සංගීත ප්‍රසංගවලට ගියාම හරි හරි වැඩ වෙනවනෙ. ඒවා ඉතින් දන්නෙ සංගීත කණ්ඩායම්වල ඉන්න අය තමයි. ඒ නිසාම අපිට හිතුණා සංගීත කණ්ඩායම්වල ඉන්න සාමාජිකයන් එක්ක ඒ ගැන කතා කරන්න. Flash back කිව්වම කවුද නොදන්නෙ. Flash back කිව්වොත් ඉතින් රොෂාන්ව අපිට අමතක කරන්න බැහැනෙ. බලමු... රොෂාන්ටත් ඒ වගේ හරි අපූරු දේවල් වෙලා තියෙනවා.
මේ සිදුවීම වුණේ අනුරාධපුර පළාතෙ... බලමු කිංස්ලිට අලි පෙන්නන්න රොෂාන් කරපු දේ.
අපි අනුරාධපුරේ ෂෝ එකක් කළා. ඊට පහුවදා අපිට තව ෂෝ එකක් පොළොන්නරැවේ කරන්න තිබුණා. ඉතින් අපි අනුරාධපුරේ ෂෝ එක ඉවරවෙලා පාන්දර ඒ ළඟ තිබුණු හොටෙල් එකක නතර වුණා. ඉතින් කොහොමහරි එක මනුස්සයෙක් දැනගෙන තිබුණා අපි නතරවෙලා ඉන්නෙ මේ හොටෙල් එකේ කියලා. පාන්දර පහට විතර මගේ කාමරේට ඇවිත් මේ මනුස්සයා බෙල් කළා. මාත් ඉතින් නිදිමතේ ගිහින් දොර ඇරියා. උස මහත මනුස්සයෙක් සැක්සෆෝනයකුත් කරේ එල්ලගෙන දොර ළඟ හිටගෙන ඉන්නවා.
රොෂාන් මහත්තයා... මට මේ සැක්සෆෝනය වාදන හැකියාවකුත් තියෙනවා. ඔයාට පුළුවන්ද මම මේක වාදනය කළොත් අහගෙන ඉන්න... කියලා මේ මනුස්සයා මගෙන් ඇහුවා.
මේ පාන්දර..? ඔයාට බැරිද දවල් වෙලා එන්න..
නෑ... එහෙම වුණොත් රොෂාන් මහත්තයලා යාවිනෙ... කියලා කිව්වා.
ඉතින් ඒ මනුස්සයගේ හිත රිද්දවන්නත් හොඳ නැහැනෙ. ඒ නිසා මම කාමරයට අඬගහගෙන සැක්සෆෝනය වාදනය කරන්න කිව්වා. හැබැයි මේ මනුස්සයට සැක්සෆෝනය ගහන්න බෑ. හරියට හක්ගෙඩිය පිඹිනවා වගෙයි. ඒ නිසා මට හරි අමාරුයි අහගෙන ඉන්න. ඒත්... හරි නෑ කියලා යන්න කියන්නත් බැහැනෙ. මට එකපාරටම මතක් වුණේ කිංස්ලිව. එයා තව දෙන්නෙක් එක්ක හිටියෙ මට එහා පැත්තෙ කාමරේ.
ඕක පොඩ්ඩක් නවත්තන්න... මට වඩා සැක්සෆෝන් මියුසික්වලට ආසා කෙනා තමයි කිංස්ලි. ඔයා එයාගෙ කාමරේට ගිහින් පොඩ්ඩක් ගහන්න... කියලා මම කිව්වා.
කිංස්ලි මහත්තයා නිදිනෙ...
නෑ... නෑ.. ඔය නිදි වගේ හිටියට මේ වෙලාවට ඇහැරිලා ඉන්නෙ. දැන් ඔයා මම නිදාගෙන ඉඳිද්දිත් මාව ඇහැරෙව්වනෙ. එන්නකො යන්න.. කියලා මම හෙමිහිට කිංස්ලිගේ කාමරේට එක්කගෙන ගිහින් පුටුවක් කිංස්ලිගේ ඇඳ ළඟ තියලා හෙමිහිට අර මනුස්සයව වාඩිකරවලා සැක්සෆෝනය වාදනය කරන්න කිව්වා.
ඔන්න එකපාරටම අර මනුස්සයා සැක්සෆෝනය ගැහුවා විතරයි... එකපාරටම කිංස්ලි ඇඳට හයියෙන් ගහලා...
ඔන්න යකෝ... අලි කෑගහනවෝ...කියලා එකපාරටම නැඟිට්ටා. නැඟිටලා බලද්දි අර මනුස්සයව දැක්කා. අපිට හිනා...
තමුසෙට පිස්සුද මල්ලි... මේ පාන්දර ඕක ගහන්නෙ.. කියලා ඇහුවා.
රොෂාන් මහත්තයා කිව්වනෙ කිංස්ලි මහත්තයා සැක්සෆෝනයට කැමතියි කියලා
ආසයි තමයි... ඒ වුණාට අලි කෑගහනවට බයයිනෙ මල්ලි... කියලා කිංස්ලි ආයෙ ඇඳට පැනලා නිදාගත්තා.
අනුරාධපුරේ ඉඳන් අපි රොෂාන්ලා එක්ක ඉතාලියට යමුද..? මොකද මේ සිදුවීම වෙලා තියෙන්නෙ ඉතාලියෙ. ඉතින් වීසා නැතත් පොඩි වෙලාවකට හරි අපිට රොෂාන්ලා එක්ක ඉතාලියට යන්න වෙනවා.
අපි ඉතාලියේ ෂෝ එකක් කරලා ප්‍රංශයට යන්න එයාර්පෝට් එකේ හිටියා. ඉතාලියේ එයාර්පෝට් එකේ අපි කට්ටියම දැන් වාඩිවෙලා ඉන්නවා. එකපාරටම අපි දැක්කා ලංකාවේ කොල්ලො දෙන්නෙක්. එයාර්පෝට් එකේ අපි ළඟින් එහාට ගියා.. අපි දිහා ඈතට වෙලා බලාගෙන හිටියා. ආයෙ මෙහාට ආවා... යන ගමන් අපි දිහා හොඳට බලාගෙන ගියා. ආයෙ ඈතට වෙලා බලාගෙන හිටියා. ඒ ඉඳලා එකපාරටම අපි ළඟට දුවගෙන ආවා... එතන හිටපු එක කොල්ලෙක් අපේ Flash back කණ්ඩායමේ හොඳ රසිකයෙක්.
අනේ... රොෂාන් අයියා... ඔයා නම් දෙයියෙක්... කියලා මාවයි අපේ බෑන්ඩ් එකේ කොල්ලො ටිකවයි ඉඹිනවා. අතට අත දෙනවා. ෆොටෝ ගහනවා. පුදුම සතුටුයි. එයාර්පෝට් එකේ හිටපු සුද්දො හැමෝම දන්නෙ නැහැනෙ අපි කවුද කියලා. ඉතින් උනුත් බලලා හිනාවෙනවා. දන්න දේකුත් නැහැ.
අනේ අයියෙ හිතාගන්න බෑ... මෙතන දැකපු එක... මට නම් පිස්සු වගේ. මම අනිවාර්යෙන්ම අයියව හම්බවෙන්න හිටියෙ... දැන් මට අයියව හම්බවුණා... කිය කියා මූ මාර හැපි...
අනේ... රොෂාන් අයියා... මගේ උපන් දිනේ තියෙනවා. ඒකට අනිවාර්යෙන්ම ඔයාලා එන්නම ඕනෙ... කීය ගියත් කමක් නෑ... මම මගේ උපන් දිනේට ඔයාලව ගෙන්වනවා. කියලා මේගොල්ලො කියනවා.
හරි... හරි.. අපි එන්නම්... කවදද මල්ලි බර්ත් ඩේ එක... මම ඇහුවා.
නෑ... නෑ... තාම හරියට දිනයක් නෑ... මම ආවම කියන්නම්... මූ එකපාරටම කිව්වා. අපිට පුදුමයි. අපි මූණට මූණ බලාගත්තා.
මූ... හොල්මනක්ද..?* කණ්ඩායමේ එකෙක් කියද්දි තමයි අපිට එකපාරටම හිනා ගියේ...
( තවත් කතාවක් ඊළඟ ඉරිදට...)
► Text – Dishani / Pic - Internet