2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

දැහැන

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 202

එකෝමත් එක රටක කතාන්දර අහපු පුංචි කාලයක් සමහරවිට ඔයාටත් ඇති... ඒ එකෝමත් එක කතාන්දර එක්ක අපි ජීවත් වුණේ ලස්සන සුරංගනා ලෝකවල... හීන යථාර්ථයට වඩා හුඟක් ලස්සනයි... හීන හීන ලෙසම පවතිනතාක් හීන ලස්සනයි... හැබැයි අවසානයේ සතුට භුක්ති විඳින්න නම් ඒ හීනවලට පියාපත් ලැබෙන්නම ඕන...

මිනිස්සු වෙච්ච අපි හුඟක් වෙලාවට ඉල්ලන්නේ අපිට හිමි කරගන්න අපිට අයිති කරගන්න බැරිවෙච්ච දේවල්... ඒත් අපි ඒ හැමදේකටම ආදරේ කරන්නේ ඒ දේවල් අපේ කරගන්නකම් විතරයි... අයිති කරගත්ත හුඟක් දේවල්වලට මිනිස්සු ආදරේ කරන්නේ හරිම කෙටි කාලයක්... අයිති කරගත්ත හුඟක් දේවල්වලට මිනිස්සු Life Time ආදරේ කරන්නේ හුඟක් කලාතුරකින්... ඒ මිනිස්සු යමක් අත්පත් කරගන්න දරන වෑයම මහන්සිය අත්පත්කරගත් ඉනික්බිති අත්පත්කරගත් දෙය රැකගන්න නොදරන හින්දා... මිනිස්සුන්ගේ ප්‍රකෘති හිත වරෙක බොහොම සුන්දරයි... නිර්මලයි... තවත් වරෙක ඒ හිත අසුන්දර මායාවක් විතරයි... විඳින්න විඳගන්න ඉල්ලාගන්න කිසිම හැඟුම්බර සුන්දරත්වයක් ඒ හිත අහලකවත් නෑ....

සදාකාලික නොවූ ලෝකයේ සදාකාලික ප්‍රේමයක් - සොයා නෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක්... මට හුඟක් වෙලාවට ඒ ගී පද මතක් වෙනවා. සදාකාලික ප්‍රේමයක් මම හිතන්නේ ලෝකේ කවදාවත් කාටවත් කොතනකදීවත් මුණගැහිලා නෑ... මුණගැහෙන්න විදිහකුත් නෑ... මොහොතක් මොහොතක් ගාණේ වෙනස්වෙන හිත් ඇති ලෝකයකින් අපට සදාකාලික ප්‍රේමයක් නොවෙයි වසර පහක් පුරා නොවෙනස්ව පවතින ප්‍රේමයක්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මොහොතක් මොහොතක් ගාණෙ අපි වෙනස් වෙමින් සහ මියයමින් ඉන්නවා... ඒ ඇත්ත දැනෙන්නේ ජීවිතය මොකක්ද කියලා ගැඹුරට විමසා බලද්දී විතරයි...

මිනිස්සු ආදරය හොයනවා... ආදරය ඉල්ලනවා... ආදරය විඳිනවා... තවත් කාලෙකදී අර වින්ද ආදරය අත්හැරලා දාලා ඒ වෙනුවට අලුත් ආදරයක් හොයනවා... මිනිස්සු හොයන්නේ ආදරයමද? ආදරය කිය කියා මිනිස්සු හොයන්නේ ආදරයමද? ප්‍රේමය නමින් මිනිස්සු විඳින්නේ ප්‍රේමයමද? මට හිතෙන්නේ ආදරය කරන හුඟක් මිනිස්සු ආදරය කරන්නේ ආදරය කියන්නේ මොකක්ද කියලවත් හරියට නොදැන.... හරියට නෙවෙයි බොහොමයක් මිනිස්සු කොහොමටත් නොදැන... සුදු පාටින් පෙන්නන්න හදන හුඟක් හදවත් ඇතුළාන්තයෙන් කළු පාටයි.

ප්‍රේමය ගැන කවි ලියන ගී ලියන කතා කරන මිනිස්සු හුඟ දෙනෙක් දන්නේ ප්‍රේමය නිර්වචනය කරන්න මිසක් ප්‍රේමයට හැබෑ අරුතක් දෙන්න නෙවෙයි. ප්‍රේමයේ පරාජිත කඳුළ නිර්මාණයකට ප්‍රස්තුතයක් කරගන්න හුඟදෙනෙක් ප්‍රේම කරන උන්ගේ මුවමත සිනහා දවටන්න අල්පමාත්‍රයකවත් මහන්සියක් ගන්නෙ නෑ.... මිනිස්සු දන්නෙ ආදරය සොරාගන්න විතරයි... ආදරය ඉල්ලන්න විතරයි... හුඟක් දෙනා ආදරය කරන්න දන්නෙ නෑ....

► I Saara

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00