මට මතක් වුණා මම පුංචි කාලෙ සමනල්ලු මරපු හැටි. අටපෙතියා යායට මල්පැණි බොන්න ආව සමනල්ලු ළඟට හෙමි හෙමින් කිට්ටුවෙලා මම උන්ව තටු දෙකින් අල්ලා ගන්නවා. මට මතකයි තනි සුදුපාට, කහපාට, ළා නිල්පාට සමනල්ලු රෑන් පිටින් ඒ අටපෙතියා යායට ආවා මල්පැණි බොන්න. වැඩියෙන්ම මගේ හිත ගියේ කහපාට සමනලුන්ට. මම උන්ව අල්ලලා උන්ගෙ බඩ මැදින් කඩලා වැගිරෙන කහපාට දියරය දිහා බලන් ඉද්දී සමනලයා මැරිලා. එදා මම පවක් පිනක් සහ අයිතියක් කියලා දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ. ඒත් අද මම පව පින අයිතිය ගැන දන්නවා. පව පින කියන දේ මම විශ්වාස කරන්නේ මගේ හෘද සාක්ෂියත් එක්ක. මගේ හෘද සාක්ෂියට එකඟ දේ පින. මගේ හෘද සාක්ෂියට එකඟ නොවන දෙය පව. ඒ තමා පව සහ පින ගැන මගේ අර්ථකථනය. අයිතිය කියන දේ මට හිතෙන්නේ ඊටත් වඩා මානවවාදී දෙයක්. අයිතිය මිනිස්සු උප්පත්තියත් එක්කම අරගෙන එන දෙයක්. නමුත් ශිෂ්ටාචාර ගත ලෝකය තුළ මිනිස් වර්ගයා අනිවාර්යෙන්ම යටත් විය යුතුයි කියලා හිතන සදාචාරය සම්මතය නීතිය රීතිය වැනි සංකල්ප විසින් බලහත්කාරයෙන් නොසලකා හරින ලද සංකල්පයක් විදිහට තමා මම අයිතිය කියන දේ දකින්නේ.
මම පුංචි සමනල්ලුන්ගෙන් උදුරාගත්තේ උන්ගේ ජීවිතය හා ප්‍රාණය පමණක් නෙවෙයි. උන්ගේ හීන. උන්ගෙ බලාපොරොත්තු සහ අයිතිය. ඒ කඩා දාපු සමනල තටු ගැන ඇත්තටම අද මට මහ දුකක් දැනෙනවා. ඒත් ඒ දුක අතීතයට මිසක් අද දවසට වලංගු නෑ. මට හිතෙනවා අපිට ජීවිතේ හරි දේ උගන්නන්නේ වැරදීම් විසින් කියලා. අතපසුවීම් මඟහැරීම් අපිව ජීවිතය උදෙසා කැටුව යන බව මට හැඟෙනවා. අපි ජීවිතය ඉගෙන ගන්නේ ජීවිතයෙන්මයි. පෙළ පොතේ අකුරු විශ්වවිද්‍යාල උපාධි අපිට ලෝකය ගැන මිසක් ජීවිතය ගැන උගන්නන්නෙ නෑ. හැබැයි අපිට ජීවිතය කියලා දෙන පෙළ පොත් නොවන පොත් සදාකාලික ප්‍රේමණීය මිතුරෙක් කරගන්න පුළුවන්නම් අපිට ජීවිතයේ අහුමුලු නෑර ඇවිදින්න ඒක අපිට ලොකු උදව්වක් වේවි.
මම කියවන්න ගත්තා පර්ල් එස්. බක් කියන චීන ලේඛිකාව සහ ඇගේ මිතුරිය ගැන ලියවුණු චීන මුතු ඇටය (PEARL OF CHINA) පොත. ඒ පොත ලියලා තියෙන්නේ ANLHEE MIN. පර්ල් ගේ මිතුරිය විලෝ මුලින්ම පර්ල්ට පේන්නේ කරදරකාර හෙරක් විදිහට. ඇත්තෙන්ම ඇය පුංචි හෙරක්. කන්න දෙයක් නැතිකමට, බඩගින්න කියන යක්ෂයාට පරදිනකොට, කාත් කවුරුත් නැති ජීවිතේ දිහා දෙවියොත් අහක බලනකොට ඇය ඇගේ හදවතේ ජීවත් වූ දෙවියන් මරා දමා යක්ෂයාට රජ වෙන්න ඉඩ හරිනවා. හුඟක් සංවේදීව සහ ගැඹුරින් විලෝගේ ජීවිතය දිහා බලද්දී ඇය එහෙම කළේ ඇගේ අසරණකමට මිස සාහසිකත්වයට නෙවෙයි කියන එක තේරුම් ගන්න පුළුවන්. අවසානයේ පර්ල් විලෝගේ ජීවිතය කියන ගංඟාවට ගලා බසින්න ඉවුරක් වෙනවා මිත්‍රත්වයේ නාමයෙන්. ඇය විලෝව මනුෂ්‍යත්වයේ පොදු න්‍යායන් නොව විරල න්‍යායන් උපයෝගී කරගෙන කියවන්න හදනවා.
ඔබටත් පර්ල් කෙනෙක් වෙන්න පුළුවන්නම්... ඒ පොත කියවද්දී මට එහෙම හිතෙනවා. හුදෙකලාවට කොච්චර ආදරය කළත් අපි ජීවිත අධ්‍යාත්මයෙන් ප්‍රේම කරන්නේ බැඳීම්වලට. අපි වරෙක හුදෙකලාවට පෙම් කරන්නේ අපේ අසරණකමට. කාත් කවුරුත් නැතිකමට. ජීවිතය කියන පුෂ්පයට පාට දෙන්න අපි ඉල්ලන්නේ බැඳීම් කියන පැහැසර සිහින. ජීවිතය කියන පුෂ්පයට සුගන්ධය මුසුකරන්න අපි ඉල්ලන්නේ බලාපොරොත්තුවක සුවඳ. ජීවිතය කියන පුෂ්පය සංසාරය කියන නටුවෙන් කැඩී වෙන්වෙන මොහොත දක්වාම අපි ආත්මීය ස්නේහයකින් ඉල්ලා හිඳින්නේ බැඳීම් සහ ප්‍රේමය.... හුදෙකලාව කියන්නේ ආදරය කියන රසවත් භෝජනයේ රස අතරතුර අපි ඉල්ලා හිඳින එක වයින් වීදුරුවක් විතරයි...
I Sanju