2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

දැහැන

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

BOOK FAIR එක පටන් ගත්තා. පොත් කියවන මිනිස්සු වගේම පොත් නොකියවන මිනිස්සුත් BOOK FAIR යනවා. යන්න ඕන නිසා පොත් බලන්න, පොත් අතගාන්න, BOOK FAIR එක හොඳද - නරකද බලන්න වගේම ලොරියෙන් නූඩ්ල්ස් කප් එකක් කාලා පොඩි ෂෝ එකක් දාලා එන්නත් සමහරු BOOK FAIR යනවා. ඒ අතරේ ඇත්තටම පොත්වලට ආදරේ කරන අයත් ඉන්නවා. සාමා අමර ගැන හෝඩියේ පන්තියේදී දැනගත්ත දවසේ ඉඳන් මාත් ආසයි පොත්වලට. මගේ අත්දෙක මත රැඳුණු හැම පොතක්ම මට හිතෙන්නේ මට කියලා දුන්නේ ජීවිතේ ගැන. පොතක් එක්ක ජීවිතේ කියවද්දී කාත් කවුරුත් ජීවිතේ ළඟ පාතක නෑ කියලා මට දැනුණේ නෑ. මට හිතුණේ නෑ. මම පොත්වලට ආදරෙයි. අම්මා, තාත්තා ජීවිතේක ළඟ ඉන්න ඕන හැමදෙනාම වෙනුවට එයා ළඟ හිටියා. හැමදාමත් ළඟ හිටියා. එයා කීවේ පොත්.

ලෝකෙ වටේ දෙපයින් ඇවිදින්න ඉස්සර මම ලෝකෙ වටේ හිතින් ඇවිද්දේ පොත් එක්ක. ඒ ඇවිදිල්ල හරි සුන්දරයි. මට මුණගැසුණේ ජීවිතය. මම දැක්කේ ජීවිතය. මම කියෙව්වේ ජීවිතය. මම වින්දේ ජීවිතය. මට ඉගැන්නුවේ ජීවිතය. මට කියලා දුන්නේ ජීවිතය. මම අහුලා ගත්තේ ජීවිතය. ජීවිතයට ආදරය කරන්න ඉගැන්නුවට කෙනෙකුට මම ස්තූති කරනවනම් මම ස්තූති කරන්නේ පොත්වලට.

අපි කියවන්න ආසා එක එක විදිහේ පොත් තියෙනවා. මම ආසම පරිවර්තන. කොන්වන්ට් එකේ ඉගෙනගන්න කාලෙ මම කියවපු පොත් පිටු අතරේ මට මුණගැහුණු චරිත මට තවමත් මතකයි. අපේ හිත් අස්සෙ ජීවත්වෙන සදාතනික චරිත අපි කාගෙ කාගෙත් ජීවිත අස්සෙ ඉන්නවා. සමහර අයට අපි අපිට දෙන ආදරේ වෙනුවෙන් ආදරේ කරනවා. සමහර අයට අපි ආදරේ ආපසු නොඉල්ලා ආදරේ කරනවා. කිසිවක්ම නොඉල්ලා ආදරේ කරනවා. බොහෝ දේ ඉල්ලමින් ආදරේ කරනවා.

ආදරේට නොව ලැබෙන භෞතික දේවල් වෙනුවෙන් ආදරේ කරනවා. ජීවිතේට වගේම ආදරයටත් එක පැහැදිලි නිර්වචනයක් නෑ. මට හදවතින්ම ආදරේ කරන්න පුළුවන් මිනිස්සු මට හමුවුෙණ් පොත් පිටු අස්සෙදී.  වේදනාවක් නොවිඳ ඔයාට ආදරය කරන්න ඕන නම්, ආදරය විඳින්න ඕන නම් ඔයා මනුස්සයෙකුට නෙවෙයි පොතකට ආදරය කරන්න. පණ අැති දෙයකට  නෙවෙයි පණ නැති දෙයකට ආදරය කරන්න. හිතේ තනියට පොතක් ළඟ තියාගන්න. මිනිස්සුන්ගේ ආත්මීය සුවඳට වඩා පොතක පිටු අස්සෙන් නැගෙන සුවඳ ඇත්තටම සුවඳයි. ඒ සුවඳ හිත ස්පර්ශ කරනවා විතරයි. හිත රිද්දන්නෙ නෑ. ජීවිතයේ සහ ආත්මයේ බිත්ති මත සුව නොවන තුවාලවලට තට්ටු කරලා රිදෙනවාද අහන්නෙත් නෑ. මෙච්චර කාලයක් ආදරය නොකළා නම් ඔයත් අද ඉඳන් පොත්වලට ආදරය කරලා බලන්න. ජීවිතේ හොඳම මිතුරා මුණගැසුණේ දැන් කියලා ඔයාට හිතෙයි. අපිට ආදරේ කරන්න පුළුවන් මිනිස්සු අපිට හැබෑ ලෝකෙදී මුණගැහෙන්නේ කලාතුරකින්. පරමාදර්ශී චරිත, ආදරණීය මිනිස්සු, මනුෂ්‍යත්වය කියාදෙන මිනිස්සු අපිට මුණගැහෙන්නේ කලාතුරකින්. හුඟක් කලාතුරකින්. ජීවිතය හා ලෝකය ගැඹුරින් හදවතට දැනෙන්න ගත්ත දවසක ඔයාටත් එහෙම හිතෙයි. ඔව් සමහරවිට එහෙම හිතෙයි.

I Sanju