2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

දැහැන

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 119

මට ඉන්නවා අපූරු පුංචි මිත්‍රයෙක්. මේ ළඟදී දවසක අපි සියදිවිනසා ගැනීම ගැන කතා කරද්දී ඒ පුංචි මිත්‍රයා මෙහෙම කතාවක් කීවා. මම තුන වසරේ ඉද්දී බෙල්ලෙ වැල දා ගෙන මම මැරෙනවා කීවා. මම එහෙම කීවේ මගේ අම්මට. මම අම්මට කිරි එකක් හදලා දෙන්න කීවා අම්මා හදලා දුන්නෙ නැතිවුණාම මම අම්මාට කීවා එහෙනම් මම බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා කියලා. මම එහෙම කියලා රෙද්දකුත් බෙල්ලට දා ගත්තා. ඒත් අම්මා ඒක සත පහකටවත් ගණන් ගත්තෙ නෑ. හැමදාමත් ජීවිතේ ගැන ධනාත්මකව හිතන හැම දුකක්ම ආශිර්වාදයේත් සතුටේත් පෙරළියක් බවට පත් කරගන්න උත්සාහ කළ ජීවිතය කියන කටු අත්තෙ බලාපොරොත්තුවේ මල් පූදින්නට ඉඩ හැරිය මගෙ ධෛර්යවන්ත පුංචි මිත්‍රයා හිනාවෙවී කියපු කතාවේ මට තවදුරටත් හිතන්න දෙයක් තිබුණා. ඒ අම්මා හරි. ඒ වෙලාවෙ ඒ අම්මා කිරි කෝප්පයක් දුන්න නම් ඒක අම්මා මට තියෙන ආදරේටත් වඩා මම මැරෙනවා කියන බයට දුන්න කිරි එකක් කියලා එයාට හිතෙන්න තිබ්බා. එයා ඒක හැමදාමත් ජීවිතේට නරක පූර්වාදර්ශයක් කරගන්න තිබුණා. එයා ජීවිතයේ තවත් දේවල් වෙනුවෙන් තවත් දේවල් ලබා ගැනීම වෙනුවෙන් මට ඒක නොදුන්නොත් මම මැරෙනවා කියන එක උදාන වාක්‍යයක් විදිහට පාවිච්චි කරන්න තිබුණා. දරුවන්ට ආදරයෙන් හැම දෙයක්ම දෙන්න ඕනැ ලෝකය කියන්නේ දුක පිරුණු තැනක්, ජීවිතය කියන්නේ වරෙක දුෂ්කර ගමනක් අභියෝගයක්, ලෝකයම අත්හැරුණත් 

අැද නාෙවැටෙන දෙපයින් අපි අපේ ගමන යා යුතුයි මරණය නෙවෙයි ජීවිතය තුළින් ජීවිතයම ඉල්ලා සිටිය යුතුයි කියන හැඟීම හදවතේ ගැඹුරුම තැනකට කාවද්දන ගමන්.
අද අපිට හිමි හැමදේම හෙට අපිට අහිමි වෙන්න පුළුවන්. ඒත් ඔබ හැමදාමත් හීන සහ බලාපොරොත්තුවලට ඉඩ හරින්න. නැවුම් හීන සහ බලාපොරොත්තු වෙනුවෙන් හෙට දවස වෙන් කරන්න. ස්වභාවධර්මය, ස්වභාවධර්මයේ නීතිය, දෙවියන් වහන්සේගේ නීතිය හා කැමැත්ත, ඉරණම, සංස්කෘතිය. සදාචාරය, නීතිය ඔබ මෙයින් විශ්වාස කරන්නේ කුමක්ද? ඔබ මෙයින් වඩා බලවත් යැයි විශ්වාස කරන්නේ කුමක්ද? මට හිතෙන්නේ ඔබ විශ්වාස කළයුත්තේ මේ කිසිවක්ම නෙවෙයි. ඔබ විශ්වාස කළ යුත්තේ ඔබවමයි. ඔබ සහ ඔබේ ආත්ම ශක්තියයි. ඔබේ සිතිවිලිවල නිදහස් නිවහල් භාවයයි. වඩා විශ්වාසවන්ත වෙන්නේ වඩා බලවත් වෙන්නේ තමා තුළින් නැගෙන තමන්ගේම ශක්තිය බව මං විශ්වාස කරනවා. එය මුහුදේ විසල් බවටවත් ආකාසයේ අනන්ත බවටවත් සමාන කරන්න බැරි අසමාන බලවේගයක්. 

ලෝකය මහපොළොව ආකාසය සාගරය සහ මිනිසා කොහොම උප්පත්තිය ලැබුවද කියන්න මම දන්නේ නෑ. හුඟ කාලයක් යනකම් මම දැනන් හිටියේ ඒ හැමදේම තියෙන ලෝකයක මම ප්‍රාණියෙක් විදිහට ඉපදුණා කියලා විතරයි. ඒ ඉපදිච්ච දවසේ ඉඳන් ප්‍රකෘති මිනිස් භාවයන්ට සහ නිදහසට අසීමාන්තික ලෙස සංස්කෘතිය සදාචාරය සහ නීතිය විසින් ඇණ ගසා නිර්මාණය කළ කෘත්‍රීම කුටුම්භයක මම උසින් සිරුරින් සහ රාමුගත දැනුමකින් වැඩුණා කියන එක විතරයි. මම දන්නෙම නැතුව මගේ පරිණාමය තුළම මම මොහොතින් මොහොත මියැදිලා. ඔයාට පුළුවන් නම් ඒ දහසක් ඇණ ගැසීම් තුළ මියැදුන ඔයාව ඔයාට හොයාගන්න ඔයාට ඇත්තටම එදාට ඔබව මුණගැසෙයි. ජීවිතය මුණගැසෙන්නේ අන්න එහෙම දවසකදී විතරයි. එතකම් ඔයාට ඔයාව හමුවෙන්නේ නෑ. 

මිනිස්සු ආදරය බැඳලා තියන්න හදන්නේ සම්මතයෙන් අයිතියෙන් සහ නීතියෙන්. ඒත් සියලු බන්ධනයන්ගෙන් සහ කොන්දේසිවලින් විරහිතව ආදරේ හිතෙන දේකට පෙරළා ආදරය නොඉල්ලමින් ඔයාට ආදරේ කරන්න පුළුවන්නම් ඔයා ආදරය නිසා විඳවන්නේ නෑ. මැරෙන්නේ නෑ. අඬන්නේ නෑ. ඇයි අපි දෙන දෙයක් වෙනුවෙන් යළි දෙයක් ඉල්ලන්නේ. ඇයි අපිට නොඉල්ලා කිසිවක්ම ප්‍රදානය කරන්න බැරි. ඒ අපි අපිටත් නොදැනීම සංස්කෘතිමය සහ නීතිමය බැඳීම් ඇතුළෙ ශිෂ්ටාචාරගත කෘත්‍රීම මනුෂ්‍යයෙක් බවට පත්ව ඇති නිසා. අපි විප්ලව කරන්නේ අපි සීමාවන් බිඳගෙන යන්න හදන්නේ, අපි සම්මතයට පයින් ගහන්න හදන්නේ, අපි ජීවත් වෙන්නේ හිරගෙදරක කියලා අපිට ජීවිතේ කුමක් හෝ සංසිද්ධියක් ළඟදී දැනුණ මොහොතකදී.. පරාර්ථය කියන හැඟීම රේඛාවක් නම් ඒ රේඛාව නිර්මාණය වෙලා තියෙන්නේ ආත්මාර්ථය කියන දාහක් සියුම් රේඛාවන් සමුදායකින්... ඒ සියුම් රේඛාවන් අපේ ආත්මය දැඩිව අල්ලාගෙන ඉන්නවා.. ඉන් නොමිදෙනකම් නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන්දෙන්න හැකි හදවතක් අපිට මේ මිහිමත හමුවෙන එකක් නෑ.

ඒ හමුවීම තෙක් ඔබ ඉටුනොවුණු බලාපොරොත්තුවලට හා හීනවලට ආදරය කරන්න. එය ඔබ නිසැකවම ජීවත් කරවාවි. ජීවිතයේ අන්තිම හුස්ම හිස් අවකාශයට මුහුවෙන තත්ත්පරයේත් ඔබ ඒ සිහින සහ බලාපොරොත්තු අනන්ත සංසාරේ ඊළඟ භවයට රැගෙන යමින් සතුටින් හුස්මක් ගනීවි.

I Sanju