අපි බහුතරයක් දෙනා වාසනාවන්තයෝ වෙමු. අංග සම්පූර්ණ මිනිස් අංගෝපාංග ඇතුව උපදින අපි දිනෙක වයස්ගතව මිය යන්නේ ද ඒ සමඟිනි. ඇතැම්විට යම් අංගෝපාංගයක් නොමැතිව මෙලොව එළිය දකින තැනැත්තා ඒ අඩුව තම උරුමයක් කොටගෙන ජීවිතය දිනනන්ට උත්සාහ ගනී. එහෙත් සියල්ල සම්පූර්ණව මෙලොව ඉපදී අවාසනාව නිසා යම් අංගෝපාංගයක් අහිමිව ජීවිතයට ගෙවන්නට සිදුවේනම්... එය මහත් කරැමයකි. මට මෙන්ම ඔබට ද සිතෙනු නොඅනුමානය. එහෙත් එය කරුමයක් නොව, තවමත් ජීවිතය ඉතිරිව තිබේ යැයි සිතූ සුවිශේෂී යුවතියක් පිළිබඳ තොරතුරු චීනයේ යුනාන් ප්‍රාන්තයෙන් අසන්නට ලැබේ.
ඈ නමින් චියැන් හොන්ග්යැන් ය. දැනට වයස අවුරුදු විසි එකක් වන ඇය කුඩා අවධියේදීම දරුණු මෝටර් රථ අනතුරකට පත්වූවාය. එහි ප්‍රතිඵලය වූයේ ඇයට තම ඉණෙන් පහළ සියල්ල අහිමිවී යාමයි. එනම් ඇගේ දෙපා මුලින්ම සිඳී ගියේය.
ලස්සන හුරුබුහුටි දැරියට තම ජීවිතයේ ඉතිරි කාලය කකුලෙන් නැඟී සිටීමට වරම් නැතිවිය. නිවසේ එකම තැනකට කොටුවී සිටීමටත් අන් අයගේ වාරුවෙන් එහා මෙහා යාමටත් හුරුවෙමින් සිටි දැරියට තම ශක්තියෙන් නැඟී සිටින්නට පාර පෙන්වූයේ ඇගේම සීයා ය. ඔහු තමා ළඟ තිබූ පැසිපන්දුවක් ගෙන එහි කෙළවරකින් කපා ඊට දැරියගේ උඩුකය බහාලීය. අනතුරැව ඇගේ අත් දෙකට මිටක් සහිත ලී පුවරු දෙකක් දී ඈට දෑතින් ඇවිදීමට ඔහු හුරු කළේය. එසේ තම අඩුපාඩු අමතක කර දමමින් ලෝකය දකින්නට පටන්ගත් මේ අපූරු යුවතිය අද වනවිට චීනයේ පැරාලිම්පික් ක්‍රීඩිකාවන් අතර ප්‍රකටම චරිතය යැයි කීම නිවැරදිය.
ඇය එහිලා තෝරාගත් ක්‍රීඩාව වයේ පිහිනුම් ක්‍රීඩාවයි. මුලදී එය කළ නොහැක්කක්ම විය. දෙපා අහිමි ඈට ඇවිදීම කිසි දිනෙක සැබෑ නොවන සිහිනයක් වෙද්දී පිහිනීම ද ඉතාමත් දුෂ්කරකාරියක් වුණි.
එහෙත් ඇය අත්හැර නොදැමුවාය. ටිකෙන් ටික ඇය තම සිරුර වතුරට හුරු කරගත්තා ය. ගොඩබිමදී සමබරතාවය අවැසි වූ ඇයට වතුරේදී කිසිම ආධාරකයක් වුවමනා වූයේ නැත. අන් අය සමඟ ඇය හරි හරියට පිහිනුවාය. මුලදී පිහිනුම් තටාකයේ එක් අන්තයක සිට අනෙක් අන්තයට යාමට නොහැකිව ළතවුණු ඈ අද වනවිට කිලෝ මීටර ගණන් එකදිගට පිහිනීමට සමත් ය.
චීනය තුළ සාමාන්‍යයෙන් ආබාධවලට ගොදුරු වූ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට යොමුවන්නේ ඉතා අඩු අවධානයකි. දැවැන්ත ජනගහනයක් වෙසෙන නිසාම එවැනි පුද්ගලයෝ සමාජයට නිරාවරණය වෙන්නේ නැත. එහෙත් චියැන්ගේ ජීවිතයට ඊට වෙනස්විය. සීයා දුන් පැසිපන්දුවක තම කුඩා සිරුර බහා එහා මෙහා ඇවිද ගිය ඇයට මාධ්‍ය අවධානය යොමුවිය. චීනයේ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය ද චියැන් ගැන කතාබහ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ලොව සතර දෙසින් මුදල් ආධාර ද ලබාඑන්නට පටන් ගැනිණ. සේද එකතුකරමින් අමාරුවෙන් දිවි ගැට ගහගන්නා ඇගේ මවුපියන්ට ද දිගු කාලයක් තිස්සේ සිතේ වදදෙමින් තිබූ දැයින්ග්ට කෘතිම පා යුගලක් ලබාදීමේ සිහිනයට ද ඉන් පණ ලැබිණ.
මේ සියල්ල අතරේ පිහිනීමෙන් ඈ ඉදිරියටම ගියාය. පැරාලිම්පික් සිහිනය ද හැබෑ කරගත් ඈ 2009දී පරාලිම්පික් නියෝජනය කරමින් රන් පදක්කමක් හා රිදී පදක්කම් දෙකක් දිනාගත්තාය. ඇය අද වනවිට චීනය නියෝජනය කරන දක්ෂතම පිහිනුම් ක්‍රීඩිකාවකි.
‘නැහැ’ සහ ‘බැහැ’ යන වචන පෙරට ගැනීමට පෙර චියැන්ගේ කතාව මොහොතකට සිහියට ගත හැකි නම් වාසනාවන්ත අප සැමගේ ජීවිත තව තවත් වාසනාවන්ත වන බවට සැක නැත.
“මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා - කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි නෙත් යුග නැති ඔබ දකින තුරා....
► Text — Rajitha