2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

ඔයා දැන්ද ජීවිතයක් හොයන්නේ

 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ඔයා ඔය ඇත්තමද කතා කරන්නේ?
ඔව්... 
තව ටිකක් හිතන්න ඔයා ගත්ත තීරණය හරියටම හරිද කියලා... 
වැරදෙන්න හරි මම ගත්ත තීරණේ මම ඉන්නවා...

දුල්යානා කොහොමද කවුරු වුණත් කාත් කවුරුත් නැතුව ජීවත් වෙන්නේ?
ඇයි මෙච්චර කල් මම ජීවත් වුණේ එහෙම නෙවෙයිද?
ඇයි මම හිටියේ?
ජීවිතේ හුස්මක් වැටෙන දුරකින් ඉන්න කෙනෙක් විතරයි මට ඕන... එහෙම කෙනෙක් කවදාවත් මගේ ජීවිතේ හිටියේ නෑ... 
ඒත් ඔයාව අහන් ඉන්න කෙනෙක් දුරකින් හරි ඔයාට හිටියා... 

ඒකෙන් ඇති පලේ මොකක්ද ආදේශ්... මට දැනුණේ තනිකම විතරක් නම්... 
ආදේශ් ඈත ගඟ දිය දෙස බලාගෙන හිටියා. මෙතනදී අපි මුලින්ම මුණගැහුණ දවස මට මතක් වුණා. එදා මගේ හිත පුරා විසිරිච්ච සතුට අද කොතනකද කියලා මට හොයාගන්න බැරිවුණා. සීත කළ බියර් වීදුරුවක් තොල ගාමින් මම බලාගෙන හිටියේ ඈත ඉඳන් එන හුළං රැල්ලක දැවටිලා ඒ සතුට ආයෙත් මගේ ළඟට එයි වගේ. මම බලාගෙන හිටියේ ඒ සතුට ආයෙත් මගේ ළඟට එනකම්.
සරින් සැරේ හූල්ලන්න එපා දුල්යානා... ඔයා හයියෙන් හුස්මක් ගත්තත් මට ඒක දැනෙනවා... 
මම හුස්ම ගන්නවද නැද්ද කියලවත් ඔයා ඔච්චර කල් බැලුවේ නෑනේ ආදේශ්... දැන් ඔය ඔක්කොම නිකම් බොරැ කතා විතරයි... 
ඔයාට දැන් ඔහොම කතා කරන්න පුළුවන්ද?

මම කතා කරන්නේ මට දැනෙන ඇත්ත. මට මගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ.. 
ඔයාට මාව පේන්නේ බොරුකාරයෙක් විදිහටද? ඔයාට අමතකද ඔයා ළඟ හිටිය කාලෙ මම ඔයාව කොච්චර හොඳින් රැකබලා ගත්තද කියලා? 
ඒ වෙනුවෙන් මම ඔයාට හැමදාම ස්තූතිවන්ත වෙනවා... ඒත් ඒ අතීතයේ කිසිම දෙයක් මගේ අනාගතයට වලංගු නෑ... මම දැන් හොයන්නේ මගේ අතීතය නෙවෙයි මට දැන් ඕන අනාගතයක්... වෙනස්ම ජීවිතයක්...
ඔයා හොයන්නේ කොයි වගේ ජීවිතයක්ද දුල්යානා... 
මට ඕනේ මගේම ජීවිතයක්... කලාතුරකින් දවසක් හරි හිනාවෙලා ඉන්න පුළුවන්... සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක්....
ජීවිතේ හොඳම කාලය අත්හැරලා දාලා ඔයා දැන්ද ජීවිතයක් හොයන්නේ? 
මගෙන් ජීවිතේ උදුරා ගත්තු මිනිස්සුන්ට මට වෛර කරන්න උගන්වන්න එපා ආදේශ්. මට ඕන ඒ අතීතය මත්තේ විඳවන්න නෙවෙයි... 
අපි අද සතුටින් ඉමු... අපි තව බියර් එකක් බොමු...
ඔයාට සතුටින් ඉන්න පුළුවන්... කෝ ඔයාගේ ජීවිතේට ප්‍රශ්න... 

ඇයි ඔයා තරහෙන් කතා කරන්නේ... ඔයාට ඕන මගේ ජීවිතෙත් ප්‍රශ්න වලින් පිරෙනවා දකින්නද?
මම එච්චර නපුරු ගෑනියක් නෙවෙයි... ඒත් ඔයාට එහෙම ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන් වුණානේ... 
මේ හැමදේම අමතක කරලා සුව නින්දක ආස්වාදය විඳගන්න මට ඕන වුණා. හැමදේම මායාවක් විතරමද කියලා මම මගෙන්ම ප්‍රශ්න කරමින් හිටියා. ආදේශ් හමුවුණේ අතීතයේ තුවාල යළි පාරමින් වේදනාවක් විඳින්න නෙවෙයි. ජීවිතේ යන්න පුළුවන් තැනකට යන්න. හැමදේම අතීතයට පවරලා දීලා අනාගතයක් හොයාගෙන යන්න. මගේ ඇස් දෙකට කඳුළු ආවේ මොහොතකින්.
ඔයා මට උදවු කරන්නේ නැද්ද ආදේශ්... 
මම කොහොමද ඔයාට යන්න කියලා කියන්නේ? 
ඔයා මට යන්න කියනවා නෙවෙයි මම ඔයාගෙන් යන්න තැනක් ඉල්ලනවා... 
මට තව හිතන්ට කාලයක් දෙන්න දුල්යානා... 

ඔයා හිතලා ඉවර වෙද්දී මගේ මුළු ජීවිතයම මගෙන් අත්හැරිලා තියෙයි... 
ඔයා කතා කරන්නේ අතීතයක් නොතිබුණු ගැහැනියක් විදිහට... ඔයා කොහොමද දුල්යානා මෙහෙම කතා කරන්නේ? 
මගේ ජීවිතේ කියන්නේ අම්බලමක් නෙවෙයි ආදේශ්. හිතුණ හිතුණ අයට හිතුණ හිතුණ වෙලාවට ඇවිත් නවතින්න. මාත් අනිත් අය වගේම ලෙයින් මසින් හැදිච්ච ගෑනියක්. මට දුක කිසිම කෙනෙකුට ඒක නොතේරෙන එකයි.... 
මම හිඳ සිටි උස් පුටුවෙන් නැගිට්ටේ තවත් මොහොතක්වත් එතන ඉන්නෙ නෑ කියන අදහසින්. එච්චර කෝපයක් මගේ හිතට ආවෙ ඇයි කියලා මට තේරුණේ නෑ.