2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

දැහැන

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

මේ සැප්තැම්බරය පොත් වසන්තයලු. වැහි අඳුරත් එක්ක ඇවිත් වැහි අඳුරත් එක්ක අවසන් වෙන මේ අඳුරුබර දවස් අග්ගිස්සේ මං හැමදාමත් වසන්තයක සලකුණු හොයනවා. කෝ තාම මුණගැසුණේ නෑ. මගේ ඇස් ඉගිල්ලෙන ඉසව්වක මට පොත් වසන්තයක් පේන්නෙ නෑ. ඒත් පොත් පිටු අස්සේ වසන්තය විතරක් නෙවෙයි ජීවිතයම මට හමුවෙලා තියෙනවා. මේ සැප්තැම්බරයේ මට ප්‍රංශ පෙම්වතා හමුවුණා. ප්‍රංශ පෙම්වතා ලීවේ ශමෙල්. ශමෙල් කියවන්න කියලා දීලා ගිය ප්‍රංශ පෙම්වතා මට ලැබුණු දවසේ මම තරු කැට පවා ඇස් වහන සීතල මැදියමේත් නිදි නෑ. පොරෝනය අස්සෙ උණුහුම ඉල්ලගෙන මං මටම තුරුල් වෙලා නින්ද හොයන රාත්‍රියක් මගේ වෙන්නේ පොතක් හරි හැඟුම්බර කතා තේමාවක විහිදී යන චිත්‍රපටයක් හරි මට හමුනොවුණ දවසකදී විතරයි. පොත් කියන්නෙ මට මගේ ජීවිතයෙන් එක තිතක් නෙවෙයි. ආත්මීය බන්ධනයකින් ජීවිතයටම බද්ධ වෙච්ච ජීවිතයේම කොටසක්. චොක්ලට් කකා තේ බිබී පොත් එක්ක නිදිවරන රාත්‍රීන් මම මගේ ජීවිතේ ගෙවා දැමූ සුන්දරම රාත්‍රීන්. මං පොත් ලීවෙත්, පොත් කියෙව්වෙත් මං මාත් එක්කම කතා කරන මේ ලෝකයම මගේ කියලා මට හිතුණ ඒ දිග නිශාවන් එක්කයි.

මට මගේ ජීවිතේ පොත් පිටු අතරේ මුණගැසුණ ප්‍රියතම ගැහැනිය මුණගැසුණේ එහෙම නිදිවරපු මේ ඊයේ පෙරේදා රාත්‍රියක. ඇය හමුවුණේ ශමෙල්ගේ ප්‍රංශ පෙම්වතා එක්ක මං තනිවුණ රාත්‍රියේදී. ඇය මාලි අක්කා. ඇය පිරිමින් විසින් ඉල්ලා හිඳින ගැහැනියක්. එහෙත් පිරිමියෙකුට සිතන පමණින් අත්පත් කරගත නොහැකි ගැහැනියක්. ඇත්තටම ඒ තරම් සාධාරණ නිදහස් ඉවසිලිවන්ත ආදරණීය ගැහැනියක් මට මගේ ජීවිතේ මින් පෙර හමුවුණා මට මතක නෑ. ඇය පොත්වල අකුරු වලින් නෙවෙයි  ජීවත්වීමෙන් ජීවිතය දැන හඳුනාගත් ගැහැනියක්. මාලකලා තාරුකාලා ජීවිතේ පාර දිගේ ඇවිදිද්දී ඕන තරම් හම්බෙනවා. ඒත් මාලි අක්කලා මුණගැහෙන්නේ හරිම කලාතුරකින්. හමුවෙන්නෙම නැති තරම්. ආදරය සහ ජීවිතයේ බොහෝ භාවාත්මක ගනුදෙනුවලදී අපිට හැඟීම කියන බිස්කට්ටුව හම්බවෙන්නේ ආත්මාර්ථය කියන චොකලට් තැවරුමත් එක්ක. බිස්කට් එකේ රසට වඩා අපිට දැනෙන්න ගන්නේ චොක්ලට් තැවරුමේ රස. කොච්චර හිත රවට්ටගන්න ගියත් ඒක තමා ඇත්ත. 

මාලි අක්කා වෙනුවෙන් ශමෙල්ට ස්තූතියි. ඒත් ප්‍රංශ පෙම්වතා අවසානය වෙනුවෙන් ශමෙල්ට ස්තූති කරන්න මට හිතෙන්නේ නෑ. ඒ අවසානය ළඟ ශමෙල් ආයෙත් ඇගේ සිතුවිලි ආත්මය සම්ප්‍රදායේ සළුවකින් වසා ගන්නවා. මාලිගේත්, මාලකගේත්, තාරකාගේත් ජීවිත එක්ක ඇවිද්ද මම ප්‍රංශ පෙම්වතා තුළින් ඉල්ලපු අවසානයයි ශමෙල්ගේ තීන්දුවේ කැමැත්තයි හුඟක් වෙනස්. ඒත් අවසානේදී මට මෙහෙමත් හිතෙනවා. අපි අපිට අයිති නැති අනිත් අයගේ ජීවිතත් එක්ක කොච්චර ආශක්ත වෙනවද කියනවනම් ඒ අයගේ ජීවිත අවසානය අපි අපේ තීන්දුවක් කරගන්නවා. ඒත් අපිට අයිති ආදරය සහ නිදහස පමණයි. කාගෙවත් ජීවිත අපිට අයිති නෑ.

මාලි අක්කා වගේ ගැහැනියක් මේ ලෝකෙදී අහම්බයක් විදිහට හරි හමුවෙන්න පුළුවන්. ඒත් මාලි අක්කා වගේ පිරිමියෙක් මේ ලෝකේ ඉන්න පුළුවන්ද? මගේ ජීවිතේදී මම ඒ අහලකින්වත් යන පිරිමියෙක් හඳුනාගෙන නෑ. ඔයා... ශමෙල් ජයකොඩිගේ ප්‍රංශ පෙම්වතා කියවපු දවසක ඔයත් ඒක තීරණය කරන්න. 

 Sanju