2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

බොක්ක දෙන්න පුළුවන් යාළුවෙක් හමුවුණා

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

අනුජ් මතකද 2017 පටන් ගනිද්දී තිබ්බ බලාපොරොත්තු...? 
ඔව්... මට තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමා චිත්‍රපටයක් කරන එක. ඒක මම කරන්න ඉන්නේ හර්ෂ උඩකන්ද එක්ක. නමුත් අප්‍රේල් මාසේ ආව ගංවතුර තත්ත්වය නිසා ඒක එහාමෙහා වුණා. ඒ නිසා මට ඒක තවම කරගන්න බැරි වුණා. ඒත් තවම බලාපොරොත්තු අතහැරලා නැහැ. දෙසැම්බර් මාසේ හරි පටන්ගන්න ඉන්නේ.

මොනවද මේ අවුරුද්දේ කළ වැඩ...? 
අවුරුද්ද පටන් ගනිද්දීම රූපවාහිනි නර්තන තරගයක වැඩ කටයුතු කළා. ඒ වගේම ඒ හරහා මගේ නර්තන හැකියාව පෙන්නවන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම “වස්සානේ සඳ චිත්‍රපටය, “අග පිපි මල් චිත්‍රපටයේ වැඩ සහ මෙඝා චිත්‍රපටයේ වැඩකටයුතු කළා. 

2017 අවුරුද්දේ මේ ගෙවුණු කාලය තුළ ජීවිතයට අලුතින් එකතු වුණ දේවල් මොනවද...?
රූපවාහිනි නර්තන තරගයක් නිසා මගේ නර්තන හැකියාව වැඩිදියුණු කරගන්න පුළුවන් වුණා. ඒවගේම මම Acting Work Shop කිහිපයකටත් මේ අවුරුද්දේ සහභාගී වුණා. ඒ හරහා මගේ කලා ජීවිතයට දේවල් ගොඩක් එකතු කරගත්තා.

ඒ හරහා ලැබුණු අවස්ථා තියෙනවාද...?
ඔව්... මගේ නර්තන හැකියාව නිසා මට එක්තරා නර්තන ප්‍රසංගයකට ආරාධනා ලැබුණා. මගේ ජීවිතේ First Time තමා මේ වගේ දැවැන්ත එළිමහන් වේදිකාවක නර්තනයක යෙදුණේ. ඉතින් ඒක මේ අවුරුද්දේ මට ලැබුණු හොඳ අවස්ථාවක්.

එක් නිර්මාණයක් නිසා මඟහැරුණු තව නිර්මාණ තියෙනවාද...?
මෙහෙමයි... චිත්‍රපට නම් මඟහැරුණේ නැහැ. නමුත් පසුගිය කාලේ රූපවාහිනි නර්තන තරගයක් නිසා Music Video දෙක තුනක් නම් මඟහැරුණා.

අනුජ්ගේ සිනමා නිර්මාණයක් මේ අවුරුද්දේ තිරගත වුණේ නැහැ නේද...?
“වස්සානේ සඳ චිත්‍රපටය බොහෝ දුරට මේ අවුරුද්දේ අවසාන වෙන්න කලින් තිරගත වෙයි. දැනටමත් ඒ චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල දර්ශන වාර 4ක් පෙන්නලා තියෙනවා. ඒවගේම එහි ඉන්න අයගෙන් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ඉතින් ඒවගේම මම හිතනවා ලංකාවේ ප්‍රේක්ෂයින් පවා ඒ චිත්‍රපටය ආදරෙන් වැළඳගනී කියලා.

මේ අවුරුද්දේ ජීවිතයට ගොඩක් සමීප වුණු අය ඉන්නවාද...? 
හ්ම්ම්... එහෙම අය ඉන්නවා. ඒ අතර මම හිතනවා හර්ෂ උඩකන්ද කියන්නේ එහෙම මේ අවුරුද්දේ ජීවිතයට ගොඩක් සමීප වුණු කෙනෙක්. මොකද අපි දෙන්නා තමා එකට මේ චිත්‍රපටය කරන්න හැදුවේ. ඒ නිසා ටිකක් වැඩිපුර අපි මුණගැහුණා කතා කළා. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විතරක් නෙවෙයි ඔහු මට හම්බුණ හොඳ යාළුවෙක් කියලා කියන්න පුළුවන්. මොකද මේ ෆීල්ඩ් එකේ බොක්ක දෙන්න පුළුවන් යාළුවෙක් තමා හර්ෂ කියන්නේ. ඒ නිසා ඒ යාළුකම හිතවත්කම තව තවත් වැඩිවුණ අවුරුද්දක් 2017.

එතකොට හිත් අමනාපකම් ඇති වුණ අය ඉන්නවාද...?
එහෙම නම් නැහැ. මොකද මම එහෙම හිත් අමනාපකම් තියාගන්න කෙනෙක් නෙවෙයි. මම හැමෝම එක්ක කතා කරලා හිනා වෙලා ඉන්න කෙනෙක්. මට කෙනෙක් බැන්නත් මම හිනාවෙලා ඒ දේවල් භාරගන්න කෙනෙක්. මම එහෙම ඉන්න එකත් සමහර අයට ප්‍රශ්නයක් වෙලා ඇති. නමුත් ඉතින් ඒ තමා මගේ හැටි.

2017 අවුරුද්දේ මෝස්‌තර නිරූපණයෙන් අනුජ්ව දකින්න ලැබුණේ නැත්තේ ඇයි...?
ඇත්තටම බැලුවොත් ලංකාවේ 2017 අවුරුද්දේ මෝස්‌තර නිරූපණයෙන් මොනවාද සිද්ධවුණේ කියලා තමා මුලින්ම බලන්න ඕනේ. අපිට වැඩකරන්න එහෙම shows තිබ්බේ නැහැ. ලංකාවේ දැන් සිද්ධ වෙන්නේ Pageant. නමුත් හොඳ Model Show තිබ්බේ නැහැ. මම හිතන්නේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා වෙන්න ඇති එහෙම දේවල් වෙන්නේ.

මට මතකයි අනුජ් කිව්වා රංගනයෙන් ස්ථාවර වෙනකම් ආදරය ගැන හිතන්නේ නැහැ කියලා. දැන් නම් ආදරය ගැන හිතලා නේද තියෙන්නේ. ඒ කියන්නේ රංගනයෙන් දැන් ස්‌ථාවරද...?
අනේ නැහැ... තාම මේ මම මේ ගමන අතපත ගාගෙන යනවා.

ඒ අතර ආදරය හමුවුණා එහෙමද...?
ඒ අතර ආදරය හමුවුණාද කියලා බලමු අපි ඉස්සරහට. කොයි ආකාරයට ද මොන විදිහට ද වෙන්නේ කියලා ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි. මම එදා වගේමයි අදත් කිසිම දෙයකට ඉක්මන් වෙන්නේත් හදිස්සි වෙන්නෙත් නැහැ. මට යන්න ගමනක් තියෙනවා. ඒ ගමන මම යන්නේ අරමුණක් එක්ක. ඉතින් කිසිම කලබලයක් නැහැ කිසිම දෙයකට. සියල්ල මම කාලයට භාර දීලා ඉන්න කෙනෙක්. ඒ වගේම මට ප්‍රශ්න තිබ්බ කාලවලත් මම එහෙමම හිටියා. ඒවට කාලය මට විසඳුම් දුන්නා.

අනුජ් බලාපොරොත්තුවෙන් ඉන්න චරිතයක් තියෙනවාද...?
දැනට මම කළ චරිත දිහා බැලුවොත් මට විවිධ චරිත ලැබුණා. සම්ප්‍රදායික පෙම්වතා බවට පත්වුණේ මේ වගේ ආදරයක් චිත්‍රපටයේ විතරයි. නමුත් මම ගොඩක් කැමති ක්‍රියාදාම චිත්‍රපටවලට. සටන් ජවනිකා එහෙම ඇතුළත් චරිතයක් කරන්න මම ආසාවෙන් ඉන්නවා.

අනුජ් ගෙවුණු අවුරුදුවලින් ජීවිතේ වෙනස් කරපු අවුරුද්ද මොකක්ද...?
2010 ඔක්තෝම්බර් 5 වැනිදා තමා මම හිතන්නේ අනුජ් රණසිංහ කියන චරිතය එළියට ආවේ. ඒ මිස්ටර් ශ්‍රී ලංකා කිරුළත් එක්ක. ඒ ලැබුණු වටිනාකමත් එක්ක මට ලැබුණු පෞරුෂය මම හිතන්නේ නැහැ මට වෙන විදියකට ලැබෙයි කියලා.

2018ට අරන් යන ලොකුම බලාපොරොත්තුව මොකක්ද...?
චිත්‍රපට දෙකක් මම කරන්න බලාපොරොත්තුවෙන් හිටියා. එකක් තමා මේ අවුරුද්දේ අග කොහොමහරි පටන් ගන්න හදන්නේ. අනිත් එක Red කියන චිත්‍රපටය. ඒක තමා මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම මම කලින් කිව්වා වගේ සුපර් හීරෝ චරිතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

► Text – Anusha Ranasinghe   / Pic - Sumudu