2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

අපි මේ යන්න හදන්නේ වෙනස්ම ගමනක්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

අපි පල්ලියට යමු දුල්යානා 
දෙවියන්ගේ නාමෙන් මට බෑ ආයෙත් එතෙන්ට යන්න 
පුංචි කාලෙ ඉඳන් ජීවත් වෙච්ච තැනට ඇයි ඔයා යන්න බෑ කියන්නේ 

මට දෙවියන් වහන්සේ ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම එතෙන්දී හමුවුණා කියලා මට වෙලාවකට හිතෙනවා... මම කවදාවත් දෙවියන් වහන්සේ හොයාගෙන ගියේ නෑ..ඒත් සැනසීමක් නොලැබිච්ච මළවුන්ගේ ආත්ම මිනිස්සුත් එක්ක එකට ජීවත් වෙන යක්ෂයන් ,කන්‍යාවන් එනකම් ඇඟේ ගින්දර නිවාගන්න බලාහිඳින යක්ෂයන් මට ඒ ගත කරපු ජීවිතේදී හම්බවුණා.. රෝස් මැරුණා කියලා දැනගත්තම මම රෝස්ව බලන්න ගියේ නෑ ..ඒ මට මගේ ජීවිතයේ හිටපු ළඟම යාළුවා ඒ විදිහට දකින්න බැරි නිසා..ඒත් ඒ මතකය හැමදාමත් මගේ ළඟ තිබුණා... අන්තිමට ඉන්න තැනක ඉඳන් රෝස් මගේ දිහා බලාගෙන ඉන්න ඇති ..මගේ හිත එයාට කොහේ හරි ඉඳන් පෙනෙන්න ඇති...ඒකයි එයා මාව හොයාගෙන එන්න ඇත්තේ.. මට අදටත් එයාගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා..ඒත් මොකටද දැන් මම ඒ ප්‍රශ්න එයාගෙන් අහලා ආය එයාට කවදාවත් රෝස් විදිහට මේ ලෝකෙට එන්න බෑ...එයා ගිහින්..ඒත් එයා ගියේ දෙවියන් වහන්සේ ළඟට කියලා මම කොහොමද විශ්වාස කරන්නේ... දෙවියන් වහන්සේ ළඟට ගියානම් මට කොහොමද එයාව පල්ලියේ සොහොන් භූමියේදී හම්බවෙන්නේ...අංජලී හීනයක් වගේ ඇවිත් හීනයක් වගේ ගියා ..ඒත් මම එක දෙයක් දන්නවා.. අංජලී මැරුණේ නෑ... සිස්ටර් සේරා මට බොරු කියනවා.. සමහරවිට එයාගේ අම්මා ඇවිත් එයාව ආපහු එක්කගෙන යන්න ඇති..ඒත් තමන් ආදරය නොකරන දුවක්ව එයා මොකටද එක්ක යන්නේ...ඇයි ඒ අසරණ කෙල්ලට ආදරේ කරන්න එයාගේ අම්මට බැරි වුණේ... ඒක මොන තරම් වේදනාවක්ද ජානා...මම කොහොමද ඒ වේදනාවන් ඔක්කොම හංඟගත්ත ඒ පල්ලියට ආයෙත් යන්නේ.. මට ආයෙත් එන්න එපා කියලා මාව එලවා ගත්ත තැනකට ආයෙත් යන්නේ 
අපි මේ යන්න හදන්නේ වෙනස්ම ගමනක් 
ඒත් ඒක කවුරුවත්ම තේරුම් ගන්න එකක් නෑ 

ඒකට කමක් නෑ දුල්යානා ඇයි අපි හිතන්නේ කවුරු හරි අපිව තේරුම් ගන්න ඕන කියලා ..නෑ කවුරුත් අපිව තේරුම් ගන්න ඕනේ නෑ. 
බැහැ ජානා එහෙම ජීවත්වීම හරි විඳවිල්ලක්...තමන්ව කියවන්න කවුරු හරි කෙනෙක් මේ ලෝකේ ඉන්න ඕන...
අපි මෙච්චර කල් ජීවත් වුණේ අපිව කියවන්න කෙනෙක් ඉඳලද..පිස්සු..අපි ජීවත් වුණේ තනියම...ඉතින් අපි ජීවත් වුණේ නැද්ද? අපි සතුටින් හිටියේ නැද්ද?
සතුටින්? කවද්ද කොහෙද ජානා සතුටක් තිබුණේ අපි ජීවත් වුණේ අපි නොමැරුණ හින්දා විතරයි... අඩුම තරමේ අපි සතුට කියන වචනේ තේරුමවත් දන්නවද?
මමනම් ඒ හැමදේම කළේ සතුටින්

එහෙනම් මොන කෙහෙම්මලකටද උඹ මේ ජීවිතේ අත්හැරලා දාලා පල්ලියට රිංගන්න හදන්නේ 
මට මේ ජීවිතේ හැම දෙයක්ම හම්බවුණා එක දෙයක් හැරෙන්න 
මම ජානා දිහා එක එල්ලේම බලාගෙන හිටියා.
මොනවද උඹට හම්බ නොවුණේ?

මට කවදාවත් මේ ජීවිතේ සැනසිල්ලක් හම්බවුණේ නෑ. සතුට ඕන තරම් හම්බවුණා. ඒත් කවද්ද කොතනදීද සැනසිල්ලක් කියලා දෙයක් හම්බවුණේ 
ජානා ඔයා වගේ කෙනෙක්ට පල්ලියේ ජීවිතයට හුරුවෙන්න බෑ.... ඔයා හොයන නිදහස එතන නෑ 
මම හොයන්නේ නිදහස නෙවෙයි දුල්යානා සැනසීම. මම මගේ ජීවිතේ නිදහස වින්දා මට හොඳටෝම ඇති 
ඔයා ඔය කතා කරන්නේ හදවතින් නෙවෙයි. ඒක මට දැනෙනවා. ඔක්කොටෝම ඉස්සර මට කියන්න ඔයා මොකක් නිසාද මෙහෙම වෙනස් වුණේ කියලා 
ජානාගේ ඇස්වලට කඳුළු එක්වෙමින් තිබුණේ වේගයෙන්. ඒ වේගයටම ඇය යටි තොල සපාගත්තා. ඇය හුස්ම ගත්තෙත් වේගයෙන්. ඇය වෙව්ලන තරමට ඇගේ වේගය වැඩි වුණා.

ජානා මොකද මේ? කියන්න ඔයාට මොකද වුණේ?
මට එක්කෝ ජීවත් වෙන්න ඕන නැත්නම් මැරෙන්න ඕන. මට මේ විදිහට ජීවත් වෙන්න බෑ. කවුරුත් ඔව් කවුරැත්ම මාව තේරුම් ගන්න ඕනෙ නෑ. ඒත් කවුරු හරි මම ඉල්ලන දේ මට දෙන්න.
මොනවද ඔයා ඉල්ලන්නේ?

මම පල්ලියට ගිහින් සිස්ටර් කෙනෙක් වෙන්නම්..ඒ ජීවිතේට මට හුරැ වෙන්න බැරි වුණොත් ඒ ජීවිතෙත් මම අත්හැරලා දාන්නම් 
ජානා ඔයා හිත ටිකක් සැහැල්ලු කරගත්ත වෙලාවක අපි ටිකක් කතා කරමු. මට හිතෙන්නේ අපි මේ කතා කරන්න වෙලාව නෙවෙයි 
නෑ මේ තමා අපිට කතා කරන්න හොඳම වෙලාව 
මම ඇගේ අත උණුසුම් ලෙස අල්ලා ගත්තා..ඒත් ඒ අතේ තිබුණේ පුදුමාකාර සීතලක්... උණුහුමක සියුම් රේඛාමය ස්පර්ශයක්වත් ඒ අත්ල මත හෝ ඇඟිලි තුඩු අග මට දැනුණේ නෑ...මම ඒ සීතල අත තදින් අල්ලාගෙන ඇගේ නළලත මෘදු ලෙස සිප ගත්තා. 

මට සමාවෙන්න දුල්යානා.. හැමදේටම මට සමාවෙන්න.. මම කරපු හැමදේකටම මට සමාවෙන්න 
සමාවෙන්න? ඔයා මොකටද මගෙන් සමාව ඉල්ලන්නේ 
හැමදේකටම 

හැමදේකටම කීවේ 
ඇය කඳුළු වැක්කෙරෙන ඇස් දෙක මගේ උරහිසේ පිස දමමින් මගේ උරහිසට තව තවත් තුරුලු වුණා