ගිනස් වාර්තා සඳහා උරුමකම් කියන්නේ මිනිසුන් පමණක් යැයි ඔබ සිතා සිටියා නම් එය වැරදිය. මිනිසුන්ට සේම සුරතල් සතුන්ට පවා ගිනස් වාර්තාවලට හිමිකම් කීමේ අයිතියක් ඇත. ඒ අනුව එසේ ගිනස් වාර්තාවකට හිමිකම් කියන බලු සුරතලෙකු අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු ඩැකෝටා ප්රාන්තයෙන් බිහිව තිබේ. ඒ ලොව දිගම දිව ඇති සුනඛයා ලෙසිනි.
මෝචි නම් මේ බලු සුරතලා සෙන්ට් බෙනඩික් වර්ගයේ සුනඛයෙකි. වයස අවුරුදු අටහමාරක් වන මෝචිගේ දිව අඟල් 7.3ක් දිගය. පසුගියදා ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් ලොව දිගින් වැඩිම දිව සහිත සුනඛයා ‘මෝචි’ ලෙසට නම් කරන්නට යෙදුණි.
ගැහැනු සත්ත්වයෙකු වන මෝචි අපූරු දඟකාරකම්වලින් පිරුණු සුරතලෙකි. තම දිගු දිව නිතරම මුඛයෙන් එළියට වැටෙන සේ එල්ලා සිටින ඈ වරින්වර තම මුහුණ සම්පූර්ණයෙන්ම දිවෙන් පිස දමන්නීය. මෝචිගේ ප්රියතම ආහාරයද තරමක් වෙනස් දෙයකි. එනම් පීනට් බටර්ය. පීනට් බටර් ලොකු බඳුනක් පවා මිනිත්තු කිහිපයකින් ඉවර කිරීමේ හැකියාව ඇති මෝචි තරමක් කෑදරයෙකු වුණත් තම පවුලට ඉතාමත් ළැදිව කටයුතු කරන බව ඇගේ හිමිකාරිණිය වන කාර්ලා පවසන්නීය.
“අපිට මෝචිව ලැබුණෙ අත්හැර දමා යන බල්ලන් මුදවා ගන්නා ඒජන්සියකිනුයි. ඒ මීට අවුරුදු හයකට විතර කලින්. අපිට හම්බවෙද්දි මෝචිට වයස අවුරුදු දෙකයි. එදා ඉඳන් මෝචි අපිත් එක්ක අපිව බලාගෙන බොහොම කීකරුව ඉන්නවා” කාර්ලා කියන්නීය.
තවත් කෙනෙකු විසින් අත්හැර දමා තිබියදී තමාගේ සෙවණට ගෙන්වාගත් මෝචි ගිනස් පොතට එක්වීම ගැන කාර්ලා ඉන්නේ පුදුම තරමේ සතුටකිනි.
“මෝචිගෙ පින්තූරෙ ගිනස් වාර්තා පොතේ දකිද්දි ඇතිවෙන සන්තෝසෙ කියලා නිම කරන්න බැහැ. එයා හරිම හොඳ කීකරු සුනඛයෙක්. අද එයා මුළු ලෝකෙම ප්රසිද්ධ වෙලා”.
මෝචි හැසිරෙන්නේ තමා කාර්ලාගේ පවුලේ ස්ථීර සාමාජිකයෙකු ලෙසින්මය. මෝචි විවිධ විසුළු ඇඳුම්වලින් සැරසීමටත්, ඡායාරූපවලට පෙනී සිටීමටත් බොහෝ කැමතිය. කාර්ලාගේ පවුලේ අය සමඟ සුරතල් වීමද මෝචිගේ ප්රියතම විනෝදාංශයකි. කොහොම නමුත් මෝචිගේ දිගු දිව ඇයට හුස්ම ගැනීමට තරමක අපහසුවක්ද නිර්මාණය කර තිබෙන බව කාර්ලා පවසන්නීය.
දැනට ජීවත්වන සුනඛයින් අතුරින් දිගම දිව මෝචිට හිමිව තිබුණද මෝචිට වඩා දිගු දිවක් හිමි සුනඛයෙකුද මින් පෙර ජීවත්ව හිඳ තිබේ. බ්රැන්ඩි නම් බොක්සර් වර්ගයේ එම සුනඛයාගේ දිවේ දිග අඩි එකයි අඟල් පහක් විය. අමෙරිකා එක්සත් ජනපදයේම මිචිගන් ප්රාන්තයේ විසූ බ්රැන්ඩි 2002 වසර දක්වා ලොව දිගම දිව හිමි සුනඛයාගේ වාර්තාව ඉසිලීය.
► Text - Rajitha