2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

මේ මුළු ලෝකෙම මට අනුන්ගේ

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

අපි අද රෑ ගඟ අද්දර තියෙන හෝටලයේ නවතින්න යමු දුල්යානා....
කේන්තියෙන් රතු වෙච්ච මගේ මූණ දිහා බලාගෙන ආදේශ් ආයෙමත් කීවා.මම ආවේ මගේ ප්‍රශ්නවලට උත්තරයක් ඉල්ලගෙන මිසක් ඔයත් එක්ක රැයක් ගෙවන්න බලාගෙන නෙවෙයි. 

කතා කරන්න බැරිවෙච්ච ඉතුරු වෙච්ච හැමදේම අපි අද කතා කරලා ඉවරයක් කරගමු 
කොච්චර කතා කළත් අවසානයේ මට ලැබෙන්නේ උත්තරයක් නැති ප්‍රශ්නයක් විතරයි.. ඉතින් අපි මොකටද කතා කරලා... මට ඔයත් එක්ක කිසිදෙයක් විඳින්න තරම් මානසිකත්වයක් නෑ.. අනිත් එක...
ඇයි ඔයා අනිත් එක කියලා නැවැත්තුවේ 

ඔයා මගේ අතීතයට මිසක් වර්තමානයටවත් අනාගතයටවත් අයිති කෙනෙක් නෙවෙයි නේද ආදේශ්..
ඔයාට ඔය තරම් නපුරු වෙන්න බෑ දුල්යානා..... මට ඔයාගේ වර්තමානයවත් අනාගතයවත් අයිති නැති වුණාට මට ඔයාගේ අතීතය අයිතියි.. ඔයාට ඒ හින්දා මාව මේ විදිහට ඔයාගේ ජීවිතෙන් එලවගන්න අයිතියක් නෑ. 
මිනිස්සු මෙච්චරම ආත්මාර්ථකාමීයි කියලා මම ඉගෙන ගත්තේ ඔයාගෙන් නෙවෙයි... ඒත් මම අනිත් මිනිස්සුන්ගෙන් ඉගෙන ගත්ත එක ඔයා මට තවදුරටත් ඇත්තක් කියලා ඔප්පු කරලා පෙන්නනවා. 
ඇයි දුල්යානා මෙච්චර කාලයකට පස්සෙ හම්බවෙලත් ඔයා මාත් එක්ක රණ්ඩු වෙන්නෙ 

මම වෙන මොනවා කරන්නද? මම කීවේ ඇත්තටම අසරණ ස්වභාවයකින්.. නාඳුනන වේදනාවක් මගේ හදවත පාරවමින් තිබුණා.... මම වීදුරුවේ ඉතිරි වී තිබූ අන්තිම බියර් ටිකත් කටේ හලාගත්තා. 
අද රෑට අපි ඔරේන්ජ් ජූස් එක්ක වොඩ්කා බොමු... ඔයා ආසා හැමදේම මම ඔයාට කන්න බොන්න අරන් දෙන්නම්. 
ආදේශ් මම ගණිකාවක් නෙවෙයි.. මම හදවතක් තියෙන ගෑනියෙක්.. කවදාවත් කවුරුත් ඒක තේරුම් ගත්තෙ නෑ. 
තේරුම් ගත්ත නිසා නෙවෙයි ද හුඟ කාලයකට පස්සෙත් ඔයා කතා කරද්දි මම ආවේ?
ඒත් මේ කිසිම දෙයක තේරුමක් නෑ ආදේශ්.. හැමදාමත් සිද්ධ වුණේ එකම දේ.. අපි හමුවෙවී වෙන්වුණ එක විතරයි. 
ඒත් අපි හැමදේම වින්දා...

වින්දා නෙවෙයි ආදේශ් විඳෙව්වා...
අදට විතරක් අපි යමු... මම ආදේශ් දිහා තව මොහොතක් බලාගෙන හිටියා...
බෑ මට දැන් යන්න ඕනෑ මම ඉන්න තැනට...
මම මොහොතකින් හැරී මහා පාරට දුවගෙන ආවේ වික්ෂිප්ත හැඟීමෙන්. ඒත් එක්කම ආව ටැක්සිය මම මොහොතකින් නවත්වා ගත්තා. මම ටැක්සියට ගොඩවුණේ ජානා නැවතී සිටි නවාතැනට යන්න හිතාගෙන. වේගයෙන් ඇදී යන වාහන දිහා මම බලාගෙන හිටියේ අරමුණකින් තොරව. විදුලි එළි දැල්වෙන පාර දිගේ තිබුණු නානාවිධ කඩ සාප්පු තුළ නොයෙක් ආකාරයේ අරුමෝසම් බඩු ප්‍රදර්ශනය වෙමින් තිබුණා. මට අපේ අතීතය මතක් වුණා. ආදේශ්ගේ අතේ එල්ලීගෙන අපි වෙන රටවල්වල වීදි දිගේ ඇවිදගෙන ගිය හැටි මට මතක් වුණා. ඒ මතක ඔස්සෙ අනාගතයේ මට තනිකමක් දැනෙන ඕනෑම මොහොතක ඇවිදගෙන යන්න තරම් ආදරණීය බවක් වරෙක මගේ හිතට දැනෙමින් තිබුණා. වරින් වර මම වේගයෙන් හුස්මක් ගත්තත් මගේ හිත මොහොතකටවත් සැහැල්ලු වුණේ නෑ. මම ජානාගේ ගේ ළඟින් බැහැගනිද්දි වේලාව රාත්‍රී නවයටත් කිට්ටු වී තිබුණා.
අදත් කොහෙද ගියේ? පල්ලියටද?

නෑ..
එහෙනම් 
මම ගියා ආදේශ් හමුවෙන්න 
මොකටද?
මම කොහේ හරි යන්න ඕන ජානා.. මට බෑ හැමදාම මෙහෙම අනුන්ගේ තැන්වල වැටිලා ඉන්න 
එතකොට මම අනුන්ගේ 
මේ මුළු ලෝකෙම මට අනුන්ගේ ජානා 
උඹට නම් ඇත්තටම පිස්සු දුල්යානා... යන්න ගිහින් නාලා එන්න අපි හැම දුකක්ම අමතක වෙන්න වයින් බොමු. 
ඒ වුවමනාව මටත් දැනෙමින් තිබූ නිසා මම නැඟිට්ටා. 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00