2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

නළු නිළියන්ටත් සාධුකාර

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

පසුගිය දවසක ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂකවරයෙක් ගෞරව සම්මාන රැසකින් හා ගෞරව නාමයකින් පිදුම් ලැබුවා.
ඒ උත්සවය තිබුණේ ඔහුගෙ ගමේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක. ඒ සඳහා ගමේ ජනතාව සිය ගණනකින් විහාර ස්ථානයට යන මඟ දෙපස සුදුවතින් සැරසිලා සාධුකාර දුන්නා.

මේ ගෞරව නාමය ලබා ගත් අධ්‍යක්ෂකවරයා විහාරස්ථානයට කැඳවාගෙන ගියේ වර්ණවත් පෙරහරකින්. අධ්‍යක්ෂකවරයාගේ සමීපතම නළු නිළි පිරිසකුත් ඒ පෙරහරේ ගමන් කළේ දෙපසින් ඇසුණු ජනතාවගේ සාධුකාර හඬ මැද්දෙ.

ඒ උත්සවයට සහභාගී වෙන්න නළු නිළි පිරිස පාන්දරින්ම කොළඹින් පිටත් වුණු නිසා ප්‍රමාද නොවී ආපසු කොළඹට යායුතු බව අධ්‍යක්ෂකවරයාට කිව්වලු.

“අපි ඔයා වෙනුවෙන් මෙච්චර කැපවෙලා ආපු දුරබැහැර ගමන කවදාවත් අමතක කරන්න නම් එපා. නළුවෙක් අධ්‍යක්ෂකට කිව්වලු.

“ඒක හරි. ඒත් ඕගොල්ලන්ට මේ රටේ මිනිස්සු කවදද සාධුකාර දුන්නෙ. අද ඒ දේ සිද්ධ වුණානෙ. ඒකත් අමතක කරන්න එපා. ජනප්‍රිය අධ්‍යක්ෂවරයා කිව්වලු.

 

හොඳ අය එළියෙ...

පසුගියදා පැවැති පුංචි තිරයේ සම්මාන උත්සවයක් ගැන විවිධ පාර්ශවයන් විවිධ මත කරනවා. 
පුවත් මාධ්‍යවේදීන්ගේ පාර්ශවයෙන් නැගෙන චෝදනාව තමයි උත්සවය ආවරණය කරන්නට යන කැමරා ශිල්පීන්ට කෙරෙන කෙනෙහිලිකම්.

“අපි කරන්නෙ මේ සම්මාන උළෙලේ පින්තූරු අරං පත්තරේ දාලා මේගොල්ලන්ට ලොකු උදව්වක් කරන එක. ඒත් මේක සංවිධානය කරන අය හිතන්නෙ මේක ආවරණය නොකර අපට වැජඹෙන්න බැහැයි කියලා. එක් ඡායාරූප ශිල්පියෙක් කිව්වා.

තව කෙනෙක් කිව්වෙ සංවිධාන මණ්ඩලේ නිලධාරියෙක් ඔහුට දණ ගාගෙන පින්තූර ගන්න කියලා කිව්වලු. ඔහු වහාම ශාලාවෙන් පිටවෙලා ඇවිත්.

කලා ශිල්පීන්ගෙ පැත්තෙන් බැලුවම කැපී පෙනෙන චරිත ගණනාවකට මේකට ආරාධනා කරලා නැහැ. “මේකත් හරියට ක්‍රිකට් වගේ තමයි. හොඳ අය එළියෙ. කොහෙදෝ යන අය ඇතුළෙ. එක් ශිල්පිනියක් කිව්වා. 

 

යකඩෝ මේ සින්දුව ඔයාගෙද?

මේකත් මෑතකදි එක්තරා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් විකාශය කරන චැට් සංගීත වැඩසටහනක් අතරතුර සිදුවූ අපූරු සිදුවීමක්. මෙවැනි වැඩසටහන්වලට අලුත් වගේම ප්‍රවීණ කලා ශිල්පීන් සහභාගී කරගන්නවා. ඒ අයට සින්දුවක් දෙකක් කියන්නත් ඒ ඒ නාලිකා ඉඩ කඩ ලබා දෙනවා.

වැඩසටහන පටන් ගන්න පැයකට විතර කළින් මේ කට්ටිය ඇවිත් සංගීත ශිල්පීන් එක්ක සින්දු ටික පුහුණු වෙනවා.
ඔන්න ඒ වගේ වැඩසටහනක් ආරම්භ වෙන්න කළින් ප්‍රවීණ ගායිකාවක් ඇගේ ජනප්‍රිය ගීතයක් සංගීත ශිල්පීන් එක්ක පුරුදු වෙමින් හිටියලු.

ඒත් එක්කම එතනට ආවලු ස්ටාර් තරගයකින් ජනප්‍රිය වුණු නවක ගායිකාවක්. ප්‍රවීණ ශිල්පිනිය පුහුණු වෙමින් සිටි ගීතය අසා ඇය කලබල වුණාලු.

“අනේ මොකද්ද අක්කේ, ඔයා මම කියන්න හිටපු සින්දුවනෙ කියන්න යන්නෙ. එතකොට මම මොනවද කියන්නෙ.
නවක ගායිකාව ප්‍රවීණ ශිල්පිනියට කිව්වලු.
“යකඩෝ කවද ඉඳන් ද මේ සින්දුව ඔයාගෙ වුණේ? ඇය ඇගෙන් ඇහුවලු. 

 

හාල්කෑලි “ෆෝම්" කරන්න එපා

ජාතික රූපවාහිනි නාලිකාවක් සති අන්තයේ විකාශය කරන සංගීතමය වැඩසටහනකට ප්‍රවීණ සංගීතවේදීන්, ගායක ගායිකාවන් සහභාගි වෙනවා. ඒත් ඉඳලා හිටලා දක්ෂතා තිබෙන නව පරපුරේ අයත් සහභාගි වෙනවා.

මෑතකදි පැවැති සජීවී සංගීත වැඩසටහනට එක්තරා නව පරපුරේ ගායිකාවක් පොල්ලක් තියලලු. ඒ වැඩසටහන සජීවී එකක් කියලා එයා කළින් දැනගෙන හිටියෙ නැහැයි කියලා තමයි එයා ඇඟ බේරගෙන තියෙන්නෙ. හැබැයි මේ ගායිකාව මීට කළිනුත් මේ වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා. ඒත් ඒක සජීවීව සිදුවුණාද නැද්ද කියලා අමතක වෙලා ඇති.
ඇතැම් නාලිකා විසින් මේ වගේ නව පරපුරේ අය අසීමිත ලෙස ෆෝම් කරාම මේ වගේ ප්‍රතිඵල ලැබෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

රඟපාන්න චරිත ඕන තරම් තියෙනවලු

ළඟදී ආරම්භ වැඩ කරපු අලුත්ම චිත්‍රපටයකට තේමාව වෙන්නෙ යෝධයින්ගෙ කතාවක්. චිත්‍රපට දෙක තුනක් කළින් නිර්මාණය කළ අධ්‍යක්ෂකවරයෙක් තමයි වැඩේට අත ගහලා තියෙන්නෙ. ඔන්න දැන් අවුරුදු ගාණක ඉඳලා චිත්‍රපටවල රඟපාන්න අවස්ථා ඉල්ල ඉල්ලා කරදර කරපු කට්ටියට අධ්‍යක්ෂකවරයා මේ දවස්වල කෝල් කරනවා.

“ඇක්ට් කරන්න කැමතියි කියපු නිසයි කතා කරන්නෙ, අපේ AD එක්ක කතා කරලා දිග ටික බලාගන්න. අධ්‍යක්ෂක කියනවලු. සහාය අධ්‍යක්ෂකට වැලනොකැඩී කෝල් එනවලු විස්තර දැනගන්න.

මොන වගේ ඇඳුම්ද ලෑස්ති කරන්න ඕනෙ. ටයි එහෙම අවශ්‍යද? මොන වගේ සීන් එකක්ද? රැවුල වවන්න ඕනෙද? කපන්න ඕනෙද? වගේ විස්තර තමයි අහන්නෙ. සහාය අධ්‍යක්ෂට මේක දැන් හිසරදයක් වෙලාලු. ඒ හැමෝටම ඔහු මේ වගේ SMS පණිවිඩ යැව්වලු.

“චරිතය ගැන වැඩිය හිතන්නෙපා. ඇඳුම් ගැන, කොණ්ඩෙ ගැන, රැවුල ගැන හිතන්නත් එපා. මේකෙ ඕගොල්ලන්ට තියෙන්නෙ යෝධයින්ගෙන් ගුටි කන චරිත.

► Text – Mithra

 

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00