2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ගින්දර උඩ නටන සුන්දර නැට්ටුවා

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

කෙනෙකුට සාමාන්‍යයෙන් යෙදෙන්න බැරි නර්තන අංගයන්හි යෙදෙන ඔහු ලලිත් පැරකුම් අද වෙද්දී නර්තන විශාරදයන්ගේ ඇගයීමට පත්වූ නර්තන ශිල්පියෙක්. ඔහු නර්තන ශිල්පියෙක් පමණක් නොවෙයි. ජීවිතයේ බොහෝ දුක්ගැහැට විඳ නොහිම් දිරියෙන් තමන් උගත් ශිල්පය නොමසුරුව ඉදිරි පරම්පරාවකට දායක කරන හිත හොඳ ගුරුවරයෙක්. රූපවාහිනී නර්තන වැඩසටහනක් ඔස්සේ රටම හඳුනාගත් ඔහු එක්ක හදසර අපිත් හිතුවා කතා කරන්න.

ලලිත්... අදත් ඔයාගෙ ජීවිතේ අභියෝගයක්... එදත් ඔයාගෙ ජීවිතේ අභියෝගයක්... එහෙම නේද..?
ඔව්.. මම හොරණ හඳපාන්ගොඩ කියන ප්‍රදේශයෙ තමයි ජීවත් වෙන්නෙ. පුංචි කාලෙ මම ගොඩාක් දුක් වින්දා. මම අවුරුදු පහේ ඉඳන් නුගේගොඩ පේමන්ට් එකේ බඩු වික්කා. මම හිසේ කෙස් ගාණට මගේ පුංචි උරහිසේ තියාගෙන වැලි ගොඩදාලා තියෙනවා. ගොඩාක් කුලී වැඩ මම කරලා තියෙනවා. මේසන් වැඩවලට උත්උදවු පවා දීලා තියෙනවා. ඒවා  කියන්න මට අද ලජ්ජා නෑ.

කොහෙද ලලිත් අධ්‍යාපනය හැදෑරුවේ?
මම ඉගෙන ගත්තෙ හඳපාන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙ. මම ගොඩාක් අමාරුවෙන් ඉගෙන ගත්තෙ. මගේ ඉගෙනීමට අවශ්‍ය කරන පොත්පත් හැමදෙයක්ම මම ගත්තෙ මගේ උත්සාහයෙන්. මගේ පොඩි කාලෙ වින්ඳ දුක් ගැන මම කවදාවත් මගේ අම්මාට තාත්තාට දොස් කියන්නෙ නෑ. ඒ දෙන්නා හරිම දුප්පත් දෙන්නෙක්. මට අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි නංගි කෙනෙකුයි ඉන්නවා. මගේ අම්මා තාත්තා ඒ දෙන්නට කරන්න පුළුවන් උපරිමයෙන්ම මට කළා. මම මොනතරම් දුක් වින්ඳත් හැමදාම ඉස්කෝලෙ ගියා. ඒ වෙනුවෙන් පවා මට සහතික ලැබුණා. මම අමාරුවෙන් ඉගෙන් ගත්ත දරුවෙක්. හැබැයි මම ජීවිතේට සිගරුට් එකක් බියර් එකක් තියා කිසිම දෙයක් පාවිච්චි කරලා නෑ. මගේ අතීතය කියන්න මට දුක නැහැ. මම ඒ හැම දුකක්ම විඳලා අද හොඳ තැනක ඉන්නවා.

පිටරට තරගයකට ගියේ මාලයයි බයික් එකයි උගසට තියලා

ලලිත්ට නර්තනයට ආසා හිතුණේ කොයි කාලෙදිද..?
පුංචි කාලෙ ඉඳන්ම නර්තනය මගේ ඇඟේම තිබුණා. මම හිතන්නෙ ඒක මම පෙර ආත්මයෙන්ම අරගෙන ආපු දෙයක් කියලයි. මම මුලින්ම හඳපාන්ගොඩ මහා විද්‍යාලයේ පද්මා ටීචර්ගෙන් තමයි නර්තනය ඉගෙන ගත්තෙ. මම උඩරට නර්තනය තමයි මුලින්ම ඉගෙන ගත්තෙ. ඊටපස්සෙ මම ශාන් කරන්නාගොඩ ගුරුපියාණන් යටතේ නර්තන අංග කීපයක්ම ඉගෙන ගත්තා. කෙවින් නුගේරා සර් යටතේ මම ඉගෙන ගත්තා.

ඒ හැමදෙයකටම ලලිත් මුදල් හොයාගත්තෙ කුලී වැඩ කරලද..?
මම ගොඩාක් ඩාන්සින් ක්ලාස්වලට සල්ලි දීලා නෑ. ගුරුවරු මගේ හැකියාව දැකලා මට උගන්නපු අවස්ථා තිබුණා. සමහර පන්ති කරන තැන්වලට ගිහින් මම ඒ දිහා බලාගෙන ඉඳලා තියෙනවා. සමහර දවස්වලට පන්ති කාමර ඇතුළෙ ගුරුවරු වෙනත් ළමයින්ට උගන්වද්දි මම එළියෙ ඉඳන් ඒ දිහා බලාගෙන ඉඳලා එළියෙ නටපු අවස්ථාත් අනන්තයි. එහෙම නටන සමහර දවස්වල ගිනිඅව්ව. සමහර දවස්වල පුදුම වැස්ස. ඒත් මම නොනවත්වාම නැටුවා. එහෙම නටනවා දැකලා සමහර ගුරුවරු එන්න පුතා.. ඇතුළට ඇවිත් පුරුදු වෙන්න කියලා මට දයාබර වුණා. සමහර ගුරුවරු මම එළියෙ නටනවා දැකලා මාව පන්නගත්තා. මම පන්ති ගාස්තු දුන්නෙ නැහැ කියලා මහ රෑ එක්තරා නර්තන පන්තියකින් මාව එළියට දැම්මා. ඒ හැමදෙයක්ම මේ ආපු ගමනට ලොකු ශක්තියක් වුණා.

පන්ති ගාස්තු දුන්නෙ නැහැ කියලා මහ රෑ නර්තන පන්තියකින් මාව එළියට දැම්මා

වරක් ලලිත් විදෙස් නර්තන තරගාවලියකටත් සහභාගි වුණා නේද..?
ඔව්... ඒ ගිය අවුරුද්දෙ. ඉන්දුනීසියාව, සිංගප්පූරුව වගේ රටවල්වල දක්ෂයන් ඒ තරගාවලියට සහභාගි වුණා. ඒ තරගාවලියට මායි මගේ ගෝලයෙකුයි සහභාගි වුණා. ඒ ගමනට අපි මුදල් හොයාගත්තෙ මගේ බයිසිකලෙයි මාලෙයි ගෝලයාගෙ බයිසිකලයයි උගස් තියලයි. අපිට මේ ගමන යන්න කිසිම අනුග්‍රහයක් තිබ්බෙ නෑ. අපි තරග නවයකට ඉදිරිපත් වෙන්න ගියාට අපිට තරග දෙකකටයි ඒ අය සහභාගි වෙන්න දුන්නෙ. අපි ඒ තරගාවලි දෙකම ජයග්‍රහණය ලැබුවා. ඒ හැම තරගාවලියක්ම ජයග්‍රහණය ලැබුවේ ගොඩාක් මහන්සිවෙලා. අභියෝගත් එක්කයි.

අද ලලිත්ව කවුරුත් දන්නෙ එක්තරා රූපවාහිනී නාලිකාවක නර්තන කිරුළක් වෙනුවෙන් පැවැත්වෙන තරගයක් හරහා..?
ගියපාර ඒ තරගාවලියේදී මම සහාය ගුරුවරයෙක් විදිහට ඉගැන්නුවා. ඉතින් මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක් තමයි මේ. මගේ දක්ෂතා හඳුනාගෙන මට ඒ අවස්ථාව දුන්න හැම කෙනෙකුටම මම හදවතින්ම ස්තූති කරනවා.

ලලිත් පොඩි දරුවන් එක්ක ත්‍රාස්‍යජනක නර්තන ඉදිරිපත් කරන්න දක්ෂයි වගේ..?
මම යෝග ගුරුවරයෙක්. අංගම්පොර මාස හයක් මම කරලා තියෙනවා. මම දවසකට පැය හත අටක් පුහුණුවීම් කරනවා. මම මුලින්ම පුංචි දරුවෙකුගෙ හදන්නෙ මනසයි. මම ඒ දරුවන් හැමෝටම ආත්මශක්තිය දෙනවා. මම ගොඩාක් දුක් විඳලා ආපු කෙනෙක් විදිහට මම දන්නවා ඕනෑම දෙයක් හිතුවොත් කරන්න පුළුවන් කියලා.

ලලිත් සමහර අභියෝග බාරගන්නෙ ජීවිත අවදානමත් එක්ක..?
ඔව්.. මම එකපාරක් උසක ඉඳන් ටියුබ් ලයිට් හතළිස් අටක් උඩට පැන්නා. ලෝක වාර්තාව වන්නෙ ටියුබ් ලයිට් එකසිය අසූ අටක්. මම ඒකට බොහෝ තැන්වලින් උදව් ඉල්ලුවා. මම ක්‍රීඩා අමාත්‍යාංශයටත් තුන්පාරක් විතර ගියා. ඒත් අද වෙනතුරු මට ඒ වාර්තාව තියලා ලංකාව ලෝක වාර්තාවට ගෙනියන්න අවස්ථාව දුන්නෙ නෑ. මට ඒ වාර්තාව තියන්න පුළුවන් කියලා මම දන්නවා. ගුරුවරයෙක් විදිහට මම හැමවෙලේම දරුවාගේ මනස හදනවා වගේම ඒ හැමදෙයක්ම මම මුලින්ම කරලා පෙන්නනවා. එතකොට දරුවාගේ බය නිතැතින්ම නැතිවෙලා යනවා. තමන්ට තමන්ව විශ්වාස නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

ලලිත්... අද ඉන්න තැන ගැන සතුටුයිද...?
ඔව්.. ඇත්තෙන්ම. මම දුක් වින්දා. අදටත් ඒ දුක මට හුරුයි. මම පින්දහම් කරනවා. මම පව් කරන්න බයයි. එදා මට කන්න හරියට තිබුණෙ නෑ. ඒත් අද මම හොඳ සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. අද මම ගමේ හැම මළගෙදරකටම හාල් මිටියක් දෙනවා. මගේ ජීවිතේ මම හම්බකරන දේවල්වලින් අපේ පවුලේ අයගෙන් පිට තුන්දෙනෙක්ම මම ජීවත් කරවනවා. එයා‍ලගේ හැම මාසෙම බෙහෙත් අරගෙන දෙන්නෙ මම.. ඒ අයගේ ආශිර්වාදය මට හොඳටෝම ඇති. ඒක තමයි මගේ ආධ්‍යාත්මික ශක්තිය වෙන්නෙ.

දරුවන් එක්ක, ඔයාගෙ ගෝලයත් එක්ක ඔය වගේ අවදානම් වැඩ කරද්දි අකරතැබ්බ, අනතුරුදායක දේවල් එහෙම වෙලා නැද්ද..?
අපේ ලංකාවේ හැමදේටම පහසුකම් නෑ. හැමදේම පුරුදු පුහුණු වෙන්නෙ සාමාන්‍ය පොළොවේ. පිටරට අය කේබල්වල මෙට්ට්‍රස්වල තමයි පුරුදු පුහුණු වෙන්නෙ. මගේ අතින් ලොකු ගැහැනු ළමයෙක්ව ලිස්සලා ගිහින් නිකට යට මැහුම් පහක් ගැහුවා. ඒක තමයි මගේ ජීවිතේ තියෙන දරුණුම අත්දැකීම. පොඩි දරුවන්ව නම් මට පාලනය කරන්න, අල්ලගන්න ලේසියි. ඒත් චූටි මනසකට ඒක කියලා දෙන්න ගියාම හරි අමාරුයි.

අද වෙද්දි ලලිත් වෘත්තිමය නර්තන ශිල්පියෙක්..?
ඔව්.. මම හොරණ පන්ති පවත්වනවා. ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ බාහිර අංශයේ මම නර්තනය උගන්වලා තියෙනවා. බොහෝ පාසල්වලට නර්තන වැඩමුළු කරනවා. මම ගින්දර එක්ක ගොඩාක් සෙල්ලම් කරනවා. ගින්දර උඩ මට නටන්න පුළුවන්. ගින්දරවලින් පුරුදු පුහුණු වෙද්දි මාව හොඳටෝම පිච්චිලා තියෙනවා. මම ඒ පුරුදු පුහුණු වෙන්නෙ පෙට්‍රල්වලින්. අද වෙනකොට ගින්දර එක්ක ඕනෑම නර්තනයක් මට කරන්න පුළුවන්.

ලලිත්ව උස තැනකින් බිමට වැටුණු අත්දැකීමක් තියෙනවා නේද...?
අම්මෝ ඔව්.. පිටරටවල උඩට උස්සන්නෙ කරන්ට් කේබල් මැෂින්වලින්. ලංකාවේ එහෙම නෑ. ලංකාවේ බොලොක්කයක් දාලා තමයි කට්ටිය උඩට අදින්නෙ. එහෙම මාව උඩට අදිද්දි බොලොක්කෙ පැනලා අඩි හැත්තෑවක් උඩදි මාව අතහැරුණා. ඒ වෙලාවේ ස්ටේජ් එකට වැටුණු මාව මැරුණා කියලයි කට්ටියම හිතුවේ. මම එකපාරටම අත්දෙක උස්සලා ස්ටේජ් එකේ හිටගනිද්දි කට්ටියම පුදුම වුණා. එදා මට සීරිමක්වත් වුණේ නෑ. මම මගේ ගෝලයන් පිරිසව මතක් කරන්න ඕනෙ. මගේ ක්ලාස් එකේ ළමයි නිසා තමයි අද මම මෙතන ඉන්නෙ.
 

► Text -Dishani / Pic-Sumudu

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00