මේ නිල්වන් ගහ කොලින් සමන්විත සතා සිව්පාවුන් නිදහසේ ජීවත් වෙන සුන්දර ප‍්‍රදේශයක්. මේ ප‍්‍රදේශයට කියන්නේ මොරදාබාද් කියලයි. මේ නගරය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්වලයි. මොරදාබාද්වල ජීවත්වන පිරිස අතරේ කිෂන් මෝහන් ගිර්හෝත‍්‍රා කියලා තරුණයෙක් ජීවත් වෙනවා තමන්ගේ පාඩුවේ. ඒත් දවසක් කිෂන් ඉඩම් ආරවුලකට මැදිවෙලා පුද්ගලයෙක්ව ඝාතනය කළා කියලා පොලිස් ජීප් එකක් සයිරන් නලා හඬ නංවාගෙන ඇවිල්ලා අත්අඩංගුවට අරගෙන අරන් යනවා.
නිකම්ම නෙවෙයි අතවලට මාංචුත් දාලයි කිෂන්ව අරගෙන යන්නේ. මිනීමැරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්ත කිෂන්ට විරුද්ධව ඉහළ උසාවියේ නඩු විභාග කරනවා. ඒ අතරේ කිෂන්ව රඳවලා තියෙන්නේ ලක්නව් සෙන්ට‍්‍රල් ජේල් (ලක්නව්වල මධ්‍යම සිර කඳවුර) . නිදහසේ හුස්ම ගනිමින් ගහ කොළ එක්ක ජීවත් වුණු කෙනෙක්ට අහස අල්ලන්න දඟලන උස් තාප්පවලින් වට වුණු බිම් ප‍්‍රදේශයක ඉදි කළ ගොඩනැගිලිවල හදලා තියෙන සිර කුටියක ජීවත් වෙන්න වුණාම මොනවා හිතෙන්න ඇද්ද? කිෂන්ට ඉහළ උසාවිය විසින් මරණ දණ්ඩනය ලබා දීමට තීරණය කරන අතර කිෂන් තමන් එල්ලා මරා දමන දිනය ගැන සිහි කරමින් සිර මැදිරිය තුළ කල් ගෙවයි. ජීවිත බලාපොරොත්තු අතහැරගෙන ජීවත් වන කිෂන්ගේ ජීවිතේ දවසක් සහමුලින්ම වෙනස් වෙන්න හේතුවක් මේ සිර ගෙදර තුළ සිද්ධ වුණා. (රාජ්‍ය නොවන සංවිධානයක සේවය කරන සුරූපී තරුණියක් වන ගයත‍්‍රි කශ්‍යප් මේ කියන ලක්නව් සෙන්ට‍්‍රල් ජේල් එකට එනවා. ඒත් එයා එන්නේ සිරකාරියක් විදියටනම් නෙවෙයි.
කිෂන්ට දික්කත් අන්සාරි, වික්ටර් චට්ටෝපාද්ය, පුරුෂෝත්තම් පණ්ඩිත් සහ පර්මින්දර් ට්‍රෙහාන් කියලා මිතුරන් හතර දෙනෙක් බන්ධනාගාරය් තුළදී මුණගැහෙනවා. මේ සියලු දෙනා ගැන තවත් දේවල් දැන ගන්න නම් 2017 සැප්තැම්බර් 15 වැනිදා තිරගත වුණු විනාඩි එකසිය තිස් පහක් පුරා කාලයක් වෙන් කොට ඇති ලක්නව් සෙන්ට‍්‍රල් ජේල් කියන හින්දි සිනමාපටය බලන්නටම වෙනවා.
වෙනස්ම තේමාවක් යටතේ නිරමාණය කරලා තියෙන මේ සුන්දර සිනමාපටය රංජිත් තිවාරි විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන අතර නිඛිල් අද්වානී, මිනීෂා අද්වානි සහ මධු ජී භෝජ්වානි විසින් නිෂ්පාදනය කරලා තියෙනවා. මේ සිනමාපටයෙහි සුන්දර කතාවෙහි දෙබස් රංජිත් තිවාරි සහ අසීම් අරොරා විසින් ලියලා තියෙන අතර අර්ජුන්නා හර්ජයි විසින් සංගීතවත් කොට රසවත් කොට තියෙනවා. සිත ඇඳ බැඳ ගන්නා ආකාරයේ ගීත හයක් පමණ මේ සිනමාපටයට ඇතුළත් කොට තියෙන අතර ඒ ගීත නීති මෝහන්, අර්ජිත් සිං, සුඛ්වින්දර් සිං ඇතුළු පිරිසක්ගේ හඬින් රසවත් කොට තියෙනවා.
හාස්‍යයෙන් සපිරුණු මේ සිනමාපටයෙහි කිෂන්ගේ චරිතයට පණ පොවන්නේ 1974 ජනවාරි 09 වැනිදා ඉන්දියාවේ චිත‍්‍රපට තිර පිටපත් රචකයෙක් සහ ගී පද රචකයෙක් වන ජාවේද් අඛ්තර් සහ හනී ඉරානීගේ පුතෙක් ලෙසින් ඉපදී දැනට ඉන්දියාවේ සිනමා ක්ෂේත්‍රයෙහි අධ්‍යක්ෂවරයෙක්, තිර පිටපත් රචකයෙක්, නිෂ්පාදකයෙක්, නළුවෙක්, ගායකයෙක්, ගීපදමාලා රචකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට කටයුතු කරන ෆර්හාන් අඛ්තර්. ඔහු සිනමාවට පය තබන්නේ සහාය අධ්‍යකෂවරයෙක් විදියටයි අධූනා භබානි සමඟින් 2000දී විවාහ වූ ෆර්හාන් 2016 දී ඇගෙන් දික්කසාදය ලබා ගෙන ඇති අතර ඔහු දෙදරු පියෙක්. ශක්‍යා සහ අකිරා නමින් ඔහුට දියණියන් දෙදෙනෙක්. පිටපත් රචිකාවක් සහ හින්දි සිනමාපට අධ්‍යක්ෂවරියක් වන සෝයා අඛ්තාර් ෆර්හාන් අඛ්තාර්ගේ සොහොයුරියයි. ඊට අමතරව ෆර්හාන් අඛ්තර්ගේ පියා ජාවේද් අඛ්තාර් මේ වනවිට විවාහ වී සිටින්නේ හින්දි සිනමාවේ සිටි දක්ෂ නිළියක් වන ශබානා අස්මි සමඟින්.
රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකාවක් ලෙසින් බන්ධනාගාරයට එන සුරූපිණිය ගැනත් ඔබට නොකියාම බෑ. 1985 නොවැම්බර් 02 වැනිදා ඉන්දියාවේ මුම්බායිවලදී ඉපදුණු මේ කෙල්ලගේ පියා පර්සියන් ජාතිකයෙක් වන අතර මව ක‍්‍රිස්තියානී කාන්තාවක්. ජනමාධ්‍ය පිළිබඳව උපාධිධාරිනියක්ද වන මැය නමින් ඩයනා පෙන්ටිය. සායිෆ් අලි ඛාන් දීපිකා පාදුකෝන් සමගින් ඩයනා කොක්ටේල් (2012) සිනමාපටයෙහි තම රංගනයන් මනාව ඉදිරිපත් කළ අයුරු ඔබගේ මතකයේ ඇතුවාට සැකයක් නෑ. මෝස්තර නිරූපිකාවක්ද වන ඩයනා සිනමාපට කිහිපයකින් තම රංග ප‍්‍රතිභාව මනාව ඔප්පු කරලා තියෙනවා.
මෙම සිනමාපටය හාස්‍යමය ලේබලය යටතේ ප‍්‍රදර්ශනය වෙන චිත්‍රපටයක්. සිහින, ඒ වගේම අපේක්ෂාවන්,අහිංසකත්වය සහ වරදකාරීත්වය ගැන කතා කරන ප‍්‍රබල සිනමාපටයක් වන අතර මිනිසාගේ ආත්ම ශක්තිය ගැන විශ්වාසය වැඩි කරන සිනමාපටයක් බවත් මේ සිනමාපටයේ අධ්‍යක්ෂ අද්වානි විසින් ඉන්දියාවේ මාධ්‍ය වෙත අදහස් ලබා දී තිබුණා. ලක්නව් බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ පස් දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් බන්ධනාගාරයෙන් පැන යෑමට උත්සාහ දැරූ සත්‍ය කතා පුවතක් ඇසුරෙන් මෙම සිනමාපටය නිර්මාණය කළ බව ද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කරලා තිබුණා.
සිතුවිලි අවුලවන සිනමාපට සෑදීම තමන්ගේ සිහිනය බව නිඛිල් අද්වානි විසින් වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියලා තිබුණා.
( ඉන්දීය මාධ්‍ය ඇසුරෙන් )
► Translation – Chandana Waravitage