නත්තලේ අසිරිය නත්තල් ඉවර වුණත් මැකී ගිහින් තිබුණෙ නෑ. නත්තල් ගහ සරසන්න මම එල්ලපු රත්තරන් පාට, රතු පාට තාරකා කොළපාට නත්තල් ගහේ කොළ අතරින් දිලිසෙන හැටි මම හුඟක්වෙලා බලන් හිටියා. පල්ලියේ convent එකේ ඉන්න අම්මා, තාත්තා නැති පුංචි දැරිවියන් ඒ නත්තල් ගහ දිහා බලලා විඳින සතුට දිහා බලාගෙන ඉද්දී මගේ හිත ඉගිල්ලුණේ මගේ පුංචි කාලයට. ඒ දවස්වල නත්තල තරම් සුන්දර කාලයක් මට තවත් තිබුණෙ නෑ. ඒත් convent එකේ ගෙවපු ජීවිතේදි මටත් මගේ කියන්න නත්තලක් තිබුණෙ නෑ. ඒත් කවුරැන් හෝ සරසන නත්තල් ගහක් පාමුලට වෙලා ඒ දිහා බලාගෙන ඉන්න එක තරම් සතුටක් මට ඒ දවස්වල තවත් නෑ. මට හීල්ලුනේ ඉබේටම. තවත් මොහොතක්වත් පමා නොවී මම මගේ හිත ඒ අතීතයෙන් මේ මොහොතට අරන් ආවේ ඒ හින්දා.
අංජලී හුඟක් වෙලාවට ඒ නත්තල් ගහ දිහා බලාගෙන ඉන්නවා මම දැක්කා. ඒත් ඇය පෙරදාක මෙන් සෙනෙහසින් මගේ තුරැල්ලට ආවෙ නෑ. ඇය තාමත් තනිකම නිසා ඈ විඳි යම් පීඩනයකට ප්‍රතිකාර ලබමින් හිටියා.
අංජලී...
ඇය මා දෙස බැලුවෙ බිය රුඳි නෙතින්
එන්න දූ මගේ ගාවට...
බැහැ කියන්න ඇය හිස වැනුවා
මම ඔයාට හුඟක් ආදරෙයි කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද අංජලී...
ආදරේනම් ඇයි ඔයා මාව දාලා ගියේ...
මම ඔයාව දාලා ගියේ නෑ අංජලී... මම ගියේ ඔයාව මීටත් වඩා සතුටින් තියන්න පුළුවන් තැනක් ගැන බලන්න
ඉතින් ඔයාට එහෙම තැනක් හම්බවුණාද?
තාම නෑ... ඒත් මම කවදාහරි එහෙම තැනක් හොයා ගන්නවා
ඒත් මාව දාලා ගිය ඔයා ළඟට මම ආයෙත් එන්නෙ නෑ...
එක දවසකට දාලා ගියේ හැමදාමත් ළඟින් තියාගන්න කියලා ඔයාට තේරැණේ නැද්ද...
දුල්යානා...
සිස්ටර් සේරාගේ කට හඬින් මම ආයෙත් පියවි ලෝකෙට ආවා.
සිස්ටර්...
මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා දුල්යානා
මම දන්නවා සිස්ටර්ට දැනගන්න ඕනෑ මොකක්ද කියලා. සිස්ටර්ට දැනගන්න ඕනෑ මම එක දවසක් රූ පල්ලියෙන් පිට ගත කළේ කොහෙද කියලා නේද? ඒත් මගේ කතාව මම සිස්ටර්ට කීවොත් සිස්ටර් ඒක විශ්වාස කරන එකක් නෑ. මම ගියේ මම යන්න හිටපු ගමනක් නෙවෙයි සිස්ටර්. ඒත් මගේ ඉරණම මට ඒ ගමන යන්න බල කළා.
ඔයා ගියේ කොහේද?
අර ගඟෙන් එහා මහ වනන්තරේට...
මොනවා?
ඔව් සිස්ටර්... සිස්ටර් සේරා මගේ දිහා බලාගෙන හිටියේ මහා පුදුමෙකින් වගේ. ඒත් එක්කම ඇගේ නෙත් මහා බයකින් දිලිසෙන්න පටන් ගත්තා.
මම ගියා අර සොහොන් බිමට... මට භූතයින්, හොල්මන්, යක්ෂයන් හම්බවුණා.
මොනවා යක්ෂයන්... යක්ෂයන් මුණගැහුණ ගැහැනියකට ආයෙත් දෙවියන් එක්ක ඉන්න බෑ දුල්යානා