ඔබේ පුතා පහුගිය කාලේ සංගීත ක්ෂේත්‍රයේ අලුත් අලුත් වැඩ පෙන්නපු තරුණයෙක්. පුතා ගැන ආඩම්බරද..?
අනිවාර්යයෙන්ම මම ගොඩාක් ආඩම්බර වෙනවා. හැමෝම එක විදිහේ දේවල් කළ යුතු වෙන්නෙ නැහැ. විවිධත්වයක් තියෙන්න ඕනනෙ. මේක එන්ටර්ටේන්ට්මන්ට් එකක්. විනෝදාස්වාදය ලබාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් විනෝදාස්වාදය ලබාගන්න හැමදේකම විවිධත්වයක් තියෙන්න ඕනෙ. විශේෂයෙන් අපේ රටේ මේ කාලේ වැඩිපුරම ඉන්නෙ ප්‍රශ්න වලින් දැවෙන මිනිස්සු. ඉතින් එවැනි මිනිස්සුන්ට විනෝදාස්වාදය කියන දේ අත්‍යවශ්‍යයි. අද සියදිවි හානිකර ගැනීම් අතර පස්වැනි ස්ථානයට ඉන්නෙ ශ්‍රී ලංකාවයි.
ඉරාජ් යමක් දිහා අමුතු ඇසකින් බලන තරුණයෙක්. හැබැයි ඔහුගේ නිර්මාණාත්මක පැත්තට යොමුවෙලා තිබුණ ඇහැ අද යොමුවෙලා තියෙන්නෙ මුදල්වලට විතරයි කියලා සමහරු කියනවා...?
ඉරාජ් නිර්මාණය කරන්නෙ ඉරාජ්ගෙ වෘත්තිය. කවුරු හරි කෙනෙක් කියනවානම් තමන් නිර්මාණයක් කළානම් මුදල් හම්බකිරීමේ පදනමක් නැතිව කියලා මම ඒ ගැන පුදුම වෙනවා. තමන්ට ජීවත් වෙන්න වෘත්තියක් කරගත්ත නිර්මාණශීලී කලාකරුවෝ හැම කෙනෙක්ම වගේ ඒ දේවල් කළේ ජීවත් වෙන්නයි. තමන්ට ජීවත් වෙන්න සල්ලි ඕනෙ. කාගෙවත් විදුලි බිලක්, වතුර බිලක්, එදිනෙදා බිල් හැම දෙයක්ම ආණ්ඩුවෙන් ගෙවන්නෙ නෑ. ඒ දේවල් තමන් හොයාගන්න ඕනෙ.
ඒත්... ඒ මුදල් හම්බ කිරීම හිතට එකඟව කළ යුතු වෙනවා නේද..?
ඔව්... ඒක ඇත්ත. වික්ටර් අයියව (වික්ටර් රත්නායක) මම අඳුරගත්තෙ මට අවුරුදු දාහතර වගේ කාලේ ඉදන්. නිතරම මගේ ගෙදරට යන එන කෙනෙක් තමයි ඔහු. මට අවුරුදු දාහතරේදි විතර වේදිකා නාට්‍යයකට හොඳට සින්දු කියන්න පුළුවන් අපි අඳුරන ගෑනු ළමයෙක් හිටියා. එයාට මුදල් තිබුණෙ නෑ මේ ක්ෂේත්‍රයෙන් ජනප්‍රිය වෙන්න. එතනදී මගේ අම්මා වියදම් කරලා ආචාර්ය වික්ටර් රත්නායකයන්ට කියලා ගීතයකට සංගීතය සපයලා ගීතයක් රෙකෝඩ් කළා. එතන ඉඳන් තමයි මම වික්ටර් අයියව අඳුරන්නෙ.
වික්ටර් රත්නායකයන් ඔබ දකින්නෙ කොයි විදිහටද..?
ඔහු ඉතා හොඳ කෙනෙක්. නිහතමානී කෙනෙක්. ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් වික්ටර් අයියා ගැන වැරැද්දක් කියන්නෙ නෑ. මෑතකදි ඔහු නිර්මාණය කරපු මගේ සඳ ඇවිත් කියන සින්දුව හරි සුන්දරයි. ප්‍රේමාන්විතයි. ඒක You tube trending එකේ හතරවැනි ස්ථානයට ඇවිත් තියෙනවා. සමහරු කියනවා ඒක වික්ටර් අයියගේ අලුත් බිරියට කියපු සින්දුවක් කියලා. ඉතින් ඒකෙ වැරැද්දක් නැහැ. You tube එකේ ඒක හතරවැනි ස්ථානයට එන්න වික්ටර් අයියගේ සින්දු අහන්නෙ නැති අයත් මේ සින්දුව අහනවා. ඉතින් එතනත් මාකර්ටින් වෙලා තියෙනවනෙ. මම පෞද්ගලිකව වික්ටර් අයියගේ සින්දුවලට ගොඩාක් ආසයි. ඒක වික්ටර් අයියත් දන්නවා. මම වික්ටර් අයියගේ 'ස' ප්‍රසංගය සිය පාරටත් වඩා නරඹලා තියෙනවා. ඉතින් මේකෙදි වික්ටර් අයියට මොකක් හරි අපහසුතාවයක් ඇතිවුණානම් මම වික්ටර් අයියට සමාවෙන්න කියලා කියනවා. නමුත් මම හිතන්නෙ නෑ, එතුමාට අපහසුතාවයක් ඇතිවුණාය කියලා. වික්ටර් අයියගේ හැම පදමාලාවක්ම මට මතකයි. ඒවා අපේ දිව'ග තියෙනවා. නමුත් අද පරපුරේ ගායකයන්ගේ පදමාලා මතකත් නෑ. මම ඒවා අහන්නෙත් නෑ.
ඔබ වික්ටර් රත්නායකයන් මතක් කරපු එකේ අපි කෙළින්ම ඒ ගැන කතා කරමු... පහුගිය දවස්වල ඉරාජ් කරපු දැනුණා කියන ගීතයේ මියුසික් වීඩියෝවෙන් හෙළිදරව් වෙන්නෙ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන්ගේ දෙවැනි කසාදේ විස්තරේ නේද..?
මම ඔය ගැන ඉරාජ්ගෙන් ඇහුවා. මොකද මේක ආන්දෝලනයක් යනවනෙ. එයා කියන්නෙ නැහැ කියලා. ඒ විතරක් නෙමේ, මේක නිසා විල්සන් කරුණාරත්න, පියුමි හංසමාලිටත් බොහෝ දෙනා ඇඟිල්ල දික් කරනවා. හැබැයි ඒක වැරදියි. ඒ දෙන්නා රංගන ශිල්පී ශිල්පිනියන් විතරයි. ඒ අයට දෝෂාරෝපණය කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ අය කරන්නෙ වෘත්තියක් විතරයි. ඒ දෙන්නා ඉතා හොඳට රංගනය කරලා තියෙනවා. බණිනවානම් මිනිස්සු බණින්න ඕනෙ, මේක අධ්‍යක්ෂණය කරපු කෙනාට සහ නිෂ්පාදනය කරපු කෙනාටයි. ඉතින් මම ඉරාජ්ගෙන් මේ ගැන අහද්දි ඔහු කිව්වෙ එහෙම නැහැ කියලයි.
තමන්ගේ බිරිය මියගියාට පස්සෙ තවත් කාන්තාවක් විවාහ කරගැනීම, ඒක පෞද්ගලික කාරණාවක්. ඇයි ඒ වගේ කාරණාවක් මේ විදිහට මඩක් ගහන්න යොදාගත්තේ. හරිද මේ වැෙඩ්..?
මගෙත් තර්කය මේකයි. මේ තියන සිදුවීම බලන්නකො. අවුරුදු හැත්තෑවක කෙනෙක් ළාබාල කෙනෙක් එක්ක විවාහ වීමේදී විවාහ වුණු ලංකාවේ එකම කෙනා වික්ටර් රත්නායක විතරද.. නැහැ. ඕන තරම් ඉන්නවා. මේක වැඩේ කියන්නෙ ජනප්‍රියතාවය තියෙන කෙනෙක් පොඩි දෙයක් ඇතිනෙ ප්‍රසිද්ධියට යන්න. අනික මේක ගොඩාක්ම හුවාදැක්වූයේ මේ රටේ මාධ්‍යයයි. මාධ්‍යයට කතා කළේ කවුද.. එතුමාගේ පුතාලමයි. නැත්නම් අපිවත් ඔය ගැන දැනගෙන හිටියේ නෑ. ඔය සිදුවීම ආරංචි වෙච්ච ගමන් මගෙනුත් බොහෝ දෙනා කෝල් කරලා ඇහුවා ඇත්තද මේ වික්ටර් රත්නායක විවාහ වෙලා කියන්නේ කියලා. මම කිව්වා මමවත් දන්නෙ නැහැ කියලා. ඉතින් ඒක ඇත්ත කියලා දැනගත්තම මම ගොඩක් සන්තෝස වුණා. ඇත්තම කියනවානම් වික්ටර් අයියා කරපු වැඩේ කිසිම වැරැද්දක් නැහැ. හැබැයි සමහර ජනමාධ්‍යයන් තුළින් වික්ටර් අයියට සෑහෙන මඩ ගැහුවා. ඒ විතරක් නෙවේ එක්තරා වෙබ් අඩවියක දාලා තිබුණු එක්තරා දේකින් මට ටිකක් තරහා ගියා. ඒකේ දාලා තිබුණා වඩා හොඳ නිර්මාණකරුවා වික්ටර් රත්නායකද? ඉරාජ් වීරරත්නද කියලා. ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ධර්මදාස වල්පොල වගේ මහත්වරුන් මේ නව පරපුරේ අය එක්ක සමාන කරන්න බෑ. අර අය පරතෙරටම ගිය අය. ඉරාජ් වීරරත්න කියන්නේ නව පරපුරේ ගායකයෙක්. ඔහු ජාත්‍යන්තරයට ගිය බව පිළිගන්න ඕනේ. හැබැයි අර ප්‍රවීණයන්ට සමාන කරන්න බෑ. හැබැයි ඉරාජ්ගේ වීඩීයෝවක් මිලියනයක් පමණ ගණනක් බලන්නේ ඇයි? ඒක යන්නේ You tube හරහායි. ගූගල්වලට ගිහින් ඩේටා කපාගෙන ඇයි මෙහෙම බලන්නේ. ඒ බල බලා ඉරාජ්ට බණිනවා. ඉතින් කවුරුහරි ඉරාජ්ගේ වීඩීයෝවලට කැමති නැත්නම් බලන්න එපා.
ඔය මියුසික් වීඩීයෝවේ වික්ටර් වගේ රඟපාන විල්සන් කරුණාරත්න කියනවා මේ වීඩීයෝවේ හිටියට පස්සේ ඔහුට බැණුම් අහලා ඇතිවෙලා කියලා. සමහර වියපත් ධනවත් උදවිය ඔය වගේ තරුණියොත් එක්ක පයුරු පාසානම් පවත්වන එක අරුමයක් නෙවෙයි නේද?
කරූ අයියා (විල්සන් කරුණාරත්න) මම ගොඩක් ආදරය කරන කෙනෙක්. මගේ හැම ෆිල්ම් එකකම කරූ අයියා හිටියා. මේ ළඟදි කරපු ටෙලිඩ්‍රාමා එකෙත් ඉදිරියේදී කරන හැම නිර්මාණයකමත් කරූ අයියා ඉන්නවා. මම බොහෝම ඉක්මනින් ආයේ ෆිල්ම් කරනවා. දැනටමත් තිරරචනා කීපයක්ම ලියාගෙන යනවා. ඒ හැම නිර්මාණයකම වගේ කරූ අයියා ඉන්නවා. කරූ අයියා කියන්නේ මට අමතක කරන්න බැරි පුද්ගලයෙක්. මියුසික් වීඩීයෝවට යද්දී කරූ අයියයි මායි කතා කළේ නෑ. කරූ අයියගේ ටෙලිෆෝන් නම්බර් එක මගෙන් ඉල්ලුවේ ඉරාජ්ගේ ස්ටුඩියෝවේ ප්‍රියංග. ඉතින් එතනදි මම නම්බර් එක දීපු එක විතරයි වුණේ. මේ වීඩීයෝ එක කරලා ඉවර වුණාට පස්සේ මේකට ප්‍රතිචාර එන්න පටන් ගත්තට පස්සේ කරූ අයියා කතා කළා. ප්‍රීති හරි වැඩේ. ගොඩක් අය මට බණිනවානේ කියලා කිව්වා. ඊයේ මාව හම්බ වෙන්න කරූ අයියා ආවා. කරූ අයියට ෆිල්ම් එකේ අයත් බණිනවා කියලා මට කිව්වා. ඉතින් මම කියන්නෙ මේක කරූ අයියට බැණලා වැඩක් නෑ. ඔහු ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්.
ඕකේ රඟපාපු පියුමි හංසමාලිට කොරියාවේ ප්‍රසංගයකදී කෙසෙල් ගෙඩි ප්‍රහාරයක් එල්ල වුණා නේද?
ඒකනේ... කොච්චර නරකද? මේකට කරු අයියවත් පියුමි හංසමාලිටවත් බැණලා වැඩක් නෑ. ඔහු කළේ රංගනයක් විතරයි. රංගන ශිල්පිනියකට ශිල්පියෙක්ට එහෙම කරන එක හරි වැරදියි. එහෙම කරනවානම් මම එක දෙයක් කියන්නද... විජය කුමාරණතුංග මරු සිරාගේ චරිතය කළා. ගාමිණි ෆොන්සේකා යකඩයාගේ චරිතය කළා. මරු සිරා, යකඩයා කියන්නේ එල්ලුම්ගස්වලට නියම වෙච්ච අය. ඉතින් එහෙමනම් ඒකෙත් වැරැද්දක් තියෙනවා. ඒ අයට ඒ ප්‍රහාර එල්ල කළාද? නැහැනේ. චරිතයක් රඟපෑවා කියලා ඒ රංගන ශිල්පියාට ශිල්පිනියට ප්‍රහාර එල්ලකරනවනම් ඒක එක් වැරදියි. ඒකට මම විරුද්ධයි. එහෙමනම් ඒ ප්‍රහාරය එල්ල කළ යුත්තේ අධ්‍යක්ෂකතුමාට හා නිෂ්පාදකවරයාටයි. මම හිතන විදිහට නිෂ්පාදකයා මගේ පුතා වෙන්නෝනෙ. ඒ නිසා ඒ ප්‍රහාරය එන්නෝනේ ඒ දෙන්නාට මිසක් රංගන ශිල්පියාට නෙවෙයි.
වික්ටර්ගේ පුතා කියනවා ඉරාජ් කියන්නෙ අසූචි විකුණලා හරි සල්ලි හොයන ජාතියේ පොරක් කියලා?
මම දන්නෙ නැහැනෙ එයා එහෙම ඇයි කියන්නෙ කියලා. මම කවදාවත් කාගෙවත් හිතක් රිද්දලාත් නෑ. රිද්දන්නෙත් නෑ. මම කෙනෙක් මගෙන් ඇවිත් උදව්වක් ඉල්ලුවොත් මට කරන්න පුළුවන් දෙයක් නම් මම ඒක කරනවා. මම කාගෙවත් හිතක් රිදවන්නෙ නෑ. මම බොහොම සතුටින් ඉන්න කෙනෙක්. මම හැමවෙලේම ධනාත්මකවයි හිතන්නෙ. ප්‍රශ්න ඕන කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඒත් ඒ ප්‍රශ්න... ප්‍රශ්න කරගන්න එපා. ඉරාජ් කළේ තවත් එක නිර්මාණයක් විතරයි. ඉරාජ් කරන පින් වැඩ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. හැබැයි ගහන්න පුළුවන් තැන් හොය හොයා ඉරාජ්ට ගහනවා.
මිනිස්සු බණින එක ගැන ඉරාජ්ගේ හිත රිදිලද..?
එහෙම එකකුත් නෑ. මිනිස්සු බැණ බැණ ඇයි ඒ දේවල් බලන්නෙ කියන එකයි ප්‍රශ්නෙ. සල්ලි වියදම් කරගෙන ලක්ෂ ගණන් කමෙන්ට් දානවා. බණිනවා. අනේ... මේ තරුණ පරපුරට මම කියන්නෙ ඊට වඩා දේවල් කරන්න පුළුවන්. ඔය බණින කට්ටිය එකතුවෙලා මේ රටේ අහිංසක දිළිඳු ගම්මානවල දරුවන්ට උදව් කරන්න. ඒක හිතට සතුටක් ගෙනේවි.
ඇත්තද මේ ඉරාජ් කියනවා කියන්නෙ අපේ තාත්තටත් වික්ටර් හා සමාන වෙනත් අත්දැකීමක් තියෙනවා කියලා..?
මම ඕකටත් කෙලින්ම උත්තර දෙන්නම්කො... මගේ කතාව ඉරාජ් මියුසික් වීඩියෝවකින් කරන්න ගියොත් ඒක කපලා කොටලා එඩිට් කරලා අඩුම ගාණේ පැය තුනකටවත් බොහොම අමාරුවෙන් හදාගන්න වේවි. ඒකටත් ලෝකෙ කරපු දිගම මියුසික් වීඩියෝව කියලා ඉරාජ් වාර්තාවක් තියාවි. ඒකත් ඉතින් මිනිස්සුන්ට බලාගෙන ඉන්න බැහැනෙ. ඇත්තම කිව්වොත් මගේ කතාව මිනිත්තු තුනකින් හදන්න බෑ. මම බොහොම විනෝදයෙන් ඉන්න කෙනෙක්. මම කාගෙවත් හිත රිද්දන්නෙ නෑ. මම හැමවෙලේම කියනවා මම සියයට සියයක් අංගසම්පූර්ණ කෙනෙක් නෙමේ. මම මත්පැන් බොන්නෙ නෑ. සිගරැට් බොන්නෙ නෑ. හොරකම් කරන්නෙ නෑ. සත්තු මරන්නෙ නෑ. හැබැයි එක අඩුපාඩුවක් මගේ තියෙනවා. ඒක හැබැයි මම අඩුපාඩුවක් හැටියට දකින්නෙත් නෑ. මම ඒක දකින්නෙ මගේ දක්ෂකමක් කියලයි.
වික්ටර්ගේ පවුලෙන් මේකට චෝදනා එල්ල වුණා. ඕනෑම පුතෙක් තමන්ගෙ තාත්තගේ පෞද්ගලික ජීවිතේ ගැන මේ වගේ ප්‍රශ්න කරද්දි කේන්ති යනවා නේද..?
එයාලම තමයි මේ කතාව ගොඩක්ම රටට හුවාදැක්වූයේ. ඇයි ඔහොම කළේ. අපි කතාවටත් කියනවනෙ ගෙයි ඇතුළෙ තියෙන ප්‍රශ්න ගෙයි ඇතුළෙ විසඳගන්න කියලා. පිටට දෙන්න එපා කියලා. මිනිස්සුන්ට ගෙවල් ඇතුළෙ ඕන තරම් ප්‍රශ්න තියෙනවා. නැතිව නෙමෙයි. බොහෝ දෙනා ඒක බුද්ධිමත්ව ගේ ඇතුළෙ විසඳගන්නවා. එහෙම පිටට ප්‍රශ්න දුන්නාම ඒක මාධ්‍ය හරහා ලෝකයාම දැනගන්නවා.
► Text -Dishani / Pic- Sumudu