2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

බාේතලෙත් එක්ක හිටිය හුඟක් යාළුවෝ අද මට නෑ....

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 311

සඳ තරු නිහඬයි
ගහකොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදිවෙලා

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් ගායනා කළ කුලරත්න ආරියවංශ පද රචනා කළ එම ගීතයට සංගීතය නිර්මාණය කරන ලද්දේ එච්.එම්. ජයවර්ධනයන්ය. එච්.එම්.ගෙ සරිගමපදනි ස්වර සුසංයෝජනයන්ගෙන් උත්පත්තිය ලද එවන් ගීත අනල්පය. අද ඉතා නිහඬ ජීවිතයක් ගත කරන එච්.එම්. මොණරාගල සිට අම්පාර දක්වා ගමන් කරන මහා මාර්ගයේ ඇති සියඹලාණ්ඩුව ගම්පියසේ උපත ලද ගැමියෙකි.

ගොවිතැනින් තම ජීවිතය රැකගත් හේරත් මුදියන්සේලාගේ විජේසුන්දරගේත් ඇම්.ඩී.ඇම්. රන්මැණිකාගේත් වැඩිමහල් දරුවා එච්.එම්.ය. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ හේරත් මුදියන්සේලාගේ ජයවර්ධනයන්ට බාල සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකු සිටී. ඒ බලවර්ධන, උපාලි, පුෂ්පා දමයන්ති හා මේරිනෝනාය.

මගේ තාත්තා දුප්පත් ගොවියෙක්. පවුලේ වැඩිමහල් දරුවා වෙච්ච මම ඉපදුණේ 1960 මාර්තු මාසේ දාහත්වැනිදා. මම මුලින්ම ගියේ ගමේ පුංචි ඉස්කෝලෙට. එතනින් ශිෂ්‍යත්වය පාස්වෙලා මම පස්සර මහා විද්‍යාලයට ගියා. ඒකෙ ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉඳගෙන මම ඉගෙන ගත්තා. ඒ කාලේ ශිෂ්‍යත්වය පාස්වෙච්ච දරුවන්ට ඉන්න හිටින්න, කෑම බීම හැමදෙයක්ම දුන්නේ රජයෙන්. මට මතකයි ඉස්සර නේවාසිකාගාරයේ නැවතුණු මුල් දවස්වලම මට ඒ ජීවිතේ එපා වුණා. මම ගමේ ගහට කොළට ආදරේ කළා. ඒ ඇළට දොළට ආදරේ කළා. ඒ නිසා අර නේවාසිකාගාර ජීවිතේ මට එපා වුණා. ඒ නිසා මම තාත්තාට මට මෙහේ ඉන්න බෑ. මාව ගෙදර එක්ක යන්න නැත්නම් මම මැරෙනවා... කියලා ලියුමක් ලීවා. ඒක බලලා තාත්තා ඉක්මනට මාව බලන්න ඇවිත් විදුහල්පති හමුවෙලා එයා ලවා මගේ හිත හැදුවා.


ඒ කාලේ පී.ඒ. සුබසිංහ ගුරුතුමා එච්.එම්.ව එස්රාජ් වාදනයට තෝරගත්තා. නමුත් එච්.එම්.ගේ හිත නැවතුණේ එස්රාජ් ළඟ නොවේ. ඔහුගේ හිත නතර වූයේ බටනලාව ළඟය. නමුත් සුබසිංහ ගුරුතුමා විසින් ඒ සඳහා තෝරාගනු ලැබුවේ කිරිවත්තේ ශිෂ්‍යයායි.

මාව එස්රාප් වාදනය කරන්න තෝරගත්තට මම ආසා කළේ බටනලාවට. දවසක් මම කිරිවත්තේගෙන් ශත 50ක් දීලා බටනලාවක් අරගත්තා. හැබැයි මුල් දවස්වල ඒ පුංචි බටනලාව තිබුණේ මගේ කොට්ටෙ යට. කවුරුත් නැති වෙලාවක මම හෙමිහිට ඒ බටනලාව අරගෙන ගැහුවා. හැබැයි මේක වැඩි කාලයක් යන්නට මත්තෙන් පාසල් විදුහල්පතිතුමාට, සුබසිංහ සර්ට දැනගන්න ලැබුණා. දවසක් අර පොඩි කොල්ලට කියනවා හැංගි හැංගි ගහන්නෙ නැතිව සංගීත ගුරුතුමාව ගිහින් හම්බුවෙලා තව ඉගෙන ගන්න කියලා කියන්න කිව්වා. එදා මට පුදුම සතුටුයි. මම සුබසිංහ සර් යටතේ හොඳට ඉගෙන ගත්තා.

ඉස්කෝලේ අධ්‍යාපනයට පස්සෙ එච්.එම්. කළ රැකියාවල් මොනවද..? මගේ හිතේ ඇතිවුණු ගැටලුවක් මම එච්.එම්.ගෙන් ඇහුවා.
මට අ.පො.ස සාමාන්‍ය පෙළ පාස් කරගන්න බැරිවුණා. ඒ නිසා රජයෙන් දීපු ශිෂ්‍යත්වයත් නතර වුණා. මට සියඹලාණ්ඩුවට යන්නත් සිද්ධ වුණා. එතනින් එහාට ජීවත් වෙන්න එක එක රස්සාවල් කළා. මම යාළුවෙක් එක්ක එකතුවෙලා ලී ඉරැවා. වාරිමාර්ග සංවර්ධන තැනක කුලී වැඩට ගියා. තවත් පාරක් මගේ බාප්පා කෙනෙක් එක්ක සමූපාකාරෙක වැඩට ගියා. කාලයක් මම තැපැල් කන්තෝරුවක වැඩටත් ගියා. මේ හැමදේකින්ම මම ජීවිතේට අලුත් අලුත් අත්දැකීම් එකතු කරගත්තා. හැබැයි ඒ හැම තැනකදීම මගේ තනියට හිටියේ මගේ බටනලාවයි. ඉඩ ලැබෙන හැම මොහොතකදීම මම මගේ බටනලාව වාදනය කළා.

ඒ කාලේ ඔබ ආසාවෙන් වැයූ ගීත මොනවද...?
ඒ කාලේ වික්ටර්ගේ සිසිල් සුළං රැල්ලේ, නාරදයන්ගේ පිපී පිපී රේණු නටන ගීතයත්, ජෝතිගේ ගීතත්, එතකොට සනත්ගේ ඇවිලුණු ගිනිදැල් ගීතයත් ඒ දවස්වල මම හරිම ආසාවෙන් වාදනය කළා. මේ කාලේ අපි හොඳ කොල්ලෝ. මට යාළුවෝ පිරිසක් හිටියා. ඒ හැමෝම මම බටනලාව වාදනය කරනවාට ප්‍රියයි. ඔය කාලෙදි යාළුවෝ මට පස්සර ඉන්න එපා කොළඹ පලයන්. ගිහින් සංගීතයට සම්බන්ධ රස්සාවක් හොයාගනින් කියලා අනන්තවත් කිව්වා. ඒ වෙනුවෙන් කීපවතාවක්ම කොළඹ ආවත් ඒ හැම වතාවකදිම ආයේ පස්සර බස් එකෙන් ගමට ගියේ හිත හොඳටෝම රිදවගෙනයි.

පසුව ඔබට ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ රැකියාවක් ලැබෙනවා නේද...?
ඒකටත් පුදුම දුෂ්කරතාවයක් වින්ඳේ. පත්තරේක තිබුණු දැන්වීමකට මම ඇප්ලිකේෂන් එකක් දැම්මා. මට තාම මතකයි, එදා කොළඹ යන්න මට හරිහැටි ඇඳුමක් තිබුණේ නෑ. මගේ යාළුවෝ ටික එකතුවෙලා හරි හැඩකාර කලිසමක් මැස්සුවා. ඇඳලා බලද්දි ඒක ලොකුයි. ඊටපස්සේ කොහුලණු කෑල්ලකින් ගැටගහලා තමයි ඒ කලිසම ඇඳලා මම එදා කොළඹ ආවේ. ඒත්... එදා මට සම්මුඛ පරීක්ෂණයට අරගෙන යන්න තිබුණේ අර පුංචි බටනලාව විතරයි. කිසිම සහතිකයක්, අධ්‍යාපන සුදුසුකමක් තිසා අඩුම තරමේ දේශපාලන ලියුමක්වත් මට එදා තිබුණේ නෑ. ඒ කිසිම දෙයක් නැති තැන එදා මාව ඒ පරීක්ෂණයෙන් අසමත් වුණා.

අද මම වකුගඩු රාේගියෙක්. ඉන්නේ කුලීගෙදරක 

එතකොට කොහොමද ඔබ ගුවන් විදුලියේ වාදන මණ්ඩලයට තේරුණේ?
එහෙම අසමත් වුණා කියලා මම අධෛර්යමත් වුණේ නෑ. මම එක එක අයව හමුවෙන්න ගිහින් මේ ගැන කතා කළා. ඒ අතරේ ආචාර්ය අමරදේවයන් මගේ බටනලා වාදනය පිළිබඳව ගොඩාක් සතුටු වුණා. ඔහුගේ මාර්ගයෙන් මට සෝමදාස ඇල්විටිගලයන් ඉදිරියේ බටනලාව වාදනය කරන්න ආයෙමත් අවස්ථාව උදාවුණා. ඒ මාර්ගයෙන් 1975 දී විතර මට ගුවන් විදුලියේ අනියම් බටනලා වාදකයෙකු විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ//
සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

කාලයකට පස්සේ ඔබට මාලනී බුලත්සිංහලයන් මුණගැහෙනවා. කොහොමද ඒ මුණගැහීම...?
මම ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කරද්දි මාලනී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ කාලයේදි බටනලා ශිල්පියෙකු විදිහට මම බොහෝ නිර්මාණවලට දායක වුණා. මාලනිත් සරල ගී වැඩසටහන්වලට සහභාගි වුණා. ඒ කාලයේදි තමයි මාලනීව ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණේ. සරල ගී වැඩසටහන් වෙනුවෙන් ගොඩාක් වෙහෙස වන මාලනී ඒ තනු ගැන අහන්න එහෙම ආවේ මගේ ළඟට. බොරලැස්ගමුවේ තිබුණු මාලනීගේ ගෙදරට ගිහින් මම සර්පිනාව වාදනය කරමින් මාලනීගේ ගීත වෙනුවෙන් උදව් කළා. අන්තිමේදි 1979 අවුරුද්දෙදි අපි විවාහ වුණා.

කලිසම අැඳ ගත්තේ කාෙහුලණු කෑල්ලකින්  ගැට ගහලා  

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්//
මංමුලා වී ජීවිතේ අපි
ළංවෙලා ඉමු මේ ලෙසින්

මාලනීගේත් එච්.එම්.ගේත් කැදැල්ලට එකතු වූ එකම දරුවා කසුන් කල්හාරය. අද වෙද්දි කසුන් මවගේත් පියාගේත් අඩිපාරේ යමින් සංගීත ගමනේ දිගු ගමනක් පැමිණ සිටින කලාකරුවෙකි.
එච්.එම්. අතින් සංගීතවත් වුණු නිර්මාණ බොහෝමයක් මේ මොහොතේ අපේ මතකයේ නැඟේ. කාලයක් තිස්සේ මත්පැනට වැඩි නැඹුරුවක් දැක්වූ මේ අපූරැ කලාකරුවා තම ජීවිතය මත්පැනට උගසට තැබුවාදැයි අපිට සිතේ. ඒ අතර ජීවිතේ අත්වැලක් වූ ආදරණීය මාලනිය ජීවිතෙන් නොසිතූ පරිදි ජීවිතය සදහටම හැරයාමත් ඔහුගේ හුදෙකලා ජීවිතයට තවත් පාර කැපුවේය. 2001 පෙබරවාරි මස මාලනිය අමෙරිකාවට පිටත්ව ගියේ ප්‍රසංග කීපයකට සහභාගි වන්නටය. නමුත් මාර්තු මස විසිඅට වැනිදා එච්.එම්. කිසිදාක නොපැතූ දුරකතන ඇමතුමක් අමෙරිකානු ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ලබා දුන්නේය. ඒ මාලනියගේ සමුගැනීමය.

සත පනහට ගත් බටනලාව හංගා ගත්තෙ කාෙට්ටෙ අස්සෙ  

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් ඉඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

අද එච්.එම්. පසුවන්නේ දැඩි රෝගාතුරවය. වයසටත් වඩා ඔහු මැලවී ගොස්ය. වසර ගණනාවක් අධිරුධිර පීඩනයට බිව් පෙති හේතුවෙන් වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නට සිදු වූ බවට එච්.එම්. විශ්වාස කළද වසර ගණනාවක් මත්පැනට හුරුවූ ඔහුට එයද අසනීපයට හේතුවන්නට ඇතැයි ඔහු නොකියා කියයි. එදා ඔහු වටා බෝතලය වටා සිටි බොහෝ යහළුවන් අද ඔහු හැරදා ගොස්ය. අද ඉඳහිට ඔහුගේ සුවදුක් සොයා බලන්නට එන්නේ ඔහුගේ මිතුරන් සඟයන් කිහිප දෙනෙක් පමණි. ඔවුන් එච්.එම්.ගේ සැබෑ හිතවතුන්ය. මිතුරන්ය. මාලනියගේ හොඳම යෙහෙළියක් වූ නිලූ අද එච්.එම්.ට සෙවණැල්ලක්ම වී තිබේ. දශක ගණනාවක් සංගීත ක්ෂේත්‍රයට අමිල සේවාවක් කළ එච්.එම්. අදද ජීවත් වන්නේ හෝමාගම කුලී නිවසකය. වගකිවයුත්තන් බොහෝමයක් එච්.එම්.ට නිවසක් ලබාදෙන්නට පොරොන්දු වුවද අදටත් ඒවා සැබෑ නොවන හිස්වචන ටිකක්ම වී තිබේ. එච්.එම්.ට දැන් වෙහෙසය. ඉංග්‍රීසි බෙහෙත් වෙනුවට අද ඔහු දඹුල්ල වෙදමහතෙකුගෙන් වකුගඩු රෝගය සඳහා සිංහල ප්‍රතිකාර ලබාගනී. නමුත් අදටත් ඔහුගේ සර්පිනාව උඩ අලුත් නිර්මාණ කිහිපයකි. නොපැහැදිලි අත්පිටපත් ගණනාවකි. ජීවිතේ සැඳෑසමය ගෙවන මේ අපූරු හුදෙකලා කලාකරුවාට තමන්ගේ කියන පුංචි නිවසක ජීවිතේ ගෙවන්නට ඇත්නම්... අප ඉදිරියේ එච්.එම්. සර්පිනාව වයමින් ගැයූ ගීතයේ සුගීතවත් හඬ හිතේ රඳවාගනිමින් අපි සමුගත්තෙමු.

ළාදලු බෝපත් සෙමෙන් සැලෙන සේ
යශෝදරා දේවි
වාවනු බැරිතැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී...

► Text – Dishani  /  Pic - Sumudu

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00