2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

අැති පදමට උණුවතුරින් නා ගමු මදුනාගලින්

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 672

නාන්න නම් නාන්න නෝනා 
නොනා නොනා නේන්න නෝනා 

එහෙමත් කියපු එකේ අපි හිතුවා මේ සති අන්තෙ ඔයාව හිටු කියලා හිතේ හැටියට නාන්න පුළුවන් තැනකට එක්ක යන්න. එසේ මෙසේ වතුරකින් නෙවෙයි මෘදු සනීපයෙන් ඇඟ හිරිවට්ටන පට්ට උණු වතුරෙන්. සති දෙකකකට ඉස්සර අපිත් එක්ක සීතගල්ලේ ගිහින් සීතල මුහුදු වතුර නාපු එකේ යමුද එහෙනම් COOL එකේ HOT WATER නාන්න.

එහෙමත් වතුරක්. හේ භගවාන්... ඇහැට පේන්නේ පොළොවෙන් උනන දිලිසෙන රිදී පාට වතුර ටික විතරයි. ඒත් ඒ වතුරෙ තියෙන දේවල්. අඩු වැඩි විදිහට බයිකාබනේට්, ක්ලෝරයිඩ්, සල්පේට්, නයිට්‍රේට්, පොස්පේට්, සිලිකා, කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, ලිතියම්, යකඩ, සිනික්, ඊයම්, කැඩ්මියම්, ෆ්ලෝරයිඩ්, සල්ෆයිඩ්, මැන්ගනීස් මේ ඔක්කොම රසායන ගුණ එක්ක හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ් කියන වායු ටිකත් අපි ඔයාව නාන්න එක්ක යන මේ වතුර ටිකේ තියෙනවා. ඉතින් ඉඳලා හිටලා හරි නාගත්තොත් මේ උණු වතුර ඇඟට හරි ගුණයි. හිතට සනීපයි. එහෙනම් මේ සති අන්තයේ හිත පුරා නාගන්න යමු ඔයත් walk 111 අපි එක්ක මහපැලැස්සට. මහපැලැස්සේ උණු දිය උල්පත් වලින් උණුවතුර ටිකක් හිතේ හැටියට නාලා එන්න. සමහර අය මදුනාගල කියලා හඳුන්වන්නේත් මේ මහපැලැස්සේ උණුදිය උල්පත්ම තමා.

මදුනාගල එහෙම නැත්නම් මහපැලැස්සට යන්න පාරවල් කීපයක්ම තියෙනවා. රත්නපුරය හරහා යනවනම් ඇඹිලිපිටිය නෝනාගම පාරේ පදලංගල හන්දියෙන් සූරියවැව දෙසට හැරී වලවේ ගඟේ පාලම පහුකරලා විහාරගල හන්දියෙන් හැරිලා කිලෝමීටර් තුනක් ගියාම ඔන්න මදුනාගල හම්බෙනවා. එතකොට ගාල්ල මාතර හරහා ගියොත් තංගල්ල හම්බන්තොට පාරේ නෝනාගමින් හැරිලා පදලන්ගලට ඇවිත් සූරිය වැව මාර්ගයේ ගිහින් විහාරගලින් හරවලා කිලෝමීටර් තුනක් ඉස්සරහට යන්න ඕන. නැත්නම් අම්බලන්තොටින් හැරිලා කොග්ගල පාරේ හතරේ කණුව හන්දියෙන් හැරිලා කරඹගස්මුල්ල හරහා යන්නත් පුළුවන්. ඔහොම ඉන්නකෝ තව පාරක් කියන්න යන්නේ. ඔයාට පුළුවන් කතරගම තිස්ස හරහා හම්බන්තොට පහුකරලා මිරිජ්ජවිල ඉඳන් අඩි සීය මාර්ගයේ සූරිය වැවට පැමිණ පදලංගල මාර්ගයේ ඇවිත් විහාරගල හන්දියෙන් හැරිලා කිලෝමීටර් තුනක් ඉස්සරහට යන්න. එහෙමත් නැත්නම් වැල්ලවාය හම්බන්තොට මාර්ගයේ මත්තල හන්දිය ගුවන්තොටුපොළ හරහා සූරිය වැව පදලංගල මාර්ගයේ විහාරගල හන්දියෙන් හැරිලා කිලෝමීටර් තුනක් යන්න. ඔන්න මේ තමා මදුනාගල උණු වතුර ළිං බලන්න නාන්න යන්න අපි දන්න අන්තිම පාර. තංගල්ල හම්බන්තොට පාරේ රන්න - අගුණුකොළපැලැස්ස වැටිය හන්දියට ඇවිත් පදලංගල මාර්ගයේ ගිහින් විහාරගල හන්දියෙන් හැරිලා කිලෝමීටර් තුනක් ඉදිරියට යන්න. මේ මොන පාරෙන් ආවත් අන්තිමට රිදීවන් උණු ළිං යාය දකින්න පුළුවන්.

උණුදිය උල්පත් වතුර නෑම හරිම ගුණදායකයි ඇයි ඖෂධීය වතුරනේ. 

මහපැලැස්ස නැත්නම් මදුනාගල උණුදිය උල්පත් සූරියවැව නගරයට කිලෝමීටර් හයක් පමණ නිරිත දිගට දිශානුගතව තමා පිහිටලා තියෙන්නෙ. මේ වෙද්දී ලංකාවේ උණුදිය උල්පත් නවයක් හඳුනාගෙන තියෙනවා. රන්කිහිරිය, ගල්වැව, මහඔය, මරන්ගල, කිවුල්ගම, කින්නියායි, කපුරුල්ල, වහව සහ අපි ඔයාව එක්කන් ගිය මහපැලැස්ස තමා ඒ උණුදිය උල්පත් නවය. මරන්ගල විවර දහ අටකින් උණු දිය මතු වුණත් ඒ වතුරෙ උණුසුම හරි අඩුයිලු. උණු කීවට උණුම නෑලු. වහව උණුදිය උල්පත සේනානායක සමුද්‍රයට යටවෙලා. ඒකත් එහෙමයි කියමුකෝ. ඔන්න දැන් තමා වැදගත්ම දේ කියන්න යන්නේ. ලංකාවේ උණුසුම්ම උණු දිය උල්පත තියෙන්නේ කොහෙද දන්නවද? මහඔය මඩකලපුව පාරේ මහඔය ඉඳන් කිලෝමීටර් අටක් ගියාම හමුවෙන සැතපුම් 157කණුව ළඟින් හැරී ටික දුරක් ගියාම හමුවෙන කපුරුල්ල උණු දිය උල්පත තමා ලෝදිය තරම් උණුසුම් උණු දිය අරන් එන්නේ. අලි ගිනියමට නෙවෙයි අලි සීතලට ඕං කීවා නාන්න කියාපු තැන තමා එතන.
ලංකාවේ උණු දිය උල්පත් ගැන කියපු එකේ ලෝකයේ තියෙන ලොකු ලොකු උණුදිය උල්පත් ගැනත් චුට්ටක් චුට්ටක් ඔයාට කියන්න හිතුණා. ඕස්ට්‍රේලියාවේ රාජකීය ජාතික උද්‍යානය, කැනඩාවේ රොකී කඳුකර උද්‍යානය, අමෙරිකාවේ යෙලෝස්ටෝන් උද්‍යානය උණුදිය උල්පත් බහුලවම පිහිටි තැන් කිහිපයක්.

ඔයා දන්නවද අපි මේ උණු දිය උල්පත් විදිහට හඳුන්වන්නේ මොනවද කියලා. හුඟක් සරලව කිව්වොත් මෙන්න මෙහෙමයි. අවට පරිසරයේ පවතින සාමාන්‍ය උෂ්ණත්වය තියෙනවනේ. අන්න ඒ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ඉහළ උෂ්ණත්වයකින් යුක්තව ජලය ගලා එන උල්පත් තමා උණුදිය උල්පත් ලෙස හඳුන්වන්නේ. දැන් ඔයාට හිතෙනවා නේද එතකොට කොහොමද මේ උණුදිය උල්පත් නිර්මාණය වෙන්නේ කියලා. ඒක විද්‍යාත්මක ක්‍රියාවලියක්. අයියෝ නාන්න යන ගමන් මොන සයන්ස්ද කියලා ඔයාට හිතුණොත්. මේ නාන්න යන වෙලාවේ‍ ඔයාව රිලැක්ස් කරන්න මිසක් වෙහෙසවන්න අපි කැමති නෑ. ඒ නිසා ලොකු ලොකු විග්‍රහ නැතුව අපි ඔයාට කෙටියෙන් ඒ ගැන කියලා දෙන්නම්. ඔයාට වැඩි විස්තර ඕනනම් පොඩ්ඩක් සයිබර් අවකාශය පැත්තෙ ගිහින් එන්න. පොළොව ගැඹුරේ ඇති විකිරණශීලී මූලද්‍රව්‍ය සහිත පාෂාණ ස්ථර නිසාත්, පෘථිවි භූ තාප අනුක්‍රමණය යටතේ ජලය උණුසුම්වීම හින්දත්, පෘථිවි පෘෂ්ඨය ආසන්නයේ පිහිටි උණුසුම් පාෂාණ ව්‍යුහයන් නිසාත් උණුදිය උල්පත් ඇතිවෙනවා.

සමහරවිට උණුදිය උල්පත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක සීයට වඩා වැඩිවෙනවා. ආහ් කොහොමද රස්නෙ නේද? හුඟක් වෙලාවට මේ උණුදිය උල්පත් වතුර භාෂ්මිකයි. ඒත් ආම්ලික ජලය සහිත උණුදිය උල්පතුත් තියෙනවා. උණුදිය උල්පත්වල රසායනික සංයුතිය වෙනස් වෙන්නේ ඒ වතුර ගමන් කරන මාර්ගයේ තියෙන පාෂාණවල රසායනික සංයුතිය අනුව. වතුරෙ රස්නය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ වතුරට පුළුවන් ඒ පාෂාණවල තියෙන රසායනික සංයෝග දිය කරලා වතුරට මුසු කර ගන්න. ඒ හින්දා තමා උණුදිය උල්පත් වතුර නෑම හරිම ගුණදයකයි කියලා කියන්නේ. ඇයි ඖෂධීය වතුරනේ. සැපයි ගුණයි කදිමයි. අපේ පොළොවේ උපදින උණුදිය වතුර වගේ නෙවෙයි සමහර රටවල උණුදිය උල්පත් වතුර කුණු බිත්තර ගඳයි. එහෙම වෙන්නෙ මේ ජලයේ ජීවත්වෙන නිර්වායු බැක්ටීරියා විශේෂ මගින් ජලයේ ද්‍රාව්‍ය සල්ෆර් හෙවත් ගෙන්දගම් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව බවට පත්කිරීම නිසා. 

මදුනාගල උණුදිය උල්පතේ ජලය ගලායාමේ වේගය තත්ත්පරයට මිලිලීටර් 643ක්. ඇත්තටම බලාගෙන ඉන්න ආසයි. රිදීපාටට උඩට එන වතුර බුබුලුවල ලස්සන. මදුනාගල උණුදිය උල්පත් වතුර පිරුණු උණුදිය ළිං හැම එකකින්ම ටික ටික නාලා අපි අන්තිමේදී නතර වුණේ උණුසුම්ම දිය පිරුණු උණුවතුර ළිඳ ගාව. ඒ වේලාවේ හිරු මුදුන් වෙලා තිබුණත් එතෙන්ට එන ලොක්කො පොඩ්ඩෝ ඔක්කොම නොනානම් යන්නෙ නෑ. ඒ උණු වතුර ඇඟට වැටෙද්දී පුදුම සනීපයක් දැනෙන්නේ. කොච්චර නෑවත් ඇති හිතෙන්නෙත් නෑ. නෑවා... නෑවා... නෑවා... නෑවා... නාන ගමන් මට මෙහෙමත් හිතුණා. එන්.ජී.ඕ. කාරයෝ කියන සංහිඳියාව නෙවෙයි මෙතන තියෙන සැබෑ සංහිඳියාව. ඒක මාරම මාරයි. HIGH CLASS- LAW LEVEL පන්ති කුල ජාති ආගම් භේද මොකුත් එතන නෑ. ඔක්කොම හිනාවෙවී එකට නානවා. එකම විදිහේ පොඩි කලවලින්; පොළොවෙන් උනන එකම වතුරක්. කවුද දන්නෙ අද මම නාපු කලගෙඩියෙන් හෙට කවුරු නායිද කියලා. ලෝකය වෙනස්. රටවල් වෙනස්. සමාජ වෙනස්. අපි එක එක්කෙනාට වෙනස්. ඒත් අපි හැමෝගෙම මනුෂ්‍ය ප්‍රකෘතිය එකක්. මදුනාගල ගියොත් ඔයත් යන්න නාලා එන්න. ළිං තියෙන ඉසව්වට යන තැන ඉන්නවා ලස්සන ගිරවෙක්.. කැමරාවක් එල්ලා ගත්ත පුෂ්පා අක්කත් එක්ක. ගිරවත් එක්ක මතකයක් විදිහට ෆොටෝ එකක් ගත්තොත් ඒ සතුට පුෂ්පා අක්කගේ පසුම්බියට... විනාඩි කිහිපයකින් මුද්‍රණය කරපු ෆොටෝ එකක් අතට ලැබෙද්දී ඒ සතුට ඔයාට. එහෙනම් නාලා විඳලා ෆොටෝ එකකුත් අරගෙනම එන්න.
ඊළඟ සතියෙත් walk 111 අපි එක්ක යමු තවත් කොහේ හරි.

► Text -Saara / Pic- Channa Kassapa Koralearachchi 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00