සුනීර මොකද දැන් හිතෙන්නේ...?
අම්මෝ.. හිතාගන්නවත් බෑ. තාමත් මට මේක හීනයක් වගේ. හිතාගන්න බැරි සතුටක් තමයි අද මට දැනෙන්නේ. මේ සතුට මට දුන්නු හැමෝටම ස්තූති කරනවා. එදා ඩ්‍රීම් ස්ටාර් අවසන් තරගාවලියේදී මගේ නම කියද්දී මට හිතාගන්න බැරි වුණා. අදටත් මට මේ ආපු ගමන පුදුමයක්.
තරගාවලියේදී සුනීරට වාහනයක්, ඉඩමක් ඇතුළු මුදල් ත්‍යාග විදිහට ලැබුණා. දැන් ඉතින් ත්‍යාග ලැබුණු ඉඩමේ සුනීරලටම කියලා ගෙයක් හදාගන්නට පුළුවන් නේද?
ඔව්... ඒක ඇත්ත.. මට ඉන්නේ තාත්තයි, අම්මයි, නංගියි විතරයි. අපි මුලින්ම පදිංචිවෙලා හිටියේ පොල්ගහහේන කියන ප්‍රදේශයේ. එතකොට අපි හිටියේ අපේම ගෙයක. ඒත්.. මුහුණ දීපු ආර්ථික ප්‍රශ්නත් එක්ක තාත්තටයි අම්මටයි අවුරුදු ගාණක් අපේම වෙලා තිබුණ ඒ ගේ විකුණන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි හතරදෙනා කුලී ගෙයක ටික කාලයක් හිටියා. ඒත්.. ආර්ථික ප්‍රශ්න නිසාම මගේ අම්මා අපි හැමෝම වෙනුවෙන් විදෙස්ගත වුණා. ඒත්.... අපි දෙන්නව නොදැක අම්මට ඉන්න බැරි වුණා. අම්මා ඒ රටේදී කාලා නෑ. ඒ නිසා අසනීප වෙලා. කොහොමහරි ඔය කාලයේදී තාත්තාත් විදෙස්ගත වුණා. තාත්තා රට ගිය නිසා අම්මා මාස ගාණකින් ලංකාවට ගෙන්න ගත්තා.
අම්මයි තාත්තයි රට ගියාට පස්සේ සුනීරයි නංගියි හිටියේ කොහේද?
ඊට පස්සේ අපි දෙන්නා හිටියේ මගේ ලොකු අම්මාගේ ගෙදර. ලොකු අම්මා තමයි මාවයි නංගිවයි බලාගත්තේ. බාප්පත් ගොඩක් උදව් කළා. ලොකු අම්මගේ පුතාලා දෙන්නා තමයි මාව අද මේ තැනට ගේන්න ගොඩක් මහන්සි ගත්තේ. අදටත් අපි ජීවත්වෙන්නේ අපේ ලොකු අම්මගේ ගෙදරයි. මම ඩ්‍රීම් ස්ටාර්වලට යන්න පටන් ගත්තෙත් මේ ගෙදරදීයි. තරගය අවසන් කරලා කුසලානය ගේන්නෙත් මේ ගෙදරටයි.
පාසල් කාලේ ඉඳන්ම සුනීර ගීත ගායනය කළාද?
ඔව්.. මම එක වසර ඉඳන්ම ගියේ කඳාන ද මැසිනොද් විදුහලටයි. මම ගිය අවුරුද්දේ තමයි A/L කලා අංශයෙන් ඉගෙන ගත්තේ. ඉස්සර ඉස්කෝලේ සතියකට දවස් තුනක් විතර මම සංගීත තරගවලට තමයි සහභාගී වුණේ. ඒ නිසා පාසල් වැඩ සමහරක් අතපසු වුණා. කොහොමටත් පුංචි කාලේ ඉඳන්ම මගේ ආසාව වෙලා තිබුණේ සංගීතයටයි. තරගයට අයදුම්පත් දාලා තිබුණේ මගේ අම්මයි මගේ අයියයි.
අද ඔයා ඩ්‍රීම් ස්ටාර් වුණාට මේ ගමන එතරම් ලේසි ගමනක් නෙමෙයි නේද?
ඇත්තටම නෑ. මේ තරගයට අයදුම්පත දැම්මේ ගිය අවුරුද්දේ මැයි මාසේ. තරගයට මුල්ම කැඳවීම ලැබුණේ නොවැම්බර් මාසෙයි. මම මුලින්ම ගායනා කළේ එඩ්වඩ් ජයකොඩි මහතාගේ මාරම්බරී කියන ගීතය. මුල් ගමනේ ඉඳන් මාත් එක්ක මගේ මල්ලි කෙනෙක් බයික් එකේ යන්න ආවා. අපි දෙන්නා තරගය තියෙන හැමදාකම හවස තුනහමාරට විතර ගෙදරින් බයික් එකේ කොළඹට යනවා. ආයෙ පහුවදා පාන්දර තුනහමාරයි හතරයි ගෙදර එද්දි. සමහරදාට වැස්ස. ගෙදර එන්නේ හොඳටම නාලා. එන අතරමගදී තැන් තැන්වල බයික් එක නවත්තලා ටික වෙලාවක් ඉඳලා ආයේ එනවා. හතළිස් අට කණ්ඩායමට තේරුණාට පස්සේ මට වඩා මහන්සි වුණේ මේ ගමේ මිනිස්සු, මගේ නෑදෑයෝ, මගේ පාසලේ අයයි. ඒ අය මට කියලා තිබුණේ ඔයා ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරන්න. අපි ඉතුරු ටික බලාගන්නම් කියලයි මම වෙනුවෙන් මේ ගමේ මිනිස්සු ගොඩක් මහන්සි වුණා.
හිතුවද මේ කිරුළ කවදාහරි දවසක ලැබෙයි කියලා.
මේ තරගයට සහභාගීවෙන කෙනෙක්ගේ හීනය තමයි ඒක. ඒ නිසා මගේ හීනෙත් ඒ බලාපොරොත්තුව තිබුණා. හැබැයි මට වඩා ඒ බලාපොරොත්තුව මේ මගේ නෑදෑයොන්ට, මගේ යාළුවන්, පාසැලේ හැමෝටම වගේම මේ ගමේ මිනිස්සුන්ට තිබුණා. ඒ අය මම වෙනුවෙන් මුදල් වියදම් කළා. මට අඳින්න ඇඳුම් දුන්නා. මම වෙනුවෙන් වෙනමම මේ ගෙදර වාහන දෙකක් තියලා තිබ්බා. මම තරගවලට යද්දී ඊට කලින් ගමේ මිනිස්සු ඇවිත් අැහුවා අද වාහනයක් ඕනෙද? අපේ එක දෙන්නද කියලා. මම කතෝලික කෙනෙක් වුණාට පල්ලිවලින් වගේම පන්සල්වලින් ද මම වෙනුවෙන් ආශිර්වාද කළා. බෞද්ධ පාසල් මම වෙනුවෙන් ඒ අයගේ සහයෝගය දුන්නා. ඒ හැමෝටම ස්තූතියි.
හැබැයි සුනීර... සුපිරි තරු වුණාට පස්සේ හුඟාක් අයට තමන්ට උදව් කළ මාධ්‍ය, තමන්ව මේ තැනට ගෙනාපු හිතමිතුරන්, රසික රසිකාවියන් අමතක වෙනවා. ඔයාටත් එහෙම වෙයිද...?
නෑ... එහෙම වෙන්නේ නෑ... මට හීනයක් තිබ්බා. බලාපොරොත්තුවක් තිබ්බා. ඒ හීනයට පාර පෙන්නුවේ මේ රටේ මිනිස්සු. මම කවදාවත් ඒ මුල අමතක කරන්නේ නෑ. මම කවදාවත් ඉනිමඟට පයින් ගහන්නේ නෑ. අද වගේම හෙටත් ඒ අයගේ ආශිර්වාදය මම බලාපොරොත්තු වෙනවා. මේක අපි කට්ටියක් එක්කම ලබපු ජයග්‍රහණයක්.
සුනීර කතෝලික... පල්ලියෙන් ලැබුණු ආභාෂයන් මේකට බලපෑවා නේද...?
ඔව්... ඇත්තටම මම මුලින්ම පොල්ගහහේන ගීතිකා කණ්ඩායමේ හිටියා. ඊට පස්සේ මම රාගමට ආවා. එතනිනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. මගේ පල්ලියේ ෆාදර් හැම පූජාවකදීම මට ආශිර්වාද කරනවා. මගේ අම්මයි තාත්තායි ඉස්සර පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ඉඳලා තියෙනවා. මම ඉපදෙන්න ඉදිද්දීත් අම්මා ගීතිකා කණ්ඩායමේ ඉඳලා තියෙනවා.
මේ වගේ තරග ඔස්සේ ලංකාවේ රූපවාහිනි නාළිකා හුඟාක් සුපර් ස්ටාර්ලා බිහිකළා. ඒත්... අද බොහොමයක් ආගිය අතක් නෑ...?
ඔව්... මටත් ඒක තේරෙනවා. ඒත්... මම දන්නවා. මම වෙනුවෙන් මේ බොහෝ දෙනෙක් මහන්සි වුණා. ඒ අයගේ මහන්සිය වෙනුවෙන් මම යමක් කරන්න ඕනේ. මේ රටේ මිනිසුන්ගේ එස්.එම්.එස්. එකකටවත් මම නිගාවක් කරන්නේ නෑ. ඉදිරියේ දී හොඳ නිර්මාණවලින් මම මේ ක්ෂේත්‍රයේ රැඳේවී. දැනටමත් ප්‍රසංග වගේම විදේශ සංචාර කිහිපයක් ලැබිලයි තියෙන්නේ.
ඇත්ත කියන්න... මේ සතුට බෙදාගන්න සුනීරට පෙම්වතියක් ඉන්නවාද...?
අනේ නෑ... ඇත්තටම මට එහෙම පෙම්වතියක් නෑ...
Text – Jayamali / Pic – Sumudu