2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

නළුවට මාර ඉවක්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 87

කලා ලෝකයේ පෙම් පළහිලව්, පෙම් සබඳතා බිඳවැටීම්, විවාහ, දික්කසාද, අරයගෙ එක්කෙනා මෙයා එක්ක යාළුවීම් අරුම පුදුම දේවල් නෙවෙයි.
තුන් පාර්ශ්වයක් හැටියට අපි ඕවා දෙස කොහොම බැලුවත්, ඒ සිද්ධීන්වලට අදාළ චරිත ජීවත් වෙන්නෙ, තැන් තැන්වලට යන්නෙ එන්නෙ බොහොම විපරමින්ලු.

කලා ලොවේ සුප්‍රසිද්ධ උත්සවයක් ළඟදි ප්‍රසිද්ධ ශාලාවක පැවැත්වුණාලු. එක්තරා තරුණ රංගන ශිල්පියෙක් එතනට ආවෙ උත්සවේ පටන් ගත්තයින් පස්සෙ. ඇවිත් වාඩිවෙලා තියෙන්නෙ එයාගෙ කලින් පෙම්වතියයි ඇගේ වර්තමාන පෙම්වතයි වාඩිවෙලා හිටිය පේළියේමලු. අඳුරේ අත පත ගගා ඇවිත් වාඩිවුණ නිසා අවට කිසිම දෙයක් පෙනිලා නැහැ.

ඒත් කෙටි විවේක කාලයේදී බලද්දි ඔහු එතනින් කොහොම හරි වාෂ්ප වෙලාලු. එළිය නොතිබුණාට ඔහුට කළුවරේ හොඳ ඉවක් තිබුණා කියලයි ඔහු අසල සිටි අය කිව්වෙ.

 

තරු හලා රට යෑම

පුoචි තිරයේ සංගීත වැඩසටහන්වලට මිනිස්සු බොහොම ප්‍රියයි. එවැනි සිංහල වැඩසටහන්වලට පිටරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් බොහොම කැමති බව රහසක් නොවේ.
ඒ නිසාම පිටරට පදිංචිව සිටින ශ්‍රී ලාංකික පිරිස් එවැනි ජනප්‍රිය වැඩසටහන් ඔවුන් පදිංචිව සිටින රටවල්වලට ගෙන්වා ගන්නට උත්සාහ කරනවා.

විශාල මුදලක් ඒ සඳහා වැය වන නිසා ඒ සුවිශාල බරපැන දරන්නට ඔවුන් ඒ රටවල්වලින් අනුග්‍රාහක භවතුන් වගේම ශ්‍රී ලාංකික සමිති සමාගම් හවුල් කර ගන්නවා.

ජනප්‍රිය තරු සහභාගි වන එවැනි වැඩසටහන්වලට පිටරටවලින් ආරාධනා ලැබුණම එරටට ගෙන්වා ගන්නා කට්ටිය සීමිත වෙනවා. හිතමුකො කණ්ඩායමට ඇතුළත් කළ හැක්කෙ 7 දෙනෙක් කියලා. අර පිටරට කට්ටිය හිතං ඉන්නෙ ඒ 7 දෙනා අතරට ජනප්‍රිය තරු 4ක් වත් ඇතුළත් වෙයි කියලා.

ඒත් මේ ළඟදි එවැනි වැඩසටහනක් රැගෙන බටහිර රටකට ගිය රාජ්‍ය නාලිකාවක 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට එක තරුවක්වත් ගිහින් නැහැ. එක සංගීත ශිල්පියෙක්වත් ගිහින් නැහැ. ගිහින් තියෙන්නෙ නිෂ්පාදක, අධ්‍යක්ෂක, කැමරා ශිල්පීන්, කැමරා සහායකවරුලු.

 

ප්‍රවීණ භාරකාරයා

මේ දිනවල රූගත කරමින් යන අලුත්ම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ප්‍රවීණයෙක්. අලුත් වගේම ප්‍රවීණ නළු නිළියො මේකෙ විවිධ චරිත රඟපානවා. ඒත් ප්‍රධාන චරිතය රඟපාන්නෙ අලුත්ම නිළියක්.

මේකෙ රඟපාන ප්‍රවීණ නළුවෙක් මේ නවක නිළියගේ නිල නොලත් භාරකාරයා වෙලා කියලයි ආරංචිය. මේ ළමයත් දැන් ඉන්නෙ හරිම පීඩනේකින්ලු. මුල්ම රංගනයත් එක්ක පීඩනයට මෙවැනි දෙයක් වුණාම ආයිත් අහන්න දෙයක් නෑනෙ.
මාර ඇණයක් අනේ මේ අංකල්. මම කොල්ලෙක් එක්ක හිනාවුණත් වැරදියි. කතා කළොත් ඔරවනවා. වෙලාවකට මගේ කකුල් දෙක ගැහෙනවා. එයා කලා ලෝකෙ දන්න හඳුනන හොඳම යාළුවෙකුට එහෙම කියලලු.

 

චරිතය පුම්බන්න ජරාවක්

අද මුදල්වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා කියන කතාව නම් සහතික ඇත්ත. මුදල්වලට, බෝතල්වලට, කොටින්ම කියනවනම් ජරාවට තමයි වැඩක් කරගන්න පුළුවන් වෙන්නෙ බොහොමයක් වෙලාවට. ඕක ඉතින් කලාවටත් පොදු ධර්මතාවයක් කියලා තමයි ඒකෙ ඉන්න කට්ටිය කියන්නෙ. අදාළ තැන්වලට නියමාකාරව ජරාව වැටුණොත් මෙගා ටෙලිනාට්‍යවල තම තමන්ගෙ චරිත හොඳට ලියවගන්න පුළුවන් කියලා කවුරුත් දන්නවා.

ඒ වගේම තමයි දීර්ඝ ටෙලි මාලාවලත් ඔය දේම සිද්ධ වෙනවලු. කතාව ලියන හාදයට ජරාවක් දුන්නොත් ඒ කෙනාගෙ චරිතය පුම්බලා ලියවගන්න පුළුවන්ලු. අනේ ඉතිං එහෙම නොකරන අය අද වැඩ නැතුව ගෙවල්වලට වෙලා ඉන්නවැයි කියන්නෙ.

 

Don’t Touch කීයද?

මේ කතාව ළඟදි චිත්‍රපටයකට දර්ශන තල හොයාගෙන ගිය කණ්ඩායමකට සිදුවුණ අකරතැබ්බයක් ගැනයි. උඩරට පැත්තෙ ලස්සන දර්ශන තියෙන පැති හොයාගෙන මේ ගොල්ලන්ට එක්තරා ගමක නැවුම් පළතුරු වර්ග විකුණන කඩයක් හම්බවෙලා.

පළතුරුවිකුණන්නෙ වයසක අම්මා කෙනෙක්. එයා ගාව විකුණන්න තිබුණු පළතුරු අතර හොඳට ඉදුණු උගුරැස්ස ගෙඩිත් තිබුණලු. උගුරැස්ස ගොඩ ළඟම Don’t Touch කියලා බෝඩ් එකක් ගහලා තිබුණලු.
මේ කණ්ඩායමේ හිටිය එක්කෙනෙක් අර අම්මගෙන් ඇහුවලු Don’t Touch කීයද කියලා.
මොකා... එහෙම පළතුරක් නැහැනෙ මෙතන.

ඇයි අම්මෙ මේ තියෙන්නෙ කියලා ඔහු උගුරැස්ස ගෙඩියක් පෙන්නුවලු.
ආනේ මේ උගුරැස්සනෙ පුතේ. අපේ පුතා ඊයෙ මේ බොඩ් ලෑල්ල ගැහුවා හැමෝම ඇවිත් මේවා තලලා පොඩි පට්ටම් කරන නිසා.

► Mithra