2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

දැන් මූඩ් එන්නෙම නෑලු

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

එක්තරා නව පරපුරේ තරුණ නළුවෙක් මේ දිනවල රූපගත කරන චිත්‍රපටයක රඟපානවා. ඔහු රඟපාන්නෙ වාදකයෙකුගෙ චරිතයක්.

චිත්‍රපටයෙ ඔහු වැඩියෙන්ම වාදනය කරන්නෙ වයලීනයයි. ඔහු සැබෑ ජීවිතයේ ද වයලීන් වාදනයට දක්ෂයිලු. ඔන්න චිත්‍රපටයෙ වැඩ කරපු මුල් කාලෙ වගේ නෙවෙයිලු, සතියක් දෙකක් යනකොට මේ නළුවා චිත්‍රපටයෙ කණ්ඩායමට විවිධ පූස්පාට් දානවලු.
වයලීනය වාදනය කරන දර්ශන තියෙන දවස්වල, මෙයා අමුතු දේවල් කියනවලු.

අනේ බුදු අයියේ අද නම් මට වයලීන් ගහන සීන් කරන්න බැහැ. මට හරි මූඩ් එකක් නැහැ. එහෙම කිව්වම අධ්‍යක්ෂකට කරකියාගන්න දෙයක් නැහැල්ලු.
ඇයි මල්ලි මෙහෙම අපිට කරන්නෙ. ඔයා මේ චරිතෙ කැපවීමෙන් කරන්න පොරොන්දු වුණ නිසානෙ ඔයාව මේකට ගත්තෙ, අසරණ අධ්‍යක්ෂකවරයා කිව්වලු.
ඒක ඇත්ත තමයි, ඒත් මට මූඩ් එකකට එන්නෙ නැතුව වයලීන් ගහන්න බෑ, ඒකයි ප්‍රශ්නෙ, නළුවා කිව්වලු.

 

ඇයි මට Call නොඑන්නෙ?

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ මාධ්‍යවේදියෙකුට පහුගිය දවසක ඔහුගේ හොඳම හිතවතෙකු කතා කරලා ඉල්ලීමක් කළාලු.
මගේ හිතවත්ම මල්ලි කෙනෙක් ඉන්නවා, පොඩි කාලෙ ඉඳලම රඟපාන්න පුදුම උණක් තියෙන්නෙ. ඔන්න දැන් ටෙලිනාට්‍ය තුන හතරක පොඩි පොඩි චරිත කරලා තියෙනවා. පුළුවන් නම් එයා ගැන මොනවහරි පොඩි කෑල්ලක් පත්තරේ දාලා දෙන්නකො.

මාධ්‍යවේදියා ටික කාලයක් දෙන්න කිව්වලු වැඩේ කරන්න. ඒ අතරතුර අර මල්ලිට මාධ්‍යවේදියාගෙ ෆෝන් නම්බර් එක යාළුවා දීලා.
ඔන්න දැන් මාධ්‍යවේදයාට ඉන්න නැහැල්ලු. දවසට තුන් හතර පාරක් අර මල්ලි කතා කර කර වාත වෙනවලු. මාස දෙකක් විතර ගියාට පස්සෙ එයා ගැන පුංචි කෑල්ලක් දාලා දුන්නලු, එයාගෙ දුරකතන අංකෙත් සඳහන් කරලා.
පත්තරේ පළවෙලා දවස් දෙකක් ගියාට පස්සෙ මෙයා ආයිත් කෝල් කර කර ඉන්නවලු මාධ්‍යවේදියාට.
ඒ පාර මොකද මල්ලි, පත්තරේ ගියානෙ?

අනේ අයියේ, පත්තරේ ගියා, හැබැයි ඒත් මේ වෙනකම් මට කවුරුත් කතා කළේ නැහැනෙ. 
මාධ්‍යවේදියාට මල පැන්නලු.
ඒකට මට මොනවද කරන්න කියන්නෙ මල්ලි. ඕනෙනම් මම රෑවෙලා ඒකට කෝල් එකක් ගන්නම්. ඔහු කිව්වලු.

 

තාත්තලත් විකුණන සහාය අධ්‍යක්ෂකලා

මේ දිනවල චිත්‍රපට ක්ෂේත්‍රයේ වගේම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් දිනෙන් දින පිරිහෙන වෘත්තීය ගරුත්වය ගැන වෙනදාටත් වඩා කතාබහට ලක්වෙලා තිබෙනවා.

පහුගිය දවසක ටෙලිනාට්‍යයක වැඩ කළ සහාය අධ්‍යක්ෂකවරයෙක් රූපගත කිරීම් නිමවෙන්නට සති තුනක් තිබියදී තාත්තාට ගොඩාක් අසනීප බව පවසලා මේ වැඩෙන් අයින්වෙලා ගිහින්.
නිෂ්පාදකවරයා ඔහුගේ පඩිය මෙන්ම තව වැඩිපුර ගාණකුත් දීලා තියෙනවා තාත්තාගේ අසනීපෙට ප්‍රතිකාර ගන්නට.

ඒත් සතියක් යන්නට කලින් මේ අයට ආරංචිවෙලා මේ AD ගිහින් තියෙන්නෙ අලුත් ටෙලිනාට්‍යයක වැඩ කරන්න මිසක් තාත්තාගෙ අසනීපයක් නිසා නොවන බව.
තමන්ගෙ මවුපියනුත් විකුණන් කන මේ වගේ තව කොහෙද වෘත්තීය ගරුත්වය රකින්නෙ, කියලයි ක්ෂේත්‍රයේ අය අහන්නෙ.

ලක්සරි නිළියට ඩෝං ගිහින්

මේ කතාව තවත් නව පරපුරේ අලුත් නිළියක් ගැන අලුත් ආරංචියක්. කොළඹින් බැහැර එක්තරා ගමක තමයි මෙයා රඟපාන ටෙලිනාට්‍යයේ ෂූටිං සිද්ධවෙන්නෙ. මේ කියන නිළිය ප්‍රධාන චරිතයක් රඟපානවා. මැයට වඩා ප්‍රවීණ කට්ටියක් මේකෙ වැඩ කළාට, මෙයා තරම් සැප පහසුකම් සොයන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන කෙනෙක් මේකෙ නැහැල්ලු.

ෂූටිං කරන දර්ශන තලය තියෙන්නෙ කට්ටියම නැවතිලා ඉන්න හෝටලයට කිලෝමීටර් දෙකක දුරින්ලු. ඒත් දර්ශන රූපගත කරන ගෙදර සෑම පහසුකමක්ම තියෙනවලු, අඩු වැඩි වශයෙන්.
වැසිකිළි පාවිච්චියත් එහෙමලු. මේකෙ වැඩ කරන හැමෝම පාවිච්චි කරන්නෙ මෙතන තියෙන බාත්රූම්. ඒත් මේ කියන නිළියට ලක්සරි දේවල් නැතුව බැරි නිසා, ඇගේ අවශ්‍යතාවය සඳහා පමණක් අර හෝටලයට එක්ක ගිහින් ආපහු ගේනවලු.
දවසක් ඔහොම එන ගමන් නිෂ්පාදක කළමනාකරු නිකමට වගේ ඇගෙන් ඇහුවලු, හැමෝටම යන්න පුළුවන් නම් ඔයාට විතරක් ඇයි මේ ටොයිලට් යන්න බැරි කියලා.

ඔන්න එදායින් පස්සෙ මලපැනපු නිළිය දැන් දින දෙන්නෙ නැහැල්ලු. දීපු දිනත් විවිධ හේතු කිය කියා කැන්සල් කරනවලු.

ආවා විතරයි ඩොලර් Talk

නිරූපණ ක්ෂේත්‍රයෙන් සින්දු විෂුවල් දෙක තුනක පෙනීහිටිය කලා ශිල්පිනියක් දැන් ටෙලිනාට්‍ය දෙක තුනක සැලකිය යුතු චරිත නිරූපණය කරනවා.
දැන් දැන් මෙයා අධ්‍යක්ෂකවරුන්ටත් ඉහළින් වැඩ කරන්න පටන් අරගෙන නිසා, ඇයට අලුත් ටෙලිනාට්‍ය කීපයකුත් අහිමිවෙලාලු.

සාමාන්‍යයෙන් දවසේ වැඩ කටයුතු අවසන් කරන්නෙ අධ්‍යක්ෂකනෙ. ඒත් මෙයා තමයි දැන් පැක්අප් තීරණය ගන්නෙ.
අනේ මට මහන්සියි. අදට මේ ටික ඇති අයියේ, කියලා මෙයා ගෙදර යන්න ලෑස්ති වෙනවලු.

මෙයාගෙ පෙම්වතාත් බොහෝ දවස්වලට ෂූටිංවලට එනවලු මෙයත් එක්ක. දැන් කට්ටිය කියන්නෙ, පෙම්වතාට පොඩි හෙම්බිරිස්සාවක් හැදුණත් මේ නිළිය වැඩ ටික නතර කරලා ගෙදර යනවලු.
ඉතින් ටෙලිනාට්‍යවල ගුණාත්මකභාවය ගැන කවර කතාද?

 

► Text - Mithra