ලෙස්ටර් ජේම්ස් පීරිස් - සුමිත්‍රා පීරිස්
දේශීය සිනමා වංශ කතාවේ නොමැකෙන සටහන් තබා ඇති ලෝ ප්‍රකට සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් ගේ දායකත්වය පිළිබඳව මෙවැනි විශේෂත්වයකින් හුවා දැක්වීම අසීරු කාරණයකි.
සිනමාව නිසාම සිත් බැඳි ලෙස්ටර් සුමිත්‍රා යුවල බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී අතිනතගත්තේ සිනමාව ඔවුන්ගේ ජීවිතය කරගනිමින්ය.
හෙන්රි ජයසේන - මානෙල් ජයසේන
හෙන්රි ජයසේන හා මානෙල් ජයසේන ශ්‍රී ලාංකික කලා ක්ෂේත්රයට පහළ වූ අග්‍රගණ්‍ය රංගන ශිල්පීන් දෙදෙනෙකි. හරිස්චන්ද්‍ර වේදිකා නාට්‍ය හරහා හෙන්රි ජයසේන රංගනයට පිවිසි අතර මානෙල් ඉලංගකෝන් (ජයසේන) රංගනයට පිවිසෙන්නේ කුවේණි හරහාය. හුණුවටයේ කතාවේ ගෘෘෂාගේ භූමිකාවට පණ පෙවූ මානෙල්, හෙන්රි ජයසේන සමඟ විවාහ වූයේ 1962 මැයි මස 31 දිනය.
දයාරත්න රණතුංග - අමරා රණතුංග
සුභාවිත සංගීතයට සුවිශාල මෙහෙයක් ඉටුකළ ආචාර්ය දයාරත්න රණතුංග හා මහාචාර්ය අමරා රණතුංග 1964 ජනවාරි 30 වැනිදින අතිනත්ගෙන සුන්දර ප්‍රේම කතාවක චරිත දෙකක් බවට පත්වූහ.
මහ රූ යාමේ, දුරස්වන්නට මේ ලෙසින්, සැන්දෑ අහසේ, රූං පෙත්ත කැරකෙනවා, සැළලිහිණියෝ වැනි අමරණීය ගීත හරහා ප්‍රේක්ෂක සිත් පැහැරගත් දයාරත්න - අමරා යුවල ඒකාකාරි රාමුවකින් මිදී නැවුම් සංකල්පයන්, නැවුම් රිද්මයන් සොයා ගියහ.
ලක්ෂ්මන් විජේසේකර - චන්ද්‍රා කළුආරච්චි
මේ ප්‍රේම සීමා මාලකේ තරුවන් සොයා ගිය ප්‍රවීණ රංගනවේදී, ගායන ශිල්පී හා සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර කලා ශිල්පියාට චන්ද්‍රා කළුආරච්චි හමුවන්නෙ කලා ලෝකය තුළය. 19 වැනි වියැති යුවතියක වූ චන්ද්‍රා මුල් වරට රංගනයක යෙදුනේ රත්තරං පුතා වේදිකා නාට්‍යයේ 90 වැනි වියැති මහලු කතකගේ චරිතයකට පණ පොවමිනි.
1983 දී විවාහ වූ ලක්ෂ්මන් හා චන්ද්‍රා වේදිකා නාට්‍ය, චිත්‍රපට හා රූපවාහිනි ක්ෂේත්රයන් හට සුවිශාල දායකත්වයක් ලබාදී තිබේ.
රෝයි ද සිල්වා - සුමනා අමරසිංහ
ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් රෝයි ද සිල්වා හා සුමනා අමරසිංහ සිංහල සිනමාවේ උන්නතිය සඳහා දශක ගණනාවක් පුරාම විවිධ අංශ තුළින් දායක වූ තරු යුවළකි.
රෝයි - සුමනාගේ ආදර කතාවත් ඔවුන් රිදී තිරයේ නිරූපණය කළ පෙම් චරිත තරමටම සුන්දර එකක් විය.
ජෝ දේව් ආනන්ද්ගේ සූකිරි කෙල්ල චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුරදී නිල වශයෙන් රෝයි - සුමනා විවාහ වූයේ 1975 අගොස්තු 30 වන දිනය.
සනත් නන්දසිරි - මල්කාන්ති නන්දසිරි
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි වර්තමානයේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයාය.
දශක 6කට අධික කාලයක් මුළුල්ලේ සංගීතඥයෙකු මෙන්ම ගායකයෙකු ලෙසද ප්‍රකට සනත් නන්දසිරි ප්‍රවීණ කලා ශිල්පියා මුලින්ම ගුවන් විදුලියට ගීතයක් ගායනා කළේ 13 වන වියේදීය.
මල්කාන්ති නන්දසිරි ප්‍රවීණ ගායන ශිල්පිනිය ගායන ලොවට පිවිසියේ ගුවන් විදුලියේ ළමා මණ්ඩපය හරහාය.
ඒ ශ්‍රේණියේ ගායිකාවනක ලෙස ශ්‍රේණිගත වූ මල්කාන්ති සනත් නන්දසිරි හා එක්ව ජීවන ගමන් මගේ සැබෑ රිද්මය හඳුනාගනිමින් 1971 දී විවාහ දිවියට පා තැබූහ.
( තවත් කොටසක් ලබන සතියේ )
► Text – Ramesh Uvais