2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

වීදුරු කොළ පාට වතුරේ නාමුද උණවටුනේ

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

අද අපි කොහෙද යන්නේ..... හුළඟත් වැඩියි.. සීතලයි... ඒ සීතලෙත් සීතලටම තුරුල් වෙන්න හිතෙනවා... අපි යමු කිමිදෙන්න... පච්ච පැහැ මැණික්වල දිලිසෙන කොළපාට වතුරේ නාන්න යමු... ඒ පාට තරම් ලස්සන පාටක්... අමුතුම කොළ පාටක්... රිදී පාටත් කලවම් වෙච්ච වීදුරු පාට කොළ පාටක්... ලංකාවේ ඒ වගේ වීදුරු කොළ පාට වතුරක් දැක්කේ මෙතනම විතරක්ද කොහෙද? එන්න යමු අපේ දූපත් රාජ්‍යයේ වඩාත්ම සුන්දර මුහුදු තීරයට... ඒ තමා උණවටුන මුහුදු තීරය.. walk 111 අපි අද ඔයත් එක්ක යන්නේ උණවටුන මුහුදු වෙරළට... යමු ලස්සන විඳලා නාලම එන්න.. ඇත්තටම ලංකාවේ වැඩිම දෙස් විදෙස් ආකර්ෂණයට ලක්වෙච්ච මුහුදු තීරය උණවටුන මුහුදු තීරය කීවොත් ඒක වැරදි නෑ.. 

වසරේ හැමදවසකම වගේ ඒ මුහුදු වතුරේ විරල වීදුරු කොළ පැහැය දකින්න පුළුවන්.. උණවටුන වෙරළ තීරය ගැන මුලින්ම අපේ මේ පුංචි දූපත් රාජ්‍යයේ වැසියන් දැනගත්තේ කොග්ගල මහා ප්‍රාඥයා ලෙසින් පසිඳු මාර්ටින් වික්‍රමසිංහ නිසා කීවොත් හරියටම හරි.. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හුඟක් නවකතාවල කොග්ගල ඉඳන් උණවටුන මුහුදු තීරය දක්වා මුහුදේ සුන්දරත්වය ගැන විචිත්‍ර වර්ණනා හුඟක් ලියවිලා තියෙනවා.  ඒත් උණවටුනට ජාත්‍යන්තරව මහා පිළිගැනීමක් එක්කළේ, එහි අලංකාරයට විදේශිකයන් වශී වුණේ උණවටුනට අසීමාන්තිකව ආදරේ කළ ආචාර්ය ආතර් සී. ක්ලාක් ලබා දුන්න ප්‍රචාරය නිසා. ආචාර්ය ක්ලාක් මුලින්ම ලංකාවට ආවේ 1956 අවුරුද්දේ. ලංකාවට ආව ආචාර්ය ක්ලාක් නවාතැන් ගත්තේ මුහුදට හුඟක්ම කිට්ටු තැනක.. ත්‍රීකුණාමලයේ කෝනේෂ්වරම් වෙරළෙත් උණවටුන වෙරළේත් කිමිදෙන්න ආචාර්ය ක්ලාක් හුඟක් ප්‍රිය කළා. ඒ අතරිනුත් ඔහුගේ ප්‍රියතම වෙරළ තීරය වුණේ උණවටුණයි. හුඟක් හැන්දෑවරුවල මේ වීදුරු කොළ පාට මුහුදු දියේ කිමිදීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශයක් වුණා. ඒ නිසාම ආචාර්ය ක්ලාක් නැවතී සිටියේත් උණවටුන වෙරළ තීරය ආසන්නයේම නවාතැනක.

උණවටුන වෙරළ තීරයේ සුන්දරත්වය විඳින අතරතුරේදීම ආචාර්ය ක්ලාක් විදේශීය සඟරා ආදියට උණවටුන මුහුදු තීරයේ ලස්සන ගැන ලියුවා. සේයාරූ පළ කළා. උණවටුන වෙරළ තීරයේ එක පසෙකින් නිල්වන් රූමස්සල කඳු ශිඛරයත් අනෙක් පසින් රිටිපන්න ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවරයනුත් දකින්න පුළුවන්...

උදේම හෝ වඩාත් හැන්දෑ නොවුණ හැන්දෑවක උණවටුන මුහුදු වෙරළේ නාන්න තියෙනවනම් ඇඟට දැනෙන සනීපය හිතට දැනෙන සතුට කොහොමද වචනවලට කැටි කරන්නේ.. ඒක ඒ තරම්ම සතුටක්.. ඒ තරම්ම සනීපයක්...
ඉතින් එන ඉරිදාත් යමු කොහේ හරි ඇවිදලා එන්න... ඉරිදා ලස්සන වෙන්නනම් කොහේ හරි අවිදින්නම ඕන... ඔව් අපිටනම් හිතෙන්නෙම එහෙමයි.
 

► Text -Saara / Pic-  Channa Kassapa Koralearachchi

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00