2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

මැස්සා

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:08 1888

මැස්සා කියලා කියන්නේ පට්ටම වැදගත් අතිවිශාල සමාජ මෙහෙවරක් කරන සතෙක් කියලා මට හිතෙනවා. මොකද මාත් මැස්සෙක් නිසා. ගෙදරදි පොළේදි කඩපිලේදී මාලු කාඩේදි මස් කඩේදී ශොක් ශොක් කියලා හැමෝම අපිව එලෙව්වට අපි ඇවිල්ලා සැලෙන්නෙ නැති ජාතියක්. හැබැයි ඉඳලා හිටලා තැලෙන්න වදිනවා. පහත් තැනින් යයි ගලා ජලේ කියලා මැස්සන්ගේ කියමනක් තියෙනවා. මැස්සො මැස්සො වෙනුවෙන් හඬක් නොනගපු නිසා ගොඩක් අය අපිට නිස්කාරනේ චෝදනා කරනවා. මොනවද ඒ චෝදනා.

අපි නිසා ලෙඩ බෝ වෙනවලු. මඤ්ඤං මුන්ට. ලෙඩ තියෙන්නෙ කොහොමත් බෝවෙන්න. අපි උන්න මළා කියලා නෑ ඒවා බෝ වෙනවා. හරි අපි නිසා බෝවෙන ලෙඩ තිබුණම කියමු ඔය ඒඩ්ස් වගේ ලෙඩත් බෝ වුණේ අපි නිසාද? අනේ පලයං මහත්තයෝ යන්න.

අපි නිසා කෑමක් තියාගන්න නෑලු. කොයි ලෝකෙද බොලව් කෑම තියාගත්තෙ. කෑම තියෙන්නෙ තියාගන්න නෙමෙයි කන්න. මිනිස්සු කෑම හදලා වහලා තියෙනවා. ඇහැක් කනක් ඇරන් මේවා බලන් ඉන්න පුළුවන්ද? ඉතින් දිවි පරදුවට තියලා හරි අපි ගැන්සියක් එකතු වෙලා දෙනවා පාර. 

මැස්සෝ වඳ කරන්න  ඕනලු. මේක තමයි හිනා යනම කතාව. මැස්සෝ වඳ කරන්න  ඕන කියලා කියන එව්වොන්ම වඳ වෙලා යනවා කියලා මේ ළඟදි දවසක අපේ බාප්පා පත්තරේ දැකලා කිව්වා. පුංචි පවුල සත්තරන් කියලලූ ඒකට කියන්නෙත්. ඔන්න බාප්පා ගැන කියවිච්ච නිසා ඉතින් අපි ගැන කතාව කියන්න කලින් අපේ ගෙදර ඉන්න ගැන්සිය ගැන කියලා ඉන්නම්. එතකොට අපිට ලේසියි. 

මැස්සන්ගේ පවුල ඇවිල්ලා සෙල්ලම් පවුලක් නෙමෙයි. අපේ පරම්පරාව ගැන දන්නවනම් ඇඬෙනවා මහත්තයෝ තනි ඇහැට. මැස්සන්ගේ ආරම්භය විදිහට සැලකෙන්නෙ ඈත දුරාතීතේ ඊජිප්තු වකවානුවේ පාරාවේ රජ කාලේ. මට මතකයි ඒ කාලේ අපේ ආදිතම මුතුන් මිත්තා පිරමීඩයක් උඩ ඉඳලා ගහපු ෆොටෝ එකක් මේ ළගක් වෙනකන් අපේ ගෙදර තිබුණා. ඒ ආදී මැසි සීයව පේන්නෙ නෑ හරියටම මොකද පිරමීඩේ සීයාට වඩා ලොකු නිසා. කොහොම වුණත් අපි අපේ සාමාජිකයෝ හඳුනගමු.

මී මැස්සා
මෙයා තමයි අපේ පරම්පරාවේ වැදගත් කියලා එකෙක්ට ගන්න ඉන්නෙ. මෑන්ස් හොඳට ඉගෙන ගත්තා. දෙයියනේ කියලා කැම්පස් ගියා. ඊට පස්සෙ තමයි පොඩි පොඩි අවුල් ටිකක් වුණේ කැම්පස් තාප්පෙ ඔළුව වැදිලා. ඒ වුණාට හොඳ එකා. නම මී මැස්සා වුණාට දවසක් හෙම්බිරිස්සාවක් හැදිලා ඉන්න වෙලාවක සුද්දෙක් ඇවිල්ලා මෙයාගෙන් නම අහලා තියෙනවා. ඒ වෙලාවේ නහය බර නිසා මෙයා කිව්වලු බී බැස්සා කියලා. එදා ඉඳලා ඕනම සුද්දෙක් මෙයාට කියන්නෙ බී කියලා. මෙයා ඇවිල්ලා කිසි වෙලාවක තමන්ගේ ගෞරවයට හානි කරගන්නෙ නෑ. අපිටත් නිතරම දෝස් මුර දානවා පරම්පාරාවේ ගරැත්වය රුකගෙන ඉඳු කියලා. බොන්නෙ මල් පැණි. මොනව කනවද කියලනම් දන්නෙ නෑ. මෙයාගේ ගෙදර ඇවිල්ලා පට්ට ලස්සනයි. පැණි පිරිලා. ලස්සනට ගෙයක් දොරක් හදාගෙන ඇහැට කනට පේන ගෑනියෙකුත් තියාගෙන ඇහැ කන වැහෙන තරං දරැවොත් හදාගෙන අපේ මී මැස්සා බාප්පා දෙයියනේ කියලා ඉන්නවා. මළපැන්නොත් අනිනවා ඇනිල්ලක් දුම් පනින්න.

නිලමැස්සා
මෙයා ඇවිල්ලා අපේ ගැන්සියේ ඉන්න එපාම කරපු එකා විදිහට තමයි මිනිස්සු සලකන්නෙ. හැබැයි ඉතින් ඕන හන්දියක ඕන පොදු වැසිකිළියක ඕන පොළක කොල්ලා ඉන්නවා චණ්ඩියා වගේ. අපිට වැඩිය ලොකුයි. සද්දෙත් ටිකක් අවුල්. ගඳක් කොතනද අපේ නිලමැස්සා එතන. ඔය නිලමැස්සා කියන නම එයාට කොහෙත්ම ගැළපෙන එකක් නෙමෙයි. මම නම් කියන්නෙ එයාට දාන්න  ඕන ගඳ මැස්සා වගේ නමක්. එයා ගැනත් කතා ගොඩායි. හෙමින් සැරේ කියන්නම්කො.....

ගෙමැස්සා
ගෙමැස්සා කියලා කියන්නේ ගෙවල්වල හුරතලේට ඇති කරන මැස්සා කියලා තමයි සමහරැ කියන්නෙ. මොන හුරතලයක්ද මේ හාදයාට තමයි කරදර වැඩිම. ගොවියෝ පට්ට තරහයි. අදින්න පුළුවන් අංචි සේරම මූට විරැද්ධව අදිනවා. වැඩිය අපි එක්ක බජනයක් නෑ. හෙනම ලොකු ලයින්. මොනව කරන්නද පවුල් පරම්පරාවල එහෙම උනුත් ඉන්න එපැයි. 

ගොයම් මැස්සා
මේ තමයි අපේ පරම්පරාවේ ගොවියා. කුඹුරැ ගැන දැනගන්න ඕන නම් මෙයා තරම් එස්පර්ට් කෙනෙක් නෑ. පැලගොයමේ ඉඳලා වී ඇටේ බිස්සට යනකං ඕන කෙහෙම්මලක් එයා දන්නවා. එයා නම් කියන්නෙ සම්ප‍්‍රදායික වී ගොවිතැනට කෘමි නාශක ආපු දා ඉඳලා තමයිලූ අපේ කෘෂි කර්මාන්තය කඩා වැටුණේ. ඇත්තම කිව්වොත් කෘමිනාශක ගහන්න පටන්ගත්ත දවසේ ඉඳලා ගොයම් මැස්සට යන එන මං නැති වුණා. ගොවියා කුඹුරැ වැඩ කරලා ගියාට පස්සෙ ගොයම් මැස්සා තමයි ඒක බලාගන්නෙ. හවස හීනියට අඩියක් ගහලා පැලක් උඩට වෙලා විරහ කවියක් කියාගෙන සොමියෙ ඉන්නවා. එයාගේ ආහාරය බත්. බත් කිව්වට බත්ම නෙමෙයි ගොයම් කොළ. කොළ කනවා නෙමෙයි කොළ බොනවා.

ඇට මැස්සා
ඇට මැස්සා කියන්නේ අපේ සෙට් එකේ ඉන්න පොඩිම එකා. ඇටයා කියලා තමයි ආදරේට කියන්නෙ. අබ ඇටේ ඉඳලා අලිගැටපේර ඇටේට යනකං ඕනම ලොකු පොඩි ඇටයක් මෙයා දන්නවා. ඇට හොයාගෙන ගිහින් හිටි ගමන් ඇට කුඩු වෙන්න කාලා එන අවස්ථාත් නැතුව නෙමෙයි. ඒ වුණාට මොකද ඇටමැස්සා ඇටයා වගේ හිටියට කවුරැත් එක්ක හොඳින් ඉන්න එකෙක්. 

ඉතින් මම මේ ගැන්සිය ගැන කෙටි සටහන් ලිය ලියා ඉද්දි ජනේලෙන් රූන් කියාගෙන ආවා කියපන්කෝ මී මැස්සා. ආපු ගමන් බැලූවා කොළ ටික. මිනිහා ගැන මොනවා ලිව්වත් උඩින්ම ලියලා තියෙන නිසා මට ලකුණු. 
ඈ බොල මැස්සෝ. උඹ අනික් උන් සේරම ගැන ලිව්වට උඹේ ගැන ලියලා නෑනේ.

එහෙම කිව්වම තමයි මට මගේ ගැන මතක් වුණේ. මම ඇවිල්ලා නිකං මැස්සා. නිකං මැස්සා කියන්නෙ මගේ නමේ මුලට මී, ඇට, නිල, ගේ ගොයම් වගේ මොනවත් නෑ. මම තමයි මිනිස්සුන්ට වාතම කේස් එක. ගෙවල් ඇතුළට වෙලා එහෙම මෙහෙට පැන පැන කෑම වල, රෙදි වල, බිම. හැදි වල වලං වල බැහැගෙන කකා මාත් ඉතින් ආතල් පහට ඉන්නවා. ඉතින් මම ගැන මමම කියා ගන්න එක හරි නෑනේ. මේ ඇති. අපේ මැසි ජීවිතේ රස කතා ලබන සතියේ සිට.
මම
හොස්ස ළඟින් ගිය මැස්සා
.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00