2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

2017 Film Calendar

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 04:02 184

2017 වසරේදී සිංහල චිත්‍රපට රුසක් ප්‍රදර්ශනය සඳහා සූදානම් කර තිබෙන අතර ඒවා සී.ඊ.එල්, ඊ.ඒ.පී, රිත්මා, එල්.එෆ්.ඩී., එම්.පී.අයි. ප්‍රදර්ශක මණ්ඩලවලට අයත් සිනමා ශාලාවල තිරගත වීමට නියමිතය. සී.ඊ.එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි මුලින්ම තිරගතවීමට නියමිතව ඇත්තේ උදයකාන්ත වර්ණසූරියගේ බන්ධනය චිත්‍රපටයයි. හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය රඟපාන මෙම චිත්‍රපටය 3D තාක්ෂණයෙන් ඇතැම් සිනමා ශාලාවල ප්‍රදර්ශනයවේ.

කැපිටල් මහාරාජා සමාගම නිෂ්පාදනය කළ චෙයාර් රවී අධ්‍යක්ෂණය කළ ධර්මයුද්ධ චිත්‍රපටය බන්ධනයෙන් පසුව තිරගතවීමට නියමිතය. ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක, කුසුම් රේණු, අවන්ති අපෝන්සු, ඩග්ලස් රණසිංහ, තිසුරි යුවනිකා ඇතුළු නළු නිළියන් රුසක් මීට රංගනයෙන් දායකවේ.

කල්පන හා වින්දන ආරියවංශ සොයුරන් නිර්මාණය කළ ප්‍රේමය නම් චිත්‍රපටයද 2017 මුල් භාගයේදී තිරගත වීමට නියමිතය. ජාත්‍යන්තර සිනමා උළෙලවල් රුසකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රේමය නම් චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළියන්ගේ භූමිකාවන් නිරෑපණය කරන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු හා සමනලී ෆොන්සේකාය.

තවත් බලාපොරොත්තු සහගත චිත්‍රපටයක් වන ජාත්‍යන්තර කීර්තියට පත් චන්ද්‍ර රත්නම්ගේ එකෝ ඩිං ටූ මැතිව් චිත්‍රපටයද තිරගත වේ. ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යය දෙකේම ප්‍රදර්ශනය වීමට නියමිත මෙම සිනමාපටය සත්‍ය සිද්ධීන් අළලා නිර්මාණය වූ අතර ජාත්‍යන්තර කීර්තියට පත් ජැකලීන් ෆර්නැන්ඩස් හා ඇල්ස්ටන් කොක් මෙහි ප්‍රධාන චරිත රඟපායි. බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ අලුත්ම චිත්‍රපටය නෙලා මෙම වසර තුළ තිරගත වීමට නියමිතය.
මලිත් හෑගොඩගේ දැකලා පුරැදු කෙනෙක්, සුනිල් ආරියරත්නගේ අලි කතාව, උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ලකී ඩයස් අධ්‍යක්ෂණය කළ විජය නන්දසිරි රඟන බ්‍රේකිං නිව්ස් චිත්‍රපටයද මේ වසර තුළට සී.ඊ.එල්. මණ්ඩල සිනමාහල්වලදී තිරගත වනු ඇත. ඊ.ඒ.පී. මණ්ඩල සිනමා ශාලාවන්හි මේ වසරේ තිරගතවන මුල්ම චිත්‍රපටය චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදී චිත්‍රපටයයි. එය ජනවාරි 20 වැනි දින සිට ප්‍රදර්ශනය වේ. සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනයක් වන හීන හොයන සමනල්ලු, ප්‍රියන්ත කොළඹගේ අලුත්ම චිත්‍රපටය හා අර්ජුන් කමලනාත්ගේ කුසල් චිත්‍රපටයද ඊ.ඒ.පී. මණ්ඩලයේදී මේ වසර තුළ තිරගත වීමට නියමිතය.

සේමිණී ඉද්දමල්ගොඩ, මහේන්ද්‍ර පෙරේරා ඇතුළු රංගන ශිල්පීන් රුසක් දායක වන ප්‍රසන්න ජයකොඩිගේ 28 චිත්‍රපටය 2017 වසරේදී ජාතික චිත්‍රපට සංස්ථා රිත්මා මණ්ඩයේ සිනමා ශාලාවල තිරගතවනු ඇත. සරත් ධර්මසිරිගේ සුසිරි විවරණ චිත්‍රපටය හා නීටා ප්‍රනාන්දුගේ ස්වර චිත්‍රපටද රිත්මා මණ්ඩල ශාලාවල මේ වසර තුළ තිරගතවීමට නියමිතය.

ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ නිලංජනා චිත්‍රපටය මෙන්ම වසන්ත කුමාරවිලගේ රන් සයුර හා ලලිත් පන්නිපිටිය අධ්‍යක්ෂණය කළ සනත් ගුණතිලක හා දුලානි අනුරාධා රඟන සංගිලි චිත්‍රපටයද එල්.එෆ්.ඩී., එම්.පී.අයි. මණ්ඩල සිනමා ශාලාවල තිරගත වනු ඇත.

සුනිල් අරුණ වීරසිරි අධ්‍යක්ෂණය කළ හිතුවක්කාරී චිත්‍රපටයද 2017 වසරේ තිරගත වීමට නියමිත තවත් සුවිශේෂී චිත්‍රපටයකි. ජගත් චමිල, ෂේශාද්‍රි ඇතුළු පිරිස රඟන හිතුවක්කාරී නිෂ්පාදනය කළේද සුනිල් අරුණ වීරසිරිය.
එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ නෝනා හරිම වසයි චිත්‍රපටයද මේ වසරේදී ප්‍රදර්ශනය වනු ඇත. රෝයිද සිල්වා අධ්‍යක්ෂණය කළ සිහින ලොවක් සොයා චිත්‍රපටයද මේ වසරේදී තිරගත වීමට නියමිතය.

Text - Ramesh Uvais