චන්දන මුලින්ම කියමුකො... ඒ කාලේ විස්තර ටිකක්..?
මගේ ගම කුරුණෑගල තෝරයාය කියන ප්‍රදේශය. පුංචි කාලේ ඉඳන් මට සංගීතයට පොඩි උණක් තිබ්බා. මගේ අම්මයි තාත්තයි දෙන්නම අද විශ්‍රාමික ගුරුවරුන්. ඒ නිසා මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ අය නම් නෙමේ. හැබැයි අපේ පවුලේ විශේෂ උත්සවවලදී අපේ බාප්පලා මහප්පලා එකතුවෙලා සින්දු කිව්වා. අපි ඒ දවස්වල ඒ අයගෙ පය පාමුල වාඩිවෙලා ඒ ගීතවලට අත්පුඩි ගැහුවා. සමහර සින්දු අපිත් කිව්වා. මගේ තාත්තාගෙ ගම රඹුක්කන. ඉතින් ඒ අවට තිබුණෙ කතෝලික පරිසරයක්. නත්තල් කාලෙට ගමේ පල්ලියෙන් ගම පුරා කැරොල් ගියා. මම බෞද්ධ කෙනෙක් වුණාට අපේ කතෝලික යාළුවෝ නිසා මාත් ඒවාට සහභාගි වුණා. ඒ නිසා කාලයක් තිස්සෙ පල්ලියේ කැරොල් කණ්ඩායමෙත් මම හිටියා.
චන්දන ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මම පාසල් කීපයකින්ම අධ්‍යාපනය ලැබුවා. මුලින්ම කුඩාකෝවාන කනිටු විදුහලෙත් ඊටපස්සෙ දිගන්පිටිය මහා විද්‍යාලයෙත් ඉගෙන ගත්තා. ශිෂ්‍යත්වය සමත්වී මම පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. ඉස්කෝලෙදිත් මම ගීත ගායනා කරන චරිතයක් වුණා. එක වසරේ ටීචර් මට සින්දුවක් කියන්න කිව්වාම මම කිසිම බයක් ලජ්ජාවක් නැතිව පන්තියෙ ඉස්සරහට ගිහින් සින්දු කියලා තියෙනවා. පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේදිත් පීරියඩ් එකක් ෆ්‍රී වෙච්ච ගමන් පන්තියේ කොල්ලො ටික වටවෙලා මේසෙට ගගහ සින්දු කියපු ආදරණීය අතීතයක් මට තියෙනවා.
ඒ කියන්නෙ චන්දනගෙ පුංචි කාලෙ තිබුණු හීනය කලාකරුවෙක් වීමද..?
නෑ.. කාලයක් තිස්සෙ මගේ තිබුණ හීනය තමයි ඉංජිනේරුවෙක් වීම. මම උසස් පෙළට ඉගෙන ගත්තෙ ගණිතය විෂයයි. උසස් පෙළ පන්තියේ ඉඳිද්දි අතරමඟදි තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය සිදුවුණේ. ඉස්කෝලෙ කොන්සට් එකකදි බෑන්ඩ් එකක් එක්ක සින්දු කියද්දි මගේ හීනය වෙනස් වුණා. ඒ නිසා ඉංජිනේරු හීනය අයින්වෙලා උසස් පෙළ සමත් වුණොත් ඇති කියන දේ විතරක් මට හිතුණා. මම උසස් පෙළ විභාගයෙන් මුල්පාර අසමත් වුණා. ඊටපස්සෙ උසස් පෙළ සහ ඉංජිනේරුවා කියන තැනට වඩා සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් වීමට ලොකු හීනයක් මට ඇතිවුණා.
අද වෙද්දි ඔබ සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්. සංගීත කණ්ඩායමට එකතු වුණේ කොහොමද..?
මම සංගීත කණ්ඩායමකට මුලින්ම එකතු වුණේ 1993 අවුරුද්දෙ. සීදුව සකුරා කණ්ඩායමට එකතුවෙලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. මුලින්ම මම New fingers සංගීත කණ්ඩායමට තමයි එකතු වුණේ. ඒ සංගීත කණ්ඩායම මෙහෙයවපු රාජා ප්‍රේමතිලකව මම ඉතා ආදරයෙන් මතක් කරනවා. රාජා අයියා තමයි ඉස්කෝලෙ කාලයෙදි මගේ හිතේ ඇතිවුණු හීනය හැබෑකරගන්න උදවු කළේ. ඒ කාලෙ ඉලෙක්ට්‍රික් සංගීත භාණ්ඩ මම අල්ලලවත් තිබුණෙ නෑ. රාජා අයියා තමයි මට ඒ හැමදෙයක්ම කියලා දුන්නෙ. ඊටපස්සෙ රාජා අයියා සංගීත කණ්ඩායම නවත්තලා විදෙස්ගත වුණා. ඊටපස්සෙ තවත් අවුරුදු ගණනාවකට පස්සෙ මම සීදුව සකුරා කණ්ඩායමට එකතු වුණා. අද වෙද්දි නායකත්වයේ ඉඳන් සියලුම සගයන්ගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා.
අද වෙද්දි චන්දනගේ නිර්මාණ කීපයක්ම අහන්න ලැබෙනවානෙ... ඒ ගැනත් කියමුකො..?
මෑතකදි මම කරපු සිතුවිල්ලේ මා සතපාලා ගීතයට බොහෝ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක සංඛ දිනෙත් තමයි කළේ. කාලයක් තිස්සෙ කළ කතාබහක ප්‍රතිඵලයක් තමයි ඒක. ඒක පදරචනය කළේ නලීන් ද සිල්වා. ඊට අමතරව මම තවත් නිර්මාණ කීපයක්ම කරලා තියෙනවා. ඒ හැම ගීතයකටම අද වෙද්දි හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සීදුව සකුරා සංගීත කණ්ඩායමට අද බොහෝ දෙනා ආදරෙයි. ඒ නිසා ඉංජිනේරුවෙක් නොවී කලාකරුවෙක් වීම ගැන අද මගේ හිතේ දුකක් නෑ.
චන්දන අද පුංචි දියණියකගෙ ආදරණීය පියෙක්..?
ඔව්.. මම විවාහ වුණේ මාධ්‍ය ආයතනයක සේවය කළ කෙනෙක් එක්ක. එයාගෙ නම ප්‍රියංගි ගුණවර්ධන. අපිට චූටි දුවෙක් ඉන්නවා. දුව ලැබුණාට පස්සෙ ප්‍රියංගි තාවකාලිකව රැකියාවෙන් ඉවත් වුණා. දැන් දුවට වයස අවුරුදු දෙකයි. දුවගේ නම තමාෂි අභිමාන්‍යා දම්සරණි. දැන් එයාගෙ හුරතල් කාලේ. ඒ හැමදෙයක් නිසාම දැන් අපි සතුටින් ඉන්නවා.
► Text – Jayamali / Pic – Sumudu