2017 ජනවාරි 07 වන සෙනසුරාදා

අහස් පියස යට...

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

වසරකට සමුදෙමින් නව වසරක් පිළිගන්නා බලාපොරොත්තුවලින් පිරුණු ඇරඹුමක් තවමත් හිත්වලට දැනෙනවා. හැමෝම වගේ හිතන්නේ මේ වසරේදි තමන්ගෙ අරමුණු කරා යන විදියයි. මිනිසාගේ ජීවිතය දැන් වඩාත් සංකීර්ණ වී ඇති නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය, මිල මුදල්, විනෝදාස්වාදය, ආරක්ෂාව, වගේ අරමුණු පොදුවේ මිනිසුන්ට තියනවා. යාන වාහන, නිවාස ඇඳුම් පැළදුම් වගේ අවශ්‍යතාත් ඒ කරුණු සමඟම බැදී ඇති නිසා ජීවිතය කියන්නේ නොසිදෙන බලාපොරොත්තු උල්පතක් වගේ. ඒ වගේම ඒ අරමුණු ඉටුකර ගන්නට යන ගමනේදී දුක, වෙහෙස, කැපකිරීම්වලට වඩා සතුට, සැනසීම වැඩි වැඩියෙන් ලැබෙන්න කියලයි හැම විටම අපේ පැතුම. නමුත් ජීවිතය කියන්නේ ලැබීම් මෙන්ම නොලැබීම්ද ඇති සතුටට වඩා දුකද ඇති වෙහෙසකාරී ගමනක් බව ගම්‍ය කර ගැනීමෙන් මේ වසරේදී අලුත් ගමනක් යන්න පහසුවේවි. ආත්ම විශ්වාසය ඇතිව තමන්ට පළමුව ආදරය කිරීමට දිරිදෙමින් ඒ ආදරය සමාජයේ සෙසු අයටත් මුදාහරින්නට හැකි ආකාරය ගැන කිවි පොළොවේ අය පළ කරන විවිධ අදහස් මේ දිනවල නිතර ඇසෙනවා. වසරින් වසර ලෝකයේ තරගකාරිත්වය වැඩිවෙනවා. ඒ වගේම මිනිස් සබඳතා මෙන්ම මිනිසුන්ගේ ජීවන පැවැත්මත් සංකීර්ණ කරමින් දැඩි වෙනස්කම් සිදුවෙනවා. ඒ නිසා තරගකාරී ජීවන පැවැත්ම අතරේ බොහෝ දෙනෙකුට තමන්ව මඟහැරෙන බව දැනෙන්නේ නැහැ. එබැවින් මේ වසරේදීවත් තමන්  බලාගැනීම වෙනුවෙන් යම් කාලයක් වෙන් කරගන්නට උත්සුක වීම වැදගත්. තනි පුද්ගලයෙකු ලෙස සෑම අයෙකුම ලබාගන්නා ජයග්‍රහණය සමූහයක් විදියට මුළු විශ්වයේම පැවැත්මට හිතකර වනවා වගේම එය මේ බිම ජීවත් වීම සඳහා වඩාත් සුදුසු තැනක් බවටත් පත්කරනවා.

මේ ගෙවී යන්නේ තමන් ගැන ස්වයං විවේචනයකට වඩාත් සුදුසු කාලය බැව් ඉතා හොඳින් පෙන්වා දී තිබුෙණ් කිවි පොළොවේ පුවත්පත් කතුවරියක්. ඈ ඒ වෙනුවෙන් හොඳ අභ්‍යාසයක්ද කියා දී තිබුණා. පහුගිය වසරේදී තමන් ළගා කරගත් හොඳ දේ සහ නරක දේ ලැයිස්තු ගත කළ යුතුයි. ඒ අනුව මේ වසරේදී ළගාකරගත යුතු හොඳ දේ සහ බැහැර කළ යුතු දේ ඊළගට ලැයිස්තු ගත කළ හැකියි. ඉදිරි වසර ආරම්භයේදී ගෙවී ගිය වසරේ සාර්ථකත්වය මැන ගන්නටත් එය කදිම මිණුමක් වේවි. 
මේ විදියට ලැයිස්තු ගත නොකළත් සමහරැ සිතින් දින තබා ගෙන යම් අරමුණු කරා යන්නට වෑයමක යෙදෙනවා. ඒ වගේම නරක ඇබ්බැහිකම් ඇති සමහරැ ඒ පුරුදු අත්හරින බව කියන්නේ යම් විශේෂ දින ගැන සදහන් කරමින්. ජනවාරි පළමුවෙනිදා, වෙසක් පොහොය හෝ නිදහස්  දිනය වගේ විශේෂ දිනයක් ඉලක්ක කරගෙන ඇතැම්  පුරුදු අත්හරින බැව් කිව්වත් ඒ දින නිකම්ම ගෙවී යන්නේ ඒ වචන ප්‍රායෝගිකව ක්‍රියාවට නොනැගෙන නිසයි. නවසීලන්තයේ ජීවත්වන කා අතරත් ආදරය දිනාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන වෛද්‍ය අසෝක ඩයස් මහතා මේ දිනවල ඉන්නේ ලංකාවේ. නිවාඩුවේ රට තොට ඇවිදින්නට සහාය වන රියදුරෙකු තමන්ගේ ලෙඩ රෝග ගැන වෛද්‍යතුමාගෙන් උපදෙස් ඉල්ලුවාලු. කාලයක් තිස්සේ මත්වතුරට ඇබ්බැයි වූ එම පුද්ගලයා පළමුව කළ යුත්තේ තමන්ගේ එම වැරදි පුරුද්ද අත්හැරීම බවයි වෛද්‍යවරයාගේ කියා ඇත්තේ. ඉතින් අලුත් අවුරුද්ද ලබන දිනයේදීම රියදුරැ මහතා තම පුරුද්දෙන් මිදුනාලු. මෙවැනි දේ හෙටට කල් දැමීමෙන් තමන්ට තමන්ව අහිමි කරගැනීම ඉක්මන් කරගන්නා වැඩි  පිරිස අතරේ ඒ රියදුරු මහතා කාටත් ආදර්ශයක්. 

පැරුණි පුරුදු වෙනස් කරමින් අලුත් අවුරුද්ද පිළිගන්නට කිවීන් වෙත ලැබුණු උපදෙස් කිහිපයක් ගැන කියන්නට හිතුණේ එය කාටත් වැදගත් වන නිසයි. විශේෂයෙන්ම ආහාර  පුරැදු නිරෝගී ජීවිතයකට මඟ කියා දෙනවා. සොබා දහමෙන් ලැබෙන එළවළු පළතුරුවලට අපේ නිරෝගීකම තහවුරු කරදෙන්නට වඩා හැකියාවක් ඇති බව අලුත් කතාවක් නෙමෙයිනේ. පිටි කෑම වගේම ක්ෂණික ආහාරවලට අද කාලේ වැඩි ඉල්ලුමක් සහ කැමැත්තක් ඇතත් ඒවා ජීවිතය කෙටි කර දෙන බවත් අමතක කරන්නට හොඳ නැහැ. මේ කිවි පොළොවේ ගිම්හාන සෘතුවේ පළතුරු අස්වනු නෙලන සමයක් වගේම සරත් සමයේදී විශාල අස්වැන්නකට සූදානම් බව ගස් වැල් වලින් නිහඬ පණිවුඩ ලැබෙන සමයක්. තමන්ට ඇති කුඩා ඉඩකඩ උවත් කළමනාකරණය කරගෙන අපූරැ ගෙවත්තක් පවත්වා ගෙන යන්නට කිවීන්ගේ ලොකු උනන්දුවක් ඇති නිසා අලුත් එළවළු පළතුරැ ගැන මැසිවිලි කියන්නට සිදුවන්නේ නැහැ. එහෙත් මෙහි සෘතු සහිත දේශගුණය හේතුවෙන් වසරේ හැමදාම බොහෝ පළතුරු හෝ  එළවළු භෝග වගාවට සොබාදහමෙන් අවසරයක් නැහැ. එහෙත් අපේ සරුසාර ලක් පොළොවේ දේශගුණික තත්ත්වයේ මෙහි වගේ විශාල වෙනස්කම් සිදුනොවන නිසා තමන්ගේ ගෙවත්තේ හෝ මිදුලේ ඉඩ කඩ ඇති විදියට එළවළු පළතුරු වගා කර ගනිමින් එය වසර පුරාම නඩත්තු කර ගන්නටත් හැකියාව තියනවානේ. ඒ වාසනාව සොබා දහමෙන්ම ළගා කර දී ඇති නිසා ගතේ සනීපය වගේම සිතටත් සතුට එක්කරගන්නට අපේ අයට හැකියාව තියෙනවා. ඒ වගේම අපි තුන් වේලටම කන්නේ බත් කියලා මහත් ආඩම්බරයෙන් කියන පිරිසක් හිටියත් ඒ තරමටම ශරීරයට ව්‍යායාමයක් නොදුන්නොතින් මේ වසරේදී නිරෝගීකම අභියෝගයක් වෙන්නත් පුළුවන්. ඉස්සර මුතුන් මිත්තන් ආහාරයට සරිලන විදියට වැඩපළ කළ නිසා ලෙඩදුක් නැතුව ඉන්නට හැකියාව ලැබුණා. දැන් කාලය වගේම තාලයත් වෙනස් නිසා පිටි ආහාර සහ සීනි පරිභෝජනය සීමා කිරීම වගේම එළවළු පළතුරැ පරිභෝජනය ඉහළ දැමීම ගැන කිවි පොළොවේ වගේම මුළු ලෝකයේම උනන්දුව වැඩි කෙරෙන බවත් කිව යුතුයි.

වසරක් ඉක්මනින් ගෙවී යන බව දැන් අපට දැනෙන්නේ අප ජීවත් වන බව නොදැනෙන නිසයි. අප ගැන සිතන්නට කාලයක් වෙන් කර ගන්නේ නැති නිසා යමක් නිදහසේ විදින්නට අපට ඉස්පාසුවක් නැහැ. අති ධාවනකාරී මනසින් දවසේ පැය විසි හතර ගෙවන අතරේ තමන් වෙනුවෙන් කාලයක් ලැබුෙණාත් මේ වසර වෙනදාට වඩා හෙමින් ගිය වග ලබන දෙසැම්බර් මාසේ තිස් එක්වෙනිදාට හිතේවී...

 Nilmini Weewalathanna

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00