් නාවිකයාව මැවිලා පේන්න පටන් ගත්තා. පහුවදා මම මගේ ගෙදරට යනකොට මුළු දොරකඩම තෑගි වලින් පිරිලා  තිබුණා. ඒ අතර තනි රතු රෝස මලකුත් දිග ලියුම් කවරෙකුත් තිබුණා. ලියුම් කවරෙ ඇතුළෙ තිබුණේ ජෝන්ගෙ දුරකතන අංකය. ජෝන් කියන්නේ මට සෝපානයේදි මුණගැහුණ නාවික තරුණයා. මගේ හිත නුහුරු හැඟුම්වලින් පිරුණා. එදා ඉඳලා අපි ආදරේ කරන්න පටන් ගත්තා.
ඊළඟ නත්තලේදී අපි හවායි දූපතේ වෙරළ තීරයේදී විවාහ වුණා. ඒක හරිම චාම් ලස්සන විවාහ උත්සවයක්. මම හැමදාමත් ආදරේ කරපු නත්තල්දා හවස් වරැවක විවාහ වෙන්න ලැබුණු එක ගැන මම හුඟක් සංතෝෂ වුණා. අපි හැම නත්තල් දවසකම චීස් කාලා වයින් බීලා අපේ ලස්සන දවස සමරනවා.

♦ තනූ