2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

එපා.. එපා.. බෑ..බෑ.. කියද්දි අංකල් අපිට පෙව්වා පෙවිල්ලක්...

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

මතකනෙ ගිය පාර අපි ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුට වෙච්ච හරි අපූරු සිදුවීමක් කීපයක් ගැන කතා කළා. හැබැයි ඉතින් රොෂාන්ගෙ ජීවිතේට ඔය වගේ වෙච්ච සිදුවීම් පිටුවකින් දෙකකින් ලියලා ඉවර කරන්නත් බෑ. ඒ නිසාම මේ පාරත් අපි රොෂාන්ටම ඒ පිටුවට වෙන් කළා.

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට දන්න හඳුනන කෙනෙක්ගෙ මළගෙදරකට යන්න සිද්ධ වුණා. ඒ ගමනට රොෂාන් එක්ක කණ්ඩායමේ තවත් සාමාජිකයෝ දෙන්නෙක් තුන්දෙනෙක් සහභාගි වුණා. කට්ටියම වාහනවලින් බැහැලා මළගෙදරට ගොඩවැදුණා. දේහයටත් ගෞරව කරලා ළඟ තිබුණු පුටුවල වාඩි වුණා. දැන් ඉතින් මළගෙදරම එකම කසුකුසුවයි. ලොකු ලොකු කෙල්ලො කොල්ලො පොඩි එවුන්ව එවලා පොත්වලට එහෙම රොෂාන්ලගෙ අත්සනුත් ගන්නවා. හැබැයි ඉස්සරහට එන්න ලජ්ජයි. සබකෝලය වැඩියි.
ඔන්න දැන් ටිකක් වයසක අංකල් කෙනෙක් බිස්කට් වගයක් ගෙනත් රොෂාන්ලට සංග්‍රහ කරනවා.
ඔන්න දැන් අංකල් බිස්කට් අල්ලනවා. අපිත් ගත්තා.. බිස්කට් එක කාලා ඉවර කරන්න කළින් මේ අංකල්ම ගේ ඇතුළට ගිහින් ට්‍රේ එකක කෝපි තියාගෙන අපිට ඇවිත් ඇල්ලුවා. එක අතකින් බිස්කට් එක අල්ලගෙන අනිත් අතින් කෝපි එකත් ගත්තා... දැන් කට්ටියම බිස්කට් කකා කෝපි බොනවා. අංකල් පේන්න නෑ. ළඟ හිටපු කෙනෙක්ට හිස් කෝපි කෝප්ප ටිකත් දුන්නා. මෙන්න ආයෙමත් අර අංකල්ම කෝපි ගේනවා...

අපි බිව්වා අංකල්...
කමක් නෑ මහත්තයෝ... තව එකක් බොමු..
බෑ කියන්න බැරිකමට ආයෙත් අරන් බිව්වා කියමුකො... මෙන්න ඒ අංකල්ම බිස්කට් පෙට්ටියක් උස්සගෙන අපිට ආයෙ බිස්කට් අල්ලනවා...
අංකල් අපි කෑවා...
කමක් නෑ.. මහත්තයෝ... තව ටිකක් කමු... කියලා අපි කට්ටියට බිස්කට් පහ පහ අත්වල තියලා හිස් දෙවැනි කෝපි කෝප්ප ටික අරගෙන ගියා. එතනින් මේ අංකල් නැවතුණේ නෑ... මේන් එනවා ආයෙ කෝපි ට්‍රේ එකකුත් උස්සගෙන.
ඔහොම කෝපි දිගටම බිව්වොත් පහුවදාට ආඩම්බර බලන්න වෙන්නෙ අපිටමනෙ.
අනේ... අංකල් දැන් ඇති..
එහෙම හරියන්නෙ නෑනෙ පුතේ.. ඔයාලා අපේ දරුවොනෙ.. අපි ඔයාලට සළකන්නෙ නැතිව කොහොමද..? කියලා අංකල් කියනවා.
ඒ වුණාට අංකල් ඔයා අපිට කරදරයක්ද මම දන්නෙ නෑ.. කියලා අපි කිව්වා.
නෑ.. නෑ.. නෑ.. ඔයාලා අපිට කරදරයක් නෙමේ..
හැබැයි අපි කියපු දේ එදා අංකල්ට තේරුණේ නෑ. අපි කිව්වේ ඔයා අපිට කරදරයක්ද මං දන්නෙ නෑ.. කියලයි. හැබැයි එදා රොෂාන්ලා කියපු දේ ඒ අංකල්ට තේරුණානම්...? ඉතුරු හරිය ඔයාලට කැමති දෙයක් හිතාගන්නකො..
මේ සිදුවීම රොෂාන්ට වුණේ විවාහ උත්සවයකට සංගීතය සපයන්න ගිහිනුයි.
දවසක් අපි වෙඩින් එකක මියුසික් දෙද්දි අපූරු සිදුවීමක් වුණා. එතකොට මම ඩ්‍රම්ස් ගහන කාලෙ. අපි බෑන්ඩ් එක ප්ලේ කර කර ඉඳිද්දි මිටි අවුරුදු හැටපහක විතර අංකල් කෙනෙක් අපි ළඟට ආවා.


මට සින්දුවක් කියන්න ඕනෙ පුතේ... කියලා කිව්වා.
සින්දුවක් කියන්න දෙන්නම්... මුලින්ම මේ ගෙදරින් අහන්නකො.. කියලා අපි කිව්වා. බලද්දි මේ වෙඩින් එක ගන්න අයගෙ ළඟම ඥාතියෙක්.. ඉතින් ගෙදර අයත් කිව්වා.. හරි දෙන්න කියලා..
ඉතින් අපි දැන් බෑන්ඩ් එක ප්ලේ කරනවා. අර අංකලුත් අපේ බෑන්ඩ් එක ළඟටම වෙලා ඉන්නවා. අපේ කෙනෙක් ළඟට ගිහින් ඇහුවා.. අංකල්.. මොකක්ද කියන සින්දුව.. කියලා.
සීතල සඳ එළියේ කියලා අංකල් කිව්වා.
දැන් ඔන්න අංකල්ගෙ අවස්ථාව. අංකල් මයික් එකත් අරන් අපි ළඟ. අපිත් ඔන්න මියුසික් දෙන්න පටන් ගත්තා. අපි මියුසික් දුන්නෙ අනිල් භාරතී මහතාගේ
සීතල සඳ එළියේ
ඔබ හා සුරතලියේ
සුදු වැලි පාර දිගේ
යන්නට ඇත්නම්..
කියන සින්දුවට... අර අංකල් කිව්වේ ගුණදාස කපුගේ මහතාගේ
සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවඳ පැතූ
බඹරො නුඹ නාඬන්..
කියන සින්දුව... මුල් පේළි ටික ගහනකොටම අපිට තේරුණා අපිට වැරදිලා කියලා. අංකල් ගුණදාස කපුගේ මහත්තයගේ සින්දුව අනිල් භාරතීගේ සින්දුවේ සංගීතයට මාරුකරලා කියනවා. ඊටපස්සෙ අපි ටක්ගාලා වෙනස් කළා. සින්දුව කියලා ඉවරවෙලා අංකල් අපි ගාවට ඇවිත්..
පුතේ.. ඒකේ පොඩි අවුලක් තිබ්බා නේද..? කියලා ඇහුවා.
ඔව්.. අංකල්... ඔයාගේ නෙමේ.. අවුල තිබුණේ අපේ.. කියලා අපි කිව්වම තමයි අංකල්ට කාරණාව තේරුණේ..

(තවත් කෙනෙක් එක්ක අපි ලබන ඉරිදාත් එන්නම්..)

► Text -Jayamali / Pic- Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00