හොඳටම වැස්සේ අයිස් තරම් සීතල වතුර පිරුණු දියපාරකින් අපි හිතේ හැටියට නෑවා පහුගිය දවසක. ඒ සීතල දරාගන්න ඉවසගන්න බැරිතරම් අමාරු වුණත් ඒ සීතල අන්තිමේදී හිතට අරගෙන ආවේ පුදුම තරම් සතුටක්. පුදුම තරම් ආස්වාදයක්. මට හිතෙනවා ගැහැනියක හා පිරිමියෙකු අතර ඇතිවෙන රාගික බන්ධනයකට වඩා ආදරය හරි සුන්දරයි කියලා.
සහෝදරත්වය හරි නිර්මලයි කියලා. අපි ඒ සීතල අයිස් වතුරෙ වින්දෙ ඒ වගේ සහෝදරත්වයක සුවඳ. අපි සමහරු පවුල් බන්ධනයක් එක්ක මේ ලෝකේ උප්පත්තිය ලබනවා. අපි සමහරු අනාථයන් විදිහට මේ ලෝකේ උප්පත්තිය ලබනවා. තමන් මේ ලෝකෙට ජාතක කළ ලේ කඳුළේ අයිතිකාරයා කවුරුන්දැයි නොදැන මේ ලෝකෙට ඇස් අරින දරුවන් ඕන තරම් ඉන්නවා. තමන්ගෙ අම්මගේ ළය උණුහුමේ සැනහී උණුසුම නොවින්ද කිරි රස තොල නොගෑ දරුවන් මේ ලෝකයේ ඕන තරම් ඉන්නවා. නෑදෑයෙක් සහෝදරයෙක් කාත් කවුරුත් නැතුව මේ ලෝකයට එන දරැවන් ඕන තරම් ඉන්නවා. තමන්ටම කියලා පවුලක් ඇතුව ඉපදුණ අය වගේම තමන්ටම කියලා පවුලක් නැතුව ඉපදුණ අයත් මේ ලෝකයට ඇවිත් තමන්ගෙම කියලා ලෝකයක් හදාගන්නවා. එකම පාට අත්තටු තියෙන අයව ඒ ලෝකෙට කැඳවා ගන්න බැරිවුණත් පනහට පනහේ අනුපාතයට හරි හැමදේම share කරගන්න පුළුවන් අයව ඒ ලෝකෙට එකතු කරගන්නවා.
සමහර මිනිස්සු තමන්ගෙ නොවන රටවල්වලදී සරණාගතයන් බවට පත්වෙනවා. ඒක එක පැත්තකින් දරාගන්න පුළුවන්. ඒත් තමන් උපදින රටේදීම සරණාගතයෙක් බවට පත්වීම කෙනෙක්ට ලේසියෙන් දරාගන්න බෑ. ඒක හරි ආත්මීය වේදනාවක්. ආත්මීය කම්පනයක්. තමන්ටම කියලා ආදරයක්, තමන්ටම කියලා කෙනෙක් ළඟ නැති හැමකෙනෙක්ගේම හිත කොනිත්තන පාළුවක් තනිකමක් තියෙනවා. ඒ හැඟීම් අපි එක එක විදිහට විඳ දරාගන්න පුරුදු වී ඉන්නවා. කොයි විදිහට share කර ගත්තත් මිනිස්සු කියන පොදු කුලකයට අයත් අපි හැමෝටම ඒ හැඟීම් දැනෙන්නේ එකම විදිහකට කියලයි මට හිතෙන්නේ. තමන්ට කියලා ඉන්න තැනක් නැති, ජීවිතයේ දුක සතුට බෙදාගන්න තමන්ටම කියලා කෙනෙක් නැති තමන්ටම කියලා කිසිම දෙයක් නැති හැම කෙනෙක්ම තමන්ගෙ යටි හිතෙන් තමන්ටම කියලා ලෝකයකට ප්‍රාර්ථනා ඉල්ලනවා.
විඳින්න - share කරගන්න පුළුවන් තැනදී ජීවිතය හරි සුන්දරයි. ඒත් හැමතැනකදීම ඒ විදිහට ජීවිතය විඳගන්න share කරගන්න අපට ලැබෙන්නෙ නෑ. ඒත් සියලු හිමිවීම් අහිමිවීම් මැද්දේ ජීවිතය මලක් සේ දෝතට රැගෙන ආදරයෙන් සිපගන්න. සංසාරය කියන අනන්ත නටුවෙන් ජීවිතය කියන පුෂ්පය ගිලිහී වැටෙන අවසන් නිමේෂය දක්වාම ජීවිතයට ආදරය කරන්න. ජීවිතය පරිස්සම් කරන්න.
ජිවිතය හරි සුන්දරයි
I Sanju